Powered By Blogger

Sunday, April 1, 2012

අග්ගපඤ්ඤත්ති සූත්‍රය.
                         ( අංගුත්තර නිකාය. චතුක්ක නිපාතය. චර වර්ගය. බු.ජ.ත්‍රි.පිටුව - 34/35 )


චත්තසෝ ඉමා භික්ඛවේ අග්ගපඤ්ඤත්තියෝ. කතමා චත්තසෝ?

එතදග්ගං භික්ඛවේ අත්තභාවිනං යදිදං රාහු අසුරින්දෝ.
එතදග්ගං භික්ඛවේ කාමභෝගීනං යදිදං රාජා මන්ධාතා.
එතදග්ගං භික්ඛවේ ආධිපතෙයියානං යදිදං මාරෝ පාපිමා.
සදෙවකේ භික්ඛවේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමණබ්‍රහ්මනියා පජාය සදෙවමනුස්සාය තථාගතෝ අග්ගමක්ඛායති අරහං සම්මාසම්බුද්ධෝ.

ඉමා ඛෝ භික්ඛවේ චත්තසෝ  අග්ගපඤ්ඤත්තියෝ'ති.

රාහුග්ගං අත්තභාවීනං මන්ධාතා කාමභෝගීනං ,
මාරෝ ආධිපතෙයියානං ඉද්ධියා යසසා ජලං.

උද්ධං තිරියං අපාවිනං යාචතා ජගතෝ ගති ,
සදෙවකස්ස ලෝකස්ස බුද්ධෝ අග්ගං පවුච්චතී'ති.


         මහණෙනි, මේ අග්‍රප්‍රඥප්තීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක් ද යත්:

මහණෙනි, ආත්මභාවීන් අතුරින් යම් මේ රාහු අසුරයෙක් වේ ද, මේ තෙමේ අග්‍රය.
මහණෙනි, කාමභෝගීන් අතුරින් යම් මේ මන්ධාතු නම් රජෙක් වේ ද, මේ තෙමේ අග්‍රය.
මහණෙනි, ආධිපත්‍යය කරනුවන් අතුරින් යම් මේ පාපී මාරයෙක් වේ ද, මේ තෙමේ අග්‍රය.
මහණෙනි, මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාවෙහි අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ අග්‍ර යි කියනු ලැබේ.

මහණෙනි, මේ සතර  අග්‍රප්‍රප්තීහු ය.

ආත්මභාවීන් අතුරින් රාහු අසුරිඳු අග්‍ර වේ. කාම භෝගීන් අතුරින් මන්ධාතා සක්විති රජ අග්‍ර වේ.ආධිපත්‍යය කරනුවන් අතුරින් , දිව්‍යසම්පත්ති සමුද්ධියෙනුදු පරිවාර සංඛ්‍යාත යසසිනුදු බබලනුවන් අතුරින් මාරදෙවී පුතු අග්‍ර වේ.

ය මැදය යටය යන ලෝක නිෂ්පත්තිය තෙක් දෙවියන් සහිත ලෝකයාට බුදුරජානන් වහන්සේ අග්‍ර ය යි කියනු ලැබේ.


අග්ගපඤ්ඤතියෝ -  අග්‍ර පැනවීමයි. උතුම්ම පැනවීමයි. මෙයින් ඉහල කිසිවෙකුත් පෙන්වාදීමට නොහැකි බව මෙහිදී කියවේ.

රාහු අසුරින්දෝ - අසුර දිව්‍ය ලෝකයෙහි වාසය කරනු ලබන රාහු නම් අසුර දෙවතාවා ය. ආත්ම භාවය, තම ශරීර විශාලත්වය පිළිබඳව සැලකීමේදී රාහු නම් අසුරයා ඒ ඒ ලෝක ධාතු වල විශාලම දේහයක් ඇති සත්ත්වයා වෙයි. දේහ ප්‍රමාණයෙන් ඔහුට වඩා විශාල අයෙක් නැත. මොහු යොදුන් ( යොදුනක් = සැතපුම් 16 ) 4800 ක් උස ය. ඔහුගේ බාහු අතරත යොදුන් 1200 කි. අත්ල පාද තලයන්ගේ මහතා යොදුන් 300 කි. ඇගිලි පුරුක් යොදුන් 50 කි. ඇහි බැම අතර දුර යොදුන් 50 කි. නළල යොදුන් 500 කි. හිස යොදුන් 900 කි. 

මන්ධාතා - මන්ධාතු නම් සක්විති රජුය. මොහු දිව්‍යය හා මානුෂීය කාමයන් පරිහරණය කරන්නවුන් අතරින් අග්‍ර වේ. මොහු අසංඛ්‍යයක් ආයුෂ ඇති මිනිසුන් අතර ඉපිද තමන්ට රිසි රිසි අවස්තාවන්හිදී අහස බලා 3 වරක් අත්පුඩි ගැසූ විට සප්ත රතනයන්ගෙන් යුතු වැසි ලැබේ. දෙවිලොව ඉන්ද්‍රයන් ( සක්‍රයන් ) 37 කගේ ආයුෂ වින්දනය කර කාමයන් පරිහරණය කර කාමභෝගීන් අතරින් අග්‍ර විය.

ආධිපතෙයියානං - අධිපති බව පතුරුවන , තම බලය පතුරුවන ය අතර අග්‍ර වේ. මාරයා වනාහි සියලු කාම ලෝකයන්ට තම බලය පතුරුවන පුද්ගලයා වේ. එබැවින් එසේ කියනු ලැබේ. පරනිම්මිත වසවත්තී දිව්‍ය ලෝකයෙහි වාසය කරන ඔහු රාගාදියෙන් සියලු සත්වයන් බන්ධනය කරගෙන සිටී.නමුත් රහතුන් , පසේ බුදුවරු,බුදුවරු ඔහුගේ බලයට යටත් ය නොවේ.

තථාගතෝ - මෙයින් බුදුරජානන් වහන්සේ පිළිබඳව කියවේ. පාරමිතා - උප පාරමිතා - පරමාර්ථ පාරමිතා පූරණය කොට අතීත බෝසත්වරු යම්සේ බුද්ධත්වයට පැමිණුනේ ද , අනාගත බෝසත්වරු යම්සේ බුද්ධත්වයට පැමිණෙන්නේ ද, එලෙසම වර්තමානයේ දී තමන් වහන්සේ ද බුද්ධත්වයට පැමිණි බැවින් තථාගත නම් වේ. 



ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ.
sudhamma_2009@yahoo.com




No comments: