Powered By Blogger

Monday, July 30, 2012


සූත්‍ර සාකච්චාව - ASLBV                                                                                        tute – 06



ඉත්ථි රුප පරියාදාය සුත්‍රය - 06 කොටස

රූපයෙහි ආශ්වාදය විමසා බැලීම


          විදර්ශනා භාවනා කරන්නෙකු විසින් අර්ථකථනයන්ට අනතුරුව දැනගතයුතු මීලග කරුණ වන්නේ ‘ආශ්වාදය’පිළිබඳව අවශ්‍ය දැනුම ලබා ගැනීමයි. අර්ථකථන දැනගැනීමෙන්, යම්  අවස්ථාවකදී විය හැකි වැරදි වැටහීම් දුරුකරගත හැකිය.ධර්මය පිළිබඳව සිදුවිය හැකි වැරදි සහගත අර්ථයන් නිසා ඉතාමත් සියුම් ලෙස ධර්මය වරදවා වටහාගත හැකි අතර මෙම ගැටලුව මගහරවා ගැනීම පිණිස අර්ථකතනයන් දැනගැනීම උපකාරී වේ.එම නිසා ප්‍රථමයෙන්ම අර්ථකතනයන් දැනගැනීම වඩාත් වටී.තවද තමන් මෙනෙහි කරනු ලබන්නේ කුමක්ද යන්න පිළිබඳව මනාව දැනගැනීම සඳහාත් මෙය විශේෂයෙන් උපකාර වනු ඇත.

ආශ්වාදය යනු කුමක් ද ?

          ආශ්වාදය පිළිබඳව විමසා බැලීමේදී ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව විමසා බැලිය යුතුය. එවිට මෙම ආශ්වාදය ඒ ඒ අරමුණු විෂයෙහි පවත්නා ආකාරය පිළිබඳව වටහා ගත හැකිය.

1.     අර්ථකථනය කිරීම
2.     උපදනා / නූපදනා ස්ථානයන් අනුව බෙදීම
3.     කාලය අනුව බෙදීම
4.     වස්තුභේදය අනුව බෙදීම
5.     සත්ත්ව / පුද්ගල භේදය අනුව බෙදීම
6.     කුසල / අකුසල කාර්ම විපාක අනුව බෙදීම
7.     ආශ්වාදය ඇතිවීමට බලපාන කරුණු
8.     මේ පිළිබඳව ඇති බුද්ධ දේශනාවන්
9.     දුරුකළ යුත්තේ ඇයි ?
10. දුරු කරන පිළිවෙත
යන කරුණු පිළිබඳව දැනගත යුතුය.

1.     අර්ථකථනය කිරීම

ආශ්වාදය යනු ‘ ඇස - කණ - නාසය - දිව - ශරීරය - මනස යන ආයතනයන්ට හසුවන රූප - ශබ්ද - ගන්ධ - රස - ස්පර්ශ - ධම්ම යන යම් අරමුණක් තණ්හා - මාන - දිට්ඨි යන ප්‍රපංචයන්ගෙන් ග්‍රහණය කර ගනිමින් , එම අතීත - වර්තමාන - අනාගත අරමුණ ඒ ක්‍ෂණයෙහි හෝ පසු අවස්ථාවකදී හෝ කාම - භව - දිට්ඨි - අවිජ්ජා යන අනුසයන්ගේ ඉස්මතු කිරීමෙන් ද අයෝනිසෝමනසිකාරයෙන් ද , එක් වරකදී හෝ ඊට වැඩි වාර ගණනකදී සිහිපත් කිරීමෙන් ඒ අරමුණට අනුව අභිනන්දනය කිරීම යි. නැතහොත් සතුටුවීම යි. එසේ යම් සතුටුවීමක් හෝ සතුටුවන බවක් හෝ මනාව සතුටුවන බවක් හෝ නැවත නැවත සතුටුවන බවක් හෝ නැවත නැවත එම අරමුණ සිහියට නගාගනිමින් එයම අභිනන්දනය කරන බවක් හෝ වේ නම්, එය ආශ්වාදය ලෙස නම් කළ හැක’.

2.     උපදනා / නූපදනා ස්ථානයන් අනුව බෙදීම

ආශ්වාදය වනාහි සියලුම අරමුණුවල එකම ආකාරයෙන් නූපදී. එහි නානාත්වයක් ම ඇත්තේ ය. එබැවින් ආශ්වාදය වනාහි උපදනා / නූපදනා ස්ථාන ඇති බව දත යුතුය. ආශ්වාදය වනාහි ඇතැමුන් හට රාගික අරමුණක් අරභයා උපදී. ඇතැමුන්ට ද්වේෂ අරමුණක් අරභයා උපදී. ඇතැමුන්ට මෝහ අරමුණක් අරභයා උපදී. රාග සහිත අරමුණක ආශ්වාදය උපදනා විට අනෙක් ද්වේෂ හා මෝහ සහගත අරමුණු වල ආශ්වාදයක් සිදු නොවේ. එයට හේතුව එක සිතක් මගින් එකම අරමුණක් පමණක් ගැනීමයි. එසේම ද්වේෂ සහගත හෝ මෝහ සහගත හෝ අරමුණක ආශ්වාදය උපදනා විට අනෙක් අරමුණ නොයෙදෙන බව දතයුතුය.

3.     කාලය අනුව බෙදීම

කාල භේදයට අනුව බෙදීමේදී අතීත කාලය , වර්තමාන කාලය , අනාගත කාලය  යන කාල භේදයට අනුව අරමුණ ආස්වාදනය කිරීම පිළිබඳව සලකා බලනු ලැබේ.අරමුණ ආස්වාදනය කරනු ලබන්නේ වර්තමාන සිතුවිලි පරම්පරාවක උවද ඒ සඳහා අරමුණු කරගනු ලැබූ අරමුණ අතීත අරමුණක් හෝ වර්තමාන අරමුණක් හෝ අනාගත අරමුණක් හෝ විය හැකිය.අතීත අරමුණක් ආශ්වාදනය කළේ නම් එය අතීතය අභිනන්දනය කිරීමක් ලෙසත් වර්තමානයේ නම් වර්තමාන අභිනන්දනයක් ලෙසත් අනාගතය නම් අනාගත අභිනන්දනයක් ලෙසත් ගනු ලැබේ. අරමුණ නිරුද්ධ වූ අරමුණක් බව අතීත අරමුණ පිළිබඳව සිහිපත් කිරීමත් , අනාගත අරමුණ තවමත් නොපැමිණි අරමුණක් බවත් , වර්තමාන අරමුණ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් බව මෙනෙහි කිරීමට මෙසේ දැනගැනීම මහත් උපකාරයක්‌ වනු ඇත. මෙසේ වස්තු භේදය හෙවත් ආරම්මණ භේදය පිළිබඳව දැනගත යුතුය.

4.     වස්තුභේදය අනුව බෙදීම

වස්තු භේදය පිළිබඳව ද දැනගැනීම ඉතා වැදගත් කරුණක් වේ. මෙහිදී ඇස - කන - නාසය - දිව - ශරීරය - සිත යන ආයතනයන්ට අරමුණු වන එකිනෙකට විශේෂ වූ ආරම්මණයන් වේ. ඒ ඒ ආරම්මණයන් ඒ ඒ විශේෂ ආයතනයන්ටම පමණක් අරමුණු වන අතරම සියලු ආයතනයන්ට අරමුණු නොවේ. ඇසට අරමුණ රුපය යි. රුපය කනට හෝ නාසයට හෝ දිවට හෝ ශරීරයට හෝ මනසට ගෝචර වන අරමුණක් නොවේ. එසේම කනට අරමුණ ශබ්දය යි. ශබ්දය ඇසට හෝ නාසයට හෝ දිවට හෝ ශරීරයට හෝ මනසට ගෝචර වන අරමුණක් නොවේ. සෙසු ආයතනයන්ට ද ඒ ඒ අරමුණු එසේම ගෝචර අගෝචර වන්නේ ය.

5.     සත්ත්ව / පුද්ගල භේදය අනුව බෙදීම

සත්ත්ව / පුද්ගල භේදයට අනුව ද ආශ්වාදනය කිරීමේ නානාත්වයක් පවතී. ඇතැම් සත්ත්වයින් හට ප්‍රිය දේ තවත් සත්ත්වයෙකු හට අප්‍රිය විය හැකිය. අප්‍රිය දේ ප්‍රිය විය හැකිය. උදාහරණ ලෙස ඇතැම් සත්ත්වයින් හට මාංශ පරිහරණය ඉතා ආශ්වාදජනක විය හැක. නමුත් එය ඇතැම් අය හට පිළිකුලක් උපදවන්නක් විය හැකිය. කිඹුලාට ගල්  කැට ආශ්වාදජනක ආහාරයකි.  අනෙක් සත්ත්වයන් හට එසේ නොවේ. මොනරාට සර්පයන් ආශ්වාදජනක ආහාරයකි. අනෙක් බොහෝ සතුන්ට එසේ නොවේ. දෙවියන්ට දිව්‍ය ආහාරයම ආශ්වාදජනක වේ. මිනිසුන්ගේ ආහාරය එසේ නොවේ.

6.     කුසල / අකුසල කාර්ම විපාක අනුව බෙදීම

කුසලාකුසල කර්මයන්ගේ ප්‍රතිපල වශයෙන් ද අරමුණු ආශ්වාදනය කිරීමේ නානාත්වයක් ඇත. පූර්ව සසරෙහි තම තමන් විසින් කරන ලද කුසල කර්මයන්ට අනුරූපීව හෝ අකුසල කර්මයන්ට අනුරූපීව ඒ ඒ අරමුණු ආශ්වාදය කිරීම වෙනස් වේ. දෙවියන්ට දිව්‍යමය ආහාර / පංචකාමයන් ආශ්වාදයක් ගෙන දේ. කර්මානුරූපීව සූකරයන් හට අසුචි දුටු විට මහත් වූ ආශ්වාදයක් උපදී. නමුත් අන් බොහොමයක් සත්ත්වයන් හට එය ආශ්වාදනය කල හැකි අරමුණක් නොවේ. ගැඩවිලාට පස ආශ්වාදජනක වන්නේ එම සත්ත්වයාගේ කර්ම විපාකයක ප්‍රතිඵලයක් වශයෙනි. ගූත නිරයෙහි ඇතැම් සත්ත්වයින්හට අනෙකුත් සත්ත්වයන්ගේ අසුචි ප්‍රියජනක ආශ්වාදමය වන්නේ අකුසල විපාකයක් හේතුවෙනි.


7.     ආශ්වාදය ඇතිවීමට බලපාන කරුණු

ආශ්වාදයක් ඇතිවීමට විවිධ කරුණු බලපායි. විශේෂයෙන් ඒ ඒ සත්ත්වයන්ගේ කර්මානුරූපී කරුණු මෙන්ම චිත්ත සන්තානගත කෙලෙසුන්ගේ ස්වභාවයත් ඒ ඒ  කෙලෙසුන්ගේ හැසිරීමත් ඔවුනොවුන් තම තමන්ගේ ආයතනයන්ගෙන් ග්‍රහණය  කරගන්නා අරමුණු කෙරෙහි හැසිරෙන ආකාරයත් මේ කෙරෙහි විශේෂයෙන්ම බලපායි. තණ්හා - මාන - දිට්ඨි යන ප්‍රපංචයන් ද කාම - භව - දිට්ඨි - අවිද්‍යා යන අනුසය කෙලෙසුන් ද අයෝනිසෝමනසිකාරය ද විපරීත දෘෂ්ටිය ද ආශ්වාදය වර්ධනය වීම පිණිස බලපායි. එසේම තම තමන් විසින් කරන ලද කුසලාකුසල කර්මයන් ද මීට බලපායි.

8.     මේ පිළිබඳව ඇති බුද්ධ දේශනාවන්

                                        I.            පළමුවැනි අස්සාද සූත්‍රය

යං ඛෝ රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං , අයං රූපස්ස අස්සාදෝ. යං රූපං අනිච්චං දුක්ඛං විපරිනාමධම්මං , අයං රූපස්ස ආදීනවෝ. යෝ රූපස්මිං ඡන්දරාගවිනයෝ ඡන්දරාගප්පහානං , ඉදං රූපස්ස නිස්සරණං.

යම් රූපයක් නිමිතිකොටගෙන සුවයක් සොම්නසක් උපදී ද , එය රූපයෙහි ආස්වාදය යි. යම් රූපයක අනිත්‍ය බවක් දුක්සහගත බවක් වෙනස්වීමක් වේ නම් , එය රූපයෙහි ආදීනවය යි.යම් රූපයක් කෙරෙහි පවත්නා කැමැත්ත දුරුකිරීම ප්‍රහාණය කිරීමක් වේ ද , එය රූපයෙහි නිස්සරණය යි.

( සූත්‍ර පිටකය. සංයුක්ත නිකාය-3. ඛන්ධ සංයුක්තය. මූල පණ්ණාසකය. හාර වර්ගය. 2550 බු.ජ.ත්‍රි.පිටුව. 50.)

                                      II.            තෙවැනි අස්සාද සූත්‍රය

මහණෙනි , රූපයෙහි ආශ්වාදයක් නොවන්නේ නම් , සත්ත්වයා රුපය කෙරෙහි නොම ඇලෙන්නේය. මහණෙනි , යම් සේ රූපයෙහි ආශ්වාදයක් වේ ද , එබැවින් සත්ත්වයා රූපය කෙරෙහි ඇලෙන්නේය.

( සූත්‍ර පිටකය. සංයුක්ත නිකාය-3. ඛන්ධ සංයුක්තය. මූල පණ්ණාසකය. හාර වර්ගය. 2550 බු.ජ.ත්‍රි.පිටුව. 52.)

9.     දුරුකළ යුත්තේ ඇයි ?

ආශ්වාදයෙන් යුක්තව යමක් උපාදාන කිරීම යනු සසරට බැඳීම යි. සසරට බැඳීම යනු  සියලු ජාති ජරා මරණ සෝක පරිදේවයන්ට පත්වීමයි. මෙසේ සසරට බැඳෙන ආකාරය පිළිබඳවත් සියලුම දුක් දොම්නස් වලට ලක්වීමට හේතුව දැන ගැනීමටත් , එසේ දැනගැනීමෙන් දැකගනීමෙන් උපාදානයන්ගෙන් මිදීමටත් සෝකයන් දුරුකිරීමටත් උපකාර වේ.

10.   දුරු කරන පිළිවෙත

ආශ්වාදයට ඇති කැමැත්ත දුරුකරන පිළිවෙත නම් ආශ්වාදය ආශ්වාදය ලෙසත් , ආදීනවය ආදීනවය ලෙසත් , නිස්සරණය නිස්සරණය ලෙසත් තත් වූ පරිද්දෙන් අවබෝධකර ගැනීමයි. එසේ අවබෝධකර ගැනීමෙන් දෙවියන් සහිත වූ මාරයන් සහිත වූ බ්‍රහ්මයන් සහිත වූ ශ්‍රමණබ්‍රාහ්මණයින් සහිත වූ ප්‍රජාවෙහි සියලු උපාදානයන්ගෙන් නික්ම ගියා වූ සිතින් යුක්තව වාසය කරන්නෙකු වන්නේය.

උදා:- දෙවන අනුධම්ම සූත්‍රය

ස්කන්ධ පංචකය පිළිබඳව අනිත්‍යට අනුව නුවණින් දකිමින් වාසය කිරීම නිසා ද ඔහු රූපාදිය පිළිබඳව පිරිසිඳ දකී. එසේම දනී. එබැවින් ඉන් මිදේ. ජාති ජරාදියෙන් මිදෙයි. පංචස්කන්ධ සංඛ්‍යාත සියලු දුකින් මිදේ යැ යි දත යුතුය.

( සූත්‍ර පිටකය. සංයුක්ත නිකාය-3. ඛන්ධ සංයුක්තය. මූල පණ්ණාසකය. න තුම්හාක වර්ගය. 2550 බු.ජ.ත්‍රි.පිටුව. 72.)

මෙම කරුණු පිළිබඳව විශේෂයෙන් විදර්ශනා භාවනා කරනු ලබන තැනැත්තෙකු විසින් අවධානය යොමු කල යුතු අතර , මෙම කාරනා පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමෙන් ආශ්වාදය පිළිබඳව වඩාත් දැනුමක් ලබාගත හැක.


ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ
sudhamma@buddhism.au.com

No comments: