Powered By Blogger

Saturday, February 25, 2012

                අප්පස්සුත සූත්‍රය. 
                                   ( අං:නි - චතුක්ක නිපාතය - 4.1.1.6. 2550 බු.ජ.ත්‍රි.පිටුව - 15 / 16 )

චත්තාරෝ'මේ  භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. කතමේ චත්තාරෝ ? 
1.අප්පස්සුතෝ සුතේන අනුප්පන්නෝ .
2.අප්පස්සුතෝ සුතේන උපපන්නෝ.
3.බහුස්සුතෝ සුතේන අනුප්පන්නෝ.
4.බහුස්සුතෝ සුතේන උපපන්නෝ.

          මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යාමාන වෙති. කවර සතර දෙනෙක් ද යත් :
1.ශ්‍රුැතයෙන් සිද්ධිප්‍රාප්ත නොවූ අල්පශ්‍රුැත තැනැත්තා.
2.ශ්‍රුැතයෙන් සිද්ධිප්‍රාප්ත වූ අල්පශ්‍රුැත තැනැත්තා.
3.ශ්‍රුැතයෙන් සිද්ධිප්‍රාප්ත නොවූ බහුශ්‍රුැත තැනැත්තා.
4.ශ්‍රුතයෙන් සිද්ධිප්‍රාප්ත වූ බහුශ්‍රුැත තැනැත්තා.

           මෙම සූත්‍ර ධර්මයෙන් සාකච්ඡා කරනු ලබන්නේ , ධර්මය පිළිබඳව අසා දැනගත් බව පිළිබඳව හා එම අසා දැනගත් ධර්මයෙහි අරුත් විමසීම පිළිබඳව දක්ෂ අදක්ෂ බව පිළිබඳව ය. එසේම එම ධර්මය දැන ඉගෙනගෙන එම ධර්මය තම තමන් කෙසේ පුරුදු පුහුණු කරන්නේ ද යන කාරණය පිළිබඳව ය. එසේ එම කාරණා මුලික කරගෙන සත්ත්ව ලෝකයේ වාසය කරනු ලබන සියලුම සත්ත්වයෝ ප්‍රධාන ආකාර සතරකට බෙදා වෙන්කර දක්වා තිබේ. ඒ බෙදා දැක්වීම ඉහත අප ඔබට දක්වා ඇත. 

ශ්‍රුතයෙන් සිද්ධිප්‍රාප්ත නොවූ අල්පශ්‍රුත තැනැත්තා.

           මේ සසුනෙහි යම් කිසි තැනැත්තෙක් සුත්ත - ගෙය්‍ය - වෙය්යාකරණ - ගාථා - උදාන - ඉතිවුත්තක - ජාතක - අබ්භූතධම්ම -වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය මදක් අසන ලද්දේ වෙයි. ඔහු එසේ අසන ලද මද වූ ධර්මයෙහි අර්ථය නො දනී. බුද්ධ භාෂිතය නො දැන ධම්මානුධම්ම සංඛ්‍යාත පූර්වභාග ප්‍රතිපදාවට බැස නො ගනී.
           මොහුගේ මූලික ස්වරූපය වන්නේ ධර්මය පිළිබඳව තමන් තුල පවත්නා දැනුම අවම මට්ටමක පැවතීම යි. ධර්මය දැන ඉගෙන ගත්තත් ඒ දැනුම ප්‍රමාණවත් මෙන්ම නිවැරදි මිනුම් දණ්ඩක් සේ භාවිතා කිරීමට තරම් දක්ෂ බවක් ඔහු තුල දක්නට නොමැත. එසේම ඔහු කෙරෙහි දක්නට ලැබෙන මීලග ස්වභාවය වන්නේ එසේ දැනගත් ධර්මය ලෞකික ලෝකෝත්තර සම්පත් ලබා ගැනීම පිණිස භාවිතා කිරීමට නො දන්නා බවයි. මේ නිසා ධර්මය මදක් අසන ලද එසේම ධර්මයෙහි හැසිරීමෙහි නො දන්නා තැනැත්තෙකු බවට ඔහු පත් වේ. 

ශ්‍රුතයෙන් සිද්ධිප්‍රාප්ත වූ අල්පශ්‍රුත තැනැත්තා.

           මේ සසුනෙහි යම්කිසි තැනැත්තෙක් සුත්ත - ගෙය්‍ය - වෙය්යාකරණ - ගාථා - උදාන - ඉතිවුත්තක - ජාතක - අබ්භූතධම්ම -වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය මදක් අසන ලද්දේ වෙයි. ඔහු එසේ අසන ලද මද වූ ධර්මයෙහි අර්ථය දනී. බුද්ධ භාෂිතය දැන ධම්මානුධම්ම සංඛ්‍යාත පූර්වභාග ප්‍රතිපදාවට බැස ගනී.
           මොහුගේ මුලික ස්වරූපය වන්නේ ධර්මය පිළිබඳව තමන් තුල පවත්නා දැනුම අවම මට්ටමක පැවතීම යි. ධර්මය දැන ඉගෙන ගත්තත් ඒ දැනුම ප්‍රමාණවත් මෙන්ම නිවැරදි මිනුම් දණ්ඩක් සේ භාවිතා කිරීමට තරම් දක්ෂ බවක් ඔහු තුල සමත් බවක් ඇත. නමුත් ඔහු දන්නා වූ එම ධර්ම කොට්ඨාසය ලෞකික ලෝකෝත්තර සම්පත් ලබා ගැනීම පිණිස භාවිතා කරයි. මේ නිසා ධර්මය මදක් අසන ලද එනමුත් ධර්මයෙහි හැසිරෙන පුද්ගලයෙකු බවට ඔහු පත් වේ.

ශ්‍රුතයෙන් සිද්ධිප්‍රාප්ත නොවූ බහුශ්‍රුත තැනැත්තා.  

             මේ සසුනෙහි යම්කිසි තැනැත්තෙක් සුත්ත - ගෙය්‍ය - වෙය්යාකරණ - ගාථා - උදාන - ඉතිවුත්තක - ජාතක - අබ්භූතධම්ම -වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය බොහෝ සේ අසන ලද්දේ වේ. ඔහු එසේ අසන ලද බොහෝ වූ ධර්මයෙහි අර්ථය නොදනී. බුද්ධ භාෂිතය නොදැන ධම්මානුධම්ම සංඛ්‍යාත පූර්වභාග ප්‍රතිපදාවට බැස නොගනී.
     මොහුගේ මූලික ස්වරූපය වන්නේ ධර්මය පිළිබඳව තමන් තුල පවත්නා දැනුම ඉතා ඉහල මට්ටමක පැවතීම යි. ධර්මය දැන ඉගෙන ගත් ඒ දැනුම ප්‍රමාණවත් මෙන්ම නිවැරදි මිනුම් දණ්ඩක් සේ භාවිතා කිරීමට තරම් දක්ෂ බවක් ඔහු තුල දක්නට ඇත. එසේම ඔහු කෙරෙහි දක්නට ලැබෙන මීලග ස්වභාවය වන්නේ එසේ දැනගත් ධර්මය ලෞකික ලෝකෝත්තර සම්පත් ලබා ගැනීම පිණිස භාවිතා කිරීමට නො දන්නා බවයි. මේ නිසා ධර්මය බොහෝ සේ අසන ලද එසේම ධර්මයෙහි හැසිරීමෙහි නො දන්නා තැනැත්තෙකු බවට ඔහු පත් වේ. 

ශ්‍රුතයෙන් සිද්ධිප්‍රාප්ත වූ බහුශ්‍රුැත තැනැත්තා.

              මේ සසුනෙහි යම්කිසි තැනැත්තෙක් සුත්ත - ගෙය්‍ය - වෙය්යාකරණ - ගාථා - උදාන - ඉතිවුත්තක - ජාතක - අබ්භූතධම්ම -වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය බොහෝ සේ අසන ලද්දේ වේ. ඔහු එසේ අසන ලද බොහෝ වූ ධර්මයෙහි අර්ථය දනී.බුද්ධ භාෂිතය දැන ධම්මානුධම්ම සංඛ්‍යාත පූර්වභාග ප්‍රතිපදාවට බැස ගනී. 
                මොහුගේ මූලික ස්වරූපය වන්නේ ධර්මය පිළිබඳව තමන් තුල පවත්නා දැනුම ඉතා ඉහල මට්ටමක පැවතීම යි. ධර්මය දැන ඉගෙන ගත් ඒ දැනුම ප්‍රමාණවත් මෙන්ම නිවැරදි මිනුම් දණ්ඩක් සේ භාවිතා කිරීමට තරම් දක්ෂ බවක් ඔහු තුල දක්නට ඇත. එසේම ඔහු කෙරෙහි දක්නට ලැබෙන මීලග ස්වභාවය වන්නේ එසේ දැනගත් ධර්මය ලෞකික ලෝකෝත්තර සම්පත් ලබා ගැනීම පිණිස භාවිතා කිරීමට දන්නා බවයි. මේ නිසා ධර්මය බොහෝ සේ අසන ලද එසේම ධර්මයෙහි හැසිරීමෙහි දන්නා තැනැත්තෙකු බවට ඔහු පත් වේ. 
බුදුරජාණන් වහන්සේ විසින් පසුව මෙසේ ද දේශනා කරන ලදී.......

          '' ඉදින් යමෙකුගේ සුතමය ඥානය අල්ප වේ ද , පරිපූර්ණ වූ සීලයක් නො රකින්නෙකු ද වන්නේ ද , මෙමෙ කරුණු දෙකෙන්ම ඔහු ගැරහීමට ලක් වේ. 
           ඉදින් යමෙකුගේ සුතමය ඥානය අල්ප වේ ද , පරිපූර්ණ වූ සීලයක් රකින්නෙකු ද වන්නේ ද , සීලය හේතුවෙන් ඔහු ප්‍රසංසාවට පත් වේ. ධර්මය බොහෝ සේ නොඇසූ බැවින් ගැරහීමට පත් වේ.
           ඉදින් යමෙක් බොහෝ සේ ධර්මය ඇසූ තැනැත්තෙකු වේ ද , පරිපූර්ණ වූ සීලයක් නො රකින්නෙකු ද වන්නේ ද , ඔහු සීලය හේතුවෙන් ගැරහීමට පත් වේ. ධර්මය බොහෝ සේ ඇසූ බැවින් ප්‍රසංසාවට පත් වේ.
           ඉදින් යමෙකු බොහෝ සේ ධර්මය ඇසූ තැනැත්තෙකු ද වේ ද , පරිපූර්ණ වූ සීලයක් රකින්නෙකුද වන්නේ ද , සීලය හා ධර්මය ඇසූ බැවින් දෙකරුණින්ම ඔහු ප්‍රසංසාවට පත් වේ.
ධර්මය බොහෝ සේ ඇසූ , අසන ලද ධර්මයන්ට ආධාර වූ මනා වූ ප්‍රඥාවෙන් යුක්ත වූ ඒ බුද්ධ ශ්‍රාවකයා හට නිග්‍රහ කරන්නට කවර නම් තැනැත්තෙකු නම් සමත් වේ ද ? ඔහු දෙවියන්ගේ පවා ප්‍රසංසාවට පත් වේ. බ්‍රහ්මයා විසින් ද ඔහු ප්‍රසංසාවට ලක් කරනු ලැබේ.''

පූර්වභාග ප්‍රතිපදාව යනු......

            පූර්වභාග ප්‍රතිපදාව යනු ආර්ය මාර්ගයට පිවිසෙනු කැමති යම් තැනැත්තෙකු විසින් අනුගමනය කල යුතු පූර්ව ප්‍රතිපදාවයි. මෙය ආර්ය මාර්ගයට පිවිසීම යැ යි වරදවා නොගත යුතුය. ආර්ය මාර්ගයට පිවිසීම නම් සෝතාපන්න ඵල ඥානයට පත් වීමයි. යමෙකු ආර්ය ශ්‍රාවකයෙකු බවට පත් වන්නේ එවිටය. දානාදී පින්කම් වල යෙදෙමින් , සීලාදී ගුණ ධර්ම වර්ධනය කරමින් , සමථ විදර්ශනා භාවනාවන් පුරුදු පුහුණු වෙමින් , ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කිරීමයි.එනම් අපණ්නක ප්‍රතිපදාවට අනුව කටයුතු කිරීමයි.එසේ කටයුතු කරනු ලබන තැනැත්තාට සෝතාපන්න මාර්ගය වැඩීම පිණිස අවතීර්ණ විය හැකිය.




ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ.

sudhamma_2009@yahoo.com

Tuesday, February 14, 2012

 අංගුත්තර නිකාය පිලිබඳ හැදින්වීමක් .......   

             අප බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයාට මහත් අනුකම්පාවෙන් පුරා වසර 45 ක කාල පරාසයක් තුල අනේකවිධ දුක් කම්කටොලු විඳිමින් දෙවියන් මිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාව තුල වැඩවසමින් සත්ත්වයින්ගේ සසර ගමන යහපත් කල අතර ම බොහෝ සත්ත්වයෝ නිවන් සුවයෙන් සනසාලූහ. එසේ දේශනා කරනලද ධර්මය පිළිබඳව අපි මීට පෙර යම් පමණකට දැනීමක් ලබා ගත්තෙමු. ඔබට මතක ඇති මීට පෙර අපි කියා දුන්නා ත්‍රිපිටකය අධ්‍යනය කරන ආකාරය . එහිදී අප විසින් ත්‍රිපිටකය කියවන්නෙකු ප්‍රථමයෙන්ම අංගුත්තර නිකාය කියවීම සුදුසු බවත් කියන ලදී. අද අපි අංගුත්තර නිකාය පිළිබඳව මුලින්ම කියාදෙන්න බලාපොරොත්තු වෙනවා.
             '' එකකාදීහි අංගෙහි උපරුපරි උත්තරෝ අධිකෝ'ති =අංගුත්තරෝ '' යනු අංගුත්තර නිකායට දී ඇති අර්ථ කථනය යි. ඒකක - දුක - තික .... ආදී වශයෙන් අංගයන් මතු මත්තෙහිත් උත්තරව අධිකව පවත්නා බැවින් අංගුත්තර නිකාය යන නමින් හඳුන්වනු  ලැබේ. ප්‍රධාන වශයෙන් මෙහි නිපාතයන් 11 ක් දක්නට ලැබේ.
  • ඒකක නිපාතය - එක සූත්‍ර ධර්මයක් තුල ධර්ම කාරණා ක් පමණක් විස්තර කර ඇත.
  • දුක නිපාතය - එක සූත්‍ර ධර්මයක් තුල ධර්ම කාරණා 2 ක් පමණක් විස්තර කර ඇත.
  • තික නිපාතය - එක සූත්‍ර ධර්මයක් තුල ධර්ම කාරණා 3 ක් පමණක් විස්තර කර ඇත.
  • චතුක්ක නිපාතය - එක සූත්‍ර ධර්මයක් තුල ධර්ම කාරණා 4 ක් පමණක් විස්තර කර ඇත.
  • පංචක නිපාතය - එක සූත්‍ර ධර්මයක් තුල ධර්ම කාරණා 5 ක් පමණක් විස්තර කර ඇත.
  • ඡක්ක නිපාතය - එක සූත්‍ර ධර්මයක් තුල ධර්ම කාරණා 6 ක් පමණක් විස්තර කර ඇත.
  • සත්තම නිපාතය - එක සූත්‍ර ධර්මයක් තුල ධර්ම කාරණා 7 ක් පමණක් විස්තර කර ඇත.
  • අට්ඨක නිපාතය - එක සූත්‍ර ධර්මයක් තුල ධර්ම කාරණා ක් පමණක් විස්තර කර ඇත.
  • නවක නිපාතය - එක සූත්‍ර ධර්මයක් තුල ධර්ම කාරණා ක් පමණක් විස්තර කර ඇත.
  • දසක නිපාතය - එක සූත්‍ර ධර්මයක් තුල ධර්ම කාරණා 10 ක් පමණක් විස්තර කර ඇත.  
  • ඒකා දසක නිපාතය - එක සූත්‍ර ධර්මයක් තුල ධර්ම කාරණා 11 ක් පමණක් විස්තර කර ඇත.  
               අංගුත්තර නිකායෙහි සූත්‍ර ධර්මයන් 9557 ක් දක්නට ලැබේ. බණවර වශයෙන් ගතහොත් බණවර 21 කි. බණවරක් යනු අකුරු 8000 කි. අක්ෂරයන් 960000 කි. මෙම අංගුත්තර නිකාය වෝහාර දේශනා යටතට ගැනෙති. ප්‍රධාන වශයෙන් අංගුත්තර නිකායෙහි ,
  • ශීලයන් පිලිබඳ කතා
  • ධූතාංග පිලිබඳ කතා
  • කසිණ භාවනා ආදී සමථ භාවනා ක්‍රම පිලිබඳ කතා
  • ධ්‍යාන සමාපත්ති පිලිබඳ කතා
  • ආර්ය්‍ය සත්‍ය පිලිබඳ කතා
  • හේතු ඵල සම්භන්ධතාවය පිලිබඳ කතා
  • සමථ - විදර්ශනාවන් පිලිබඳ කතා
  • ශ්‍රාවක චරිතාපධානයන් 
  • පුද්ගල ධර්මතා
  • රාජ්‍යය පාලන ක්‍රම 
  • ප්‍රාදේශික විස්තර
                             ආදී විවිධ විස්තරයන් අඩංගු වෙයි. තවද විවිධ මිසදිටු අදහස් බිඳීම පිණිස මෙහි අඩංගු බොහෝ සූත්‍ර දේශනා හේතු පාදක වී ඇත. යථාභූතඥානදර්ශනය ඇති කිරීමට සමත් ය. අංගුත්තර නිකායට ලියා ඇති විස්තරාර්ථ සහිත අටුවා ධර්ම ග්‍රන්ථය වන්නේ ' මනොරතපූරණිය 'යි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව කරනලද ප්‍රථම ධර්ම සංඝායනාවේදී මෙම අංගුත්තර නිකාය වන පොත් කරමින් ( කට පාඩමින් ) රැගෙන ඒම අනුරුද්ධ මහා රහතන් වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය ප්‍රජාවට භාර කරන ලදී. 
                 මෙතැන් සිට අප ඔබට ත්‍රිපිටකයෙහි එන සූත්‍ර කියා දෙන්නට බලාපොරොත්තු වෙමු. එහිදී මූලික වශයෙන් අධ්‍යනය කිරීමට හා වටහා ගැනීමට පහසු සූත්‍ර මුලින් ම ගෙනහැර දක්වන්නෙමු. එසේ සූත්‍ර ගෙනහැර දැක්වීමේදී ඔබගේ පහසුව පිණිස ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙලට සූත්‍ර පෙළ ගස්වනු ලැබේ.මේ පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන මෙන් අප ඉල්ලා සිටිමු.




ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ.
sudhamma_2009@yahoo.com

Tuesday, February 7, 2012

      මුල් පරිච්ඡ්ද දෙකෙහිදී ම අප ඔබට කියාදුන්නේ ත්‍රිපිටකය පිළිබඳව හැදින්වීමක් සහ ධර්ම විනයට අනුව මුලා නොවී ධර්මය අධ්‍යනය කල යුතු ආකාරයත් ය. එසේම අප විසින් ඔබට ත්‍රිපිටකය අධ්‍යනය  කල යුතු , කියවිය යුතු ආකාරය නැතහොත් පිළිවෙල පිළිබඳවත් දැනුවත් කිරීමක් සිදු කළා. ඒ පිළිබඳව මේ වනවිට ඔබ ප්‍රමාණවත් දැනුමක ඇති කියා අප සිතනවා.මීට පෙර අප විසින් ඔබව දැනුවත් කළා ත්‍රිපිටකය කියවන අයෙකු එය ආරම්භ කලයුතු ආකාරය ගැන. දැන් අපි ඉගෙන ගන්න යන්නේ සූත්‍රයක් අධ්‍යනය කිරීමේදී අවධානය යොමු කළ යුතු මූලික අංගයන් පිළිබඳව යි. එහිදී පහත කරුණු පිළිබඳව ඔබ දැනුවත් විය යුතුයි.


1. සූත්‍රය හෝ අදාළ ධර්ම පරියාය කුමන ' පිටකයකට ' අයත් දැ යි සොයා බලන්න.
           සූත්‍ර පිටකයට හෝ විනය පිටකයට හෝ අභිධම්ම පිටකයට හෝ අයත් දැ යි බලන්න. නැතිනම් මෙම පිටකයන්ගෙන් ස්ථාන කිහිපයකට හෝ අයත් දැ යි සොයා බලන්න.
           උදා:-
                  මහා පරිනිබ්බාන සූත්‍රය - සූත්‍ර පිටකයට අයත් සූත්‍ර දේශනාවකි.
                  දම්සක්පවතුම් සූත්‍රය - සූත්‍ර පිටකයට හා විනය පිටකයට අයත් සූත්‍ර දේශනාවකි.
                  ධම්මහදය විභංගය - අභිධම්ම පිටකයට අයත් සූත්‍ර දේශනාවකි.

2. සූත්‍රය හෝ අදාළ ධර්ම පරියාය කවර ' නිකායකට' හෝ ' පාලියකට ' හෝ ' ප්‍රකරණයකට ' අයත් දැ යි සොයා බලන්න.
           නිකාය වශයෙන් ගනු ලබන්නේ සූත්‍ර පිටකයෙහි එන දේශනාවන් ය. පාලියක් වශයෙන් ගනු ලබන්නේ විනය පිටකයෙහි එන දේශනාවන් ය. ප්‍රකරණයක් වශයෙන් ගනු ලබන්නේ අභිධම්ම පිටකයෙහි එන දේශනාවන් ය. මෙම ස්ථානයන්ගෙන් කවර නම් ස්ථානයකට අයත් දැ යි සොයා බලන්න.
          උදා:-
                 මහා පරිනිබ්බාන සූත්‍රය - දීඝ නිකායට අයත් සූත්‍ර දේශනාවකි.
                 දම්සක් පැවතුම් සූත්‍රය - සංයුත්ත නිකායට හා මහාවග්ග පාලියට අයත් සූත්‍ර දේශනාවකි.
                 ධම්මහදය විභංගය - විභංගප්‍රකරණයට අයත් දේශනාවකි.

3. නිකායන් අනුව අධ්‍යනය කිරීමේදී කුඩා , අනු කුඩා කොටස් වලට වර්ගීකරණය කර අධ්‍යනය කල යුතුය.
                      සූත්‍ර පිටකය අධ්‍යනය කිරීමේදී නිපාතය , පණ්ණාසකය , සංයුත්තය , වර්ගය , නිද්දේසය , කතාව , නිදානය ........ ආදී කරුණු පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත යුතුය. විනය පිටකය අධ්‍යනය කිරීමේදී කාණ්ඩය , ශික්ෂාපදය , වස්තුව , ආපත්තිය , අනාපත්තිය , ආපත්ති - අනාපත්ති තරම හා පිළියම ...... ආදී කරුණු පිලිබදව මනා අවබෝධයක් ලබා ගත යුතුය. අභිධම්ම පිටකය අධ්‍යනය කිරීමේදී මාතිකා , කාණ්ඩය , විභංගය , පට්ඨානය , උද්දෙසය , නිද්දේසය ......... ආදී කරුණු පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත යුතුය.
              උදා:-
                     මහා පරිනිබ්බාන සූත්‍රය - සූත්‍ර පිටකයට අයත් ය. දීඝ නිකායෙහි  මහා වර්ගයට අයත් ( 02 පොත ) 03 වන සූත්‍රය යි.  
                     දම්සක්පවතුම් සූත්‍රය - සූත්‍ර පිටකයට අයත් ය. සංයුත්ත නිකායෙහි මහා වර්ගයට අයත් ( 05-2 පොත ) සච්ච සංයුත්තයෙහි එන ධම්මචක්කපවත්තන වර්ගයේ පළමු වන සූත්‍ර දේශනාව යි. මෙයම විනය පිටකයෙහි මහාවග්ග පාලියෙහි 01 ග්‍රන්ථය තුල යසකුලපුත්‍රයාගේ පැවිද්ද හා සම්භන්ධව ද හමුවේ.
                     ධම්මහදය විභංගය - අභිධම්ම පිටකයට අයත් ය. විභංගප්‍රකරණය - 02 වන ග්‍රන්ථයට අයත් ය. 18 වන පරිච්ෙඡ්දය යි.


4. මීලගට ඔබ අදාළ සූත්‍ර ධර්මයේ නම සැදී ඇති ආකාරය පිළිබඳව  ( මෙය විශේෂයෙන් සූත්‍ර පිටකය හා අදාළ වන කරුණකි )  අධ්‍යනය කල යුතුය. 

               බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනලද සියලුම සූත්‍ර දේශනා අධ්‍යනය කිරීමේදී , එම සූත්‍ර ධර්මයන්ට අදාළ නාමයන් ලබා දීමට යම් අනුපිළිවෙලක් භාවිතා කර ඇති ආකාරයක් දකින්නට ඇත. එහිදී ප්‍රධාන අංගයන් 5 කට අනුව කටයුතු කර ඇතිබව අටුවා ධර්ම ග්‍රන්ථ වල සඳහන් වේ. එනම් ,
  • දේස
  • දේසක
  • පටිග්ගාහක
  • අර්ථ 
  • ගුණ 
                    යන අංගයන් ය.

දේස :-
          මෙහිදී අදාළ ධර්ම දේශනාව සිදුකරන ලද ස්ථානයේ , භූමියේ , ප්‍රදේශයේ , රටේ..... නාමය යොදාගෙන ඇත. උදාහරණ ලෙස කාලකාරාම දේශයේදී කරන ලද දේශනාව කාලකාරාම සූත්‍රය ලෙසත් , අන්ධකවින්ද ප්‍රදේශයේදී කරන ලද දේශනාව අන්ධකවින්ද සූත්‍ර දේශනාව ලෙසත් නම් කර ඇත.
දේශක :-
          විශේෂයෙන් මෙහිදී බුදුරජාණන් වහන්සේට අමතරව වෙනත් ශ්‍රාවකයකු විසින් යම් සූත්‍ර දේශනාවක් සිදුකර ඇත්නම් එම දේශකයන් වහන්සේගේ නම ඒ සඳහා භාවිතා කර ඇත. උදාහරණ ලෙස කච්චාන මහරහතන් වහන්සේ විසින් කරන ලද දේශනාව කච්චාන භද්දේකරත්න  සූත්‍රය ලෙස නම් කර ඇත. බුදුරජාණන් වහන්සේගේ නිත්‍ය උපස්ථායකයන් වහන්සේ වන ආනන්ද මහා තෙරුන් වහන්සේ විසින් කරන ලද දේශනා බොහෝමයක් ආනන්ද සූත්‍රය යන නාමයෙන් හඳුන්වා ඇත. උපසේන මහා තෙරුන් වහන්සේ විසින් කරන ලද දේශනා උපසේන සූත්‍රය ලෙස නම් කර ඇත. 
පටිග්ගාහක :- 
           පටිග්ගාහක නම් දේශනා කරනු ලබන සූත්‍ර දේශනාව අසනු ලබන තැනැත්තා ය. උදාහරණ ලෙස සිගාලෝවාද සූත්‍රය , මහානාම සූත්‍රය , අම්බට්ඨ සූත්‍රය , සච්චක සූත්‍රය ..... ආදී සූත්‍ර දේශනා ගත හැක.
අර්ථ :-
           අදාළ සූත්‍ර දේශනාවට අදාළ යම් කිසි අර්ථයක් වෙත් ද එම අර්ථයට ගැලපෙන පරිද්දෙන් සූත්‍ර දේශනාව නම් කර ඇත. උදාහරණ ලෙස මහා මංගල සූත්‍රය , කරණීය මෙත්ත සූත්‍රය , මහා පරිනිබ්බාන සූත්‍රය .... ආදී සූත්‍ර පෙන්වාදිය හැක.
ගුණ :-
           ගුණ නම් සූත්‍ර දේශනාව තුල අන්තර්ගත වන කරුණු වලට අනුව අදාළ සූත්‍ර දේශනාවට නම් ලබා දීමයි. උදාහරණ ලෙස මධුපිණ්ඩික සූත්‍ර දේශනාව ගත හැක.
                                              ( සුත්ත සංගහට්ඨ කතාව. 01 පිටුව. )

5. අදාළ සූත්‍ර ධර්මය කවර ස්ථානයකදී , කවරෙකු උදෙසා , කවරනම් අරමුණක් අරභයා කරන ලද සූත්‍ර දේශනාවක් දැ යි අධ්‍යනය කල යුතුය.

6. පසුව එම සූත්‍ර ධර්මය පෙර අප විසින් කියාදී ඇති ආකාරයට ධර්ම විනයට ගලපා සසදා බැලිය යුතු ය.




ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ.
sudhamma_2009@yahoo.com