Powered By Blogger

Wednesday, January 25, 2012


                 ත්‍රිපිටකය  අධ්‍යනය කල යුතු ආකාරය.


අද අපි ඉගෙන ගන්න යන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය අධ්‍යනය  කල යුතු ආකාරය යි. සූත්‍ර  ඉගෙන ගැනීමට  කලින් ඉගෙන ගත යුතු මුලික කරුණු අතර මෙය මුල් තැනක් ගන්නවා. එයට හේතුව තමා විශේෂයෙන් ත්‍රිපිටකය හදාරන අයෙකු විසින් එය ක්‍රමවත්ව කල යුතු වීම යි. නැතහොත් බුද්ධ දේශනාව පිළිබඳව වැරදි වැටහීම් ඇතිවිය  හැකි ය  . වර්තමානය දෙස බලන විට මේ කරුණ වඩාත් සනාථ වෙනවා. එම නිසා ආධුනිකයෙක්  නමුත් , ත්‍රිපිටකය අධ්‍යනය කල යුතු ආකාරය පිළිබඳව විශේෂයෙන්   දැන  ගත යුතු වෙනවා. ඔබ ත්‍රිපිටකය අධ්‍යනය සඳහා නවකයෙක් විය හැකි ය. නමුත් බිය නො වන්න. ඔබ යම් පමණකට හෝ පාලි භාෂාව දැන  ඉගෙනගෙන ඇත්නම් ඔබට මෙම අධ්‍යනය වඩාත් පහසු වනු ඇත. නමුත් පාලි නො දැනීම බාධාවක් කර නො ගන්න. අපි මුලින්ම ඔබට කියල දෙන්නේ ත්‍රිපිටකය නිවැරදිව  අධ්‍යනය කිරීම සඳහා අවශ්‍ය කරන පත පොත පිළිබඳව යි. මේ ග්‍රන්ථ සියල්ලක් ම ඔබට සපයා ගත හැකිනම් එය වඩාත් පහසුවක් වනු ඇත.

  • ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව. ( පෙළ )
  • අටුවා .
  • ටීකා.
  • ගැටපද  විවරණ.
  • පාලි ශබ්ද කෝෂය.
  • විශුද්ධිමාර්ගය.
  • මිලින්ද ප්‍රශ්නය.
                            යන ධර්ම ග්‍රන්ථ කිහිපයවත් ඔබට මෙහිදී මුලික වශයෙන් සොයා ගැනීමට සිදු වෙනවා. ත්‍රිපිටකයේ සියලුම පොත් සොයා ගත නො හැකිනම් අවම වශයෙන් අප ත්‍රිපිටකය අධ්‍යනය කරන්න කියන පිළිවෙලට ඇති පෙළ පොත් ටිකවත් මුලින් අරගන්න . එසේත් නැතිනම් ඔබ අන්තර්ජාලය පරිහරණය කරන්නෙක් නම් ඔබට මෙමෙ වෙබ් ලිපිනයන්ගෙන් ත්‍රිපිටකය අධ්‍යනය කල හැක.
               http://www.tipitaka.org/sinh/ 

අන්තර්ජාලය පරිහරණය කිරීමේදී අපද නිතරම මෙමෙ ජාල දෙක පරිහරණය කරන්නෙමු. එය දැනට  තිබෙන පහසුම ක්‍රම දෙක යි. මෙහි පළමු ජාලයෙන් ඔබට පාලි - සිංහල යන භාෂා දෙකෙන් ම ත්‍රිපිටකය කියවිය හැකිය. එය 2550 වන බුද්ධ ජයන්තිය නිමිත්තෙන් කරන ලද '' බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව යි ''. දෙවැනි ජාලයෙන් පාලි භාෂාවෙන් පමණක් කියවිය හැකි ය. එය '' බුරුම රටේ සංඝායනා කරන ලද ඡට්ඨ සංඝායනාව යි''. පාලි භාෂාව පිළිබඳව දැනුමක් ඇති අයට එය භාවිතය පහසුවක් වනු ඇත. අටුවා හා ටීකා ධර්ම ග්‍රන්ථ ද පාලි භාෂාවෙන්  ලියවී ඇති අතර වර්තමානයේ එයද සරල සිංහල භාෂාවට පරිවර්තනය වී ඇත. මේ වන විට ටීකා ග්‍රන්ථ ද සරල සිංහල භාෂාවට පරිවර්තනය වෙමින් පවතී.   බුරුම රටේ සංඝායනා කරන ලද ට්ඨ සංඝායනා සීඩී තැටි මගින් හෝ අන්තර්ජාලය මගින් ඔබට පාලි භාෂාවෙන් ඇති අටුවා ටීකා සියල්ලම කියවිය හැක. ගැටපද විවරණයන් සමස්ත ත්‍රිපිටකය සඳහාම ලියවී නැත. විශේෂයෙන් ධම්මපදය සඳහා ලියවුනු දම්පියා ගැටපද විවරණය නම් විවරණයක් ඇත.එය භාවිතා කිරීමෙන් පද ගතාර්ථ පිළිබඳව දැනුමක්  ලබාගත හැක. පාලි ශබ්ද කෝෂය මගින් තේරුම් ගැනීමට  අපහසු වචන දැනගත හැක. විශුද්ධිමාර්ගය තුලින් විසුරුණු දහම් කාරණා රැසක් දැනගත හැකි අතර පැරණි ආචාර්ය මත හා ගැටළු සහගත තැන් නිරාකරණය කර ගැනීමත්  සිදු කරගත හැක. මිලින්ද ප්‍රශ්නය තුලින් කරුණු පිලිබඳ තාර්කිකව සිතන ආකාරයත් ඒවා විශ්ලේෂණය කරන ආකාරය පිළිබඳවත් දැනගත හැක. එම නිසා මෙමෙ ධර්ම ග්‍රන්ථ සපයා ගත හැකිනම් එය වඩා පහසුවක්  වනු ඇත. 
                             ත්‍රිපිටකය කියවීමේදී ඔබ විසින් මෙමෙ ක්‍රමය භාවිතා කරන්න. එය වඩා රසවත්ව හා මනාව අධ්‍යන කටයුතු සඳහා උපකාරී වනු ඇත . සමහර සූත්‍ර ධර්මයන් ඉතා ගම්භීර බැවින් ආරම්භයේදීම කියවීමට උත්සාහ කිරීමෙන් ඔබට අධ්‍යන කටයුතු පිළිබඳව ඇති උනන්දුව හීන වී යා හැක. එබැවින්  යම් පිළිවෙලකට අධ්‍යන කටයුතු  කරගෙන යාමත් පුරාණ ආචාර්ය මතයන්ටද ගරු කිරීමත් මධ්‍යස්ත භාවයත් වඩාත් වැදගත් වන බව සිතෙහි තබාගන්න. විශේෂයෙන්ම '' කාලාම සූත්‍රයත් , සතරෝපදෙෂත් '' ගුරු තනතුරේ තබා ගනිමින් අධ්‍යන කටයුතු කරන්න .  එයින් ඔබට මුලාවීම් සිදු නොවනු ඇත. ඔබ වැරදි පාරේ ගමන් නො කරනු ඇත.

    කාලාම සූත්‍රය. ( 2550 බු.ජ.ත්‍රි.පිටුව - 336/337.අංගුත්තර නිකාය තික නිපාතය )       
               
   විශේෂයෙන් ධර්මය ඉගෙන ගන්නා අය විසින් අනිවාර්යෙන් ම කාලාම සූත්‍රය දැන ගත යුතුම ය. එයට හේතුව වන්නේ ප්‍රථමයෙන්ම වැරදි වැටහීම් හා දෘෂ්ටීන්ට හසුවීමෙන් සිදුවිය හැකි ගැටළු මග හරවා ගත යුතු නිසාය.මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ ඔපම්ම වර්ගයේ එන ' අලගද්දුපම සූත්‍රයේ ' (  2550 බු.ජ.ත්‍රි.පිටුව 334/335 , අංක 21 ෙඡ්දය ) මෙයට හොඳම සාධකය යි. එම සූත්‍රයේදී මෙසේ බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. 
                 '' මහණෙනි , සර්පයන්ගෙන් ප්‍රයෝජන ඇත්තා වූ සර්පයන් සොයන්නා වූ සර්පයන් සෙවීමෙහි යෙදුනා වූ පුරුෂයෙක් යම්සේ වෙයිද , හෙතෙම මහත් සර්පයෙකු දක්නේ ය. ඒ සර්පයාගේ ශරීරයෙන් හෝ නගුටෙන් හෝ අල්ලා ගන්නේ ය . ඒ සර්පයා ආපසු හැරී ඔහුගේ අත හෝ බාහුව හෝ අන් අඟපසඟක් හෝ දෂ්ට කරන්නේ ය. හෙතෙම ඒ හේතු කොට ගෙන මරණයට හෝ මරණය පමණ වූ දුකකට හෝ පැමිණෙ යි. ඒ කවර හෙයින්ද යත් : මහණෙනි , සර්පයා වැරදි ලෙසින් අල්ලා ගත් හෙයිනි. මහණෙනි , එපරිද්දෙන් ම මේ ශාසනයෙහි ඇතෙම් හිස් පුරුෂයෝ සූත්‍ර , ගෙය්‍ය , වෙය්යාකරන , ගාථා , උදාන , ඉතිවුත්තක , ජාතක , අභ්භූතධම්ම , වේදල්ල යන ධර්ම හදාරත්. ඔහු ඒ ධර්ම ප්‍රගුණ කොට ඒ ධර්මයන්ගේ අර්ථ නුවනින් පරීක්ෂා නො කරත්. නුවනින් අර්ථය පරීක්ෂා නො කරන ඔවුන්ට ධර්මයෝ මැනවින් නො වැටහෙත්. ඔහු පරවාදයෙහි දොස් නැගීම අනුසස් කොට ඇත්තාහු ද ' මෙසේ වාදයෙන් මිදෙමු ' යි යන්න ප්‍රයෝජන කොට ඇත්තාහු ද ධර්මය උගනිත්. යමක් සඳහා ධර්මය උගනිත් නම් , ඒ අර්ථය ද නො ලබත්. වරදවා ගත් ධර්මයෝ ඔවුනට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතිත්. ඒ කවරහෙයින යත් : මහණෙනි , ධර්මය වරදවා උගත් බැවිනි. ''
   එබැවින් ධර්මය ඉගෙන ගැනීමේදී බොහෝ පරිස්සමින් එය කල යුතුය.

කාලාම සූත්‍රයේ එන අත් හරිය යුතු වරදවා ගනු ලබන කරුණු :-   
  • මා අනුස්සවෙන - අනුශ්‍රව කතාවෙන් නො ගනුව.
  • මා පරම්පරාය - පරම්පරාවෙන් ආ පමණින් නො ගනුව.
  • මා ඉතිකිරාය - මෙය මෙසේ වී ය යි නො ගනුව.
  • මා පිටකසම්පදානෙන - අපගේ පෙළ හා සැසදේ ය යි නො ගනුව.
  • මා තක්ක හේතු -  තර්කයට ගැලපෙන  නිසා නො ගනුව.
  • මා නය හේතු -  න්‍යායට ගැලපෙන නිසා නො ගනුව. 
  • මා ආකාරපරිවිතක්කෙන - ආකාරපරිවිතර්කයෙන් නො ගනුව.
  • මා දිට්ඨිනිජ්ඣානක්ඛත්තියා - අප සිතා ඉවසාගත් දෘෂ්ටියට සැසදෙතැ යි නො ගනුව.
  • මා භාබ්බරූපතාය - මොහු පූජ්‍ය ය යි නො ගනුව. 
  • මා සමණෝ නො ගරූති - මේ  මහණ  අපගේ ගුරු ය යි නො ගනුව.
                ඉහත දක්වන ලද ආකාරයට ප්‍රථමයෙන් ම කල යුත්තේ වැරදි වැටහීම් ඇතිවිය හැකි ස්ථානයන් පිළිබඳව අප දැනුවත් වීමයි. එවැනි අවස්ථා මගහරවා ගැනීමෙන් ම අපට  නිවැරදි දේ කුමක්දැ යි දැනගත හැකිය. එබැවින් ඔබ ප්‍රථමයෙන් ම කල යුත්තේ වැරදි වැටහීම් දුරුකරගෙන නිවැරදි මාවතට අවතීර්ණ වීමයි. ඒ සඳහා ඔබට කාලාම සුත්‍රය ඉතා වැදගත් වනු ඇත. දෙවනුව ඔබ අනිවාර්යෙන් ම කල යුත්තේ සතරෝපදේශයන්ට අවධානය යොමු කිරීම යි. එයද ධර්මය අධ්‍යනය කරනු ලබන සියලුදෙනාම ඉගෙන ගත යුතු වැදගත් කරුණකි. බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ දේශනා කර තිබේ.
    
      සතරෝපදේශයන්.

1. මහණෙනි , මෙහි මහණෙක් , ' ඇවැත්නි , ධර්මය මේ යැ යි විනය මේ යැ යි , ශාස්තෘ ශාසනය මේ යැ' යි භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි සිට මා විසින් මෙය අසන ලද්දේය භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි දී පිළිගන්නා ලද්දේය යි ' මෙසේ කියන්නේ නම්, මහණෙනි , ( එ පමණකින් ) ඒ මහණහුගේ වචනය නොම පිළිගත යුතුය , නොම පිළිකෙවූ ( ප්‍රතික්ෂේප ) නොකළ යුතුය. නොම පිළිගෙන , නොම පිළිකෙවූ කොට , ඒ පද ව්‍යංජන මොනාවට ඉගෙන සූත්‍රයෙහි බහාලිය යුතුය , විනයෙහි සැසදිය යුතුය. ඉදින් සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු , විනයෙහි සසඳනු ලබන්නාහු සූත්‍රයෙහි නො බස්නාහු ද , විනයෙහි නො සසදෙන්නාහු ද , එවිට ' ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය නො වේ , මෙය මේ මහණහු වරදවා ගත් දෙයකැ යි ' මෙහි නිෂ්ඨාවට පැමිණිය යුතුය. මහණෙනි , මෙසේ මෙය බැහැර කරවූ. ඉදින් ඒ පද ව්‍යඤ්ජනයෝ සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු  , විනයෙහි සසඳනු ලබන්නාහු , සූත්‍රයෙහි බැසගනිත් ද විනයෙහිත්  සැසදෙත් ද , එවිට ' ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය ය යි , මේ මහණහු විසින් මෙය මනාවට උගන්නා ලදැ යි ' නිෂ්ඨාවට යා යුතුය. මහණෙනි , මේ පළමු මහා අපදේශය සිත්හි ලා දරවු.

2. මහණෙනි , මෙහි මහණෙක් ' තෙරුන් සහිත ගණ පාමොක් මහණක්හු සහිත භික්ෂු සංඝයා අසෝ නම් ආවාසයෙහි වෙසෙයි. ' මේ දහම ය යි , මේ විනය ය යි , මේ ශාස්තෘ ශාසන ය යි ඒ සංඝයා හමුවෙහි මා විසින් අසන ලදී .අසා පිළිගන්නා ලදී ' යැ යි කියන්නේ වී නම් මහණෙනි , ( ඒ පමණෙකින් ) ඒ මහණහු ගේ වචනය නො ම පිළිගත යුතුය,  නො ම පිළිකෙවූ ( ප්‍රතික්ෂේප ) කළ යුතුය. නො ම පිළිගෙන , නො ම පිළිකෙවූ කොට , ඒ පද ව්‍යංජන මොනාවට ඉගෙන සූත්‍රයෙහි බහාලිය යුතුය , විනයෙහි සැසදිය යුතුය. ඔහු  සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු , විනයෙහි සසඳනු ලබන්නාහු සූත්‍රයෙහි නො බස්නාහු ද , විනයෙහි නො සසදෙන්නාහු ද , එවිට ' ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය නො වේ , මෙය මේ සංඝයා  වරදවා ගත් දෙයකැ යි ' මෙහි නිෂ්ඨාවට පැමිණිය යුතුය. මහණෙනි , මෙසේ මෙය බැහැර කරවූ. ඉදින් ඒ පද ව්‍යඤ්ජනයෝ සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු  , විනයෙහි සසඳනු ලබන්නාහු , සූත්‍රයෙහි බැසගනිත් ද විනයෙහිත්  සැසදෙත් ද , එවිට ' ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය ය යි , මේ සංඝයා  විසින් මෙය මනාවට උගන්නා ලදැ යි ' නිෂ්ඨාවට යා යුතුය. මහණෙනි , මේ දෙවන මහා අපදේශය සිත්හි ලා දරවු.
3. මහණෙනි , මෙහි මහණෙක් 'අසෝ නම් ආවාසයෙහි බොහෝ ඇසූ පිරූ තැන් ඇති , වාචෝද්ගත කළ ආගමය (ත්‍රිපිටක බුද්ධ වචනය ) ඇති ධර්මධර විනයධර මාතෘකා ධර බොහෝ ස්ථවීර භික්ෂුහු වෙසෙත්. ' මේ දහම ය යි , මේ විනය ය යි , මේ ශාස්තෘ ශාසන ය යි ඒ තෙරුන් හමුවෙහි සිටි මා විසින් අසන ලදී. මා විසින් පිලිගන්නා ලදී ' යැ යි කියන්නේ වී නම් මහණෙනි , ( ඒ පමණෙකින් ) ඒ මහණහු ගේ වචනය නො ම පිළිගත යුතුය,  නො ම පිළිකෙවූ ( ප්‍රතික්ෂේප ) කළ යුතුය. නො ම පිළිගෙන , නො ම පිළිකෙවූ කොට , ඒ පද ව්‍යංජන මොනාවට ඉගෙන සූත්‍රයෙහි බහාලිය යුතුය , විනයෙහි සැසදිය යුතුය. ඔහු  සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු , විනයෙහි සසඳනු ලබන්නාහු සූත්‍රයෙහි නො බස්නාහු ද , විනයෙහි නො සසදෙන්නාහු ද , එවිට ' ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය නො වේ , මෙය මේ සංඝයා  වරදවා ගත් දෙයකැ යි ' මෙහි නිෂ්ඨාවට පැමිණිය යුතුය. මහණෙනි , මෙසේ මෙය බැහැර කරවූ. ඉදින් ඒ පද ව්‍යඤ්ජනයෝ සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු  , විනයෙහි සසඳනු ලබන්නාහු , සූත්‍රයෙහි බැසගනිත් ද විනයෙහිත්  සැසදෙත් ද , එවිට ' ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය ය යි , මේ තෙරවරුන් විසින් මෙය මනාවට උගන්නා ලදැ යි ' නිෂ්ඨාවට යා යුතුය. මහණෙනි , මේ තෙවන මහා අපදේශය සිත්හි ලා දරවු.
4.  මහණෙනි , මෙහි මහණෙක් 'අසෝ නම් ආවාසයෙහි බොහෝ ඇසූ පිරූ තැන් ඇති , වාචෝද්ගත කළ ආගමය (ත්‍රිපිටක බුද්ධ වචනය ) ඇති ධර්මධර විනයධර මාතෘකා ධර එක් ස්ථවීර නමක්  වෙසෙත්. ' මේ දහම ය යි , මේ විනය ය යි , මේ ශාස්තෘ ශාසන ය යි ඒ තෙරුන් හමුවෙහි සිටි මා විසින් අසන ලදී. මා විසින් පිලිගන්නා ලදී ' යැ යි කියන්නේ වී නම් මහණෙනි , ( ඒ පමණෙකින් ) ඒ මහණහු ගේ වචනය නො ම පිළිගත යුතුය,  නො ම පිළිකෙවූ ( ප්‍රතික්ෂේප ) කළ යුතුය. නො ම පිළිගෙන , නො ම පිළිකෙවූ කොට , ඒ පද ව්‍යංජන මොනාවට ඉගෙන සූත්‍රයෙහි බහාලිය යුතුය , විනයෙහි සැසදිය යුතුය. ඔහු  සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු , විනයෙහි සසඳනු ලබන්නාහු සූත්‍රයෙහි නො බස්නාහු ද , විනයෙහි නො සසදෙන්නාහු ද , එවිට ' ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය නො වේ , මෙය මේ තෙරහු වරදවා ගත් දෙයකැ යි ' මෙහි නිෂ්ඨාවට පැමිණිය යුතුය. මහණෙනි , මෙසේ මෙය බැහැර කරවූ. ඉදින් ඒ පද ව්‍යඤ්ජනයෝ සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු  , විනයෙහි සසඳනු ලබන්නාහු , සූත්‍රයෙහි බැසගනිත් ද විනයෙහිත්  සැසදෙත් ද , එවිට ' ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය ය යි , මේ තෙරහු  විසින් මෙය මනාවට උගන්නා ලදැ යි ' නිෂ්ඨාවට යා යුතුය. මහණෙනි , මේ සතරවන මහා අපදේශය සිත්හි ලා දරවු.
 ( සූත්‍ර පිටකය.දීඝ නිකාය -2. මහා වර්ගය .මහා පරිනිර්වාණ සූත්‍රය . 2550 බු.ජ.ත්‍රි.පිටුව 192-197 )
           මෙසේ ධර්මය ඉගෙනගන්නා නවකයෙක් හෝ වේවා ප්‍රවීනයෙක් හෝ වේවා ප්‍රථමයෙන් ම මෙම කරුණු කෙරෙහි තමන්ගේ අවධානය යොමු කළ යුතුම ය. මෙයින් පැහැදිලි වන්නේ යමෙක් යමක් කියූ පමණින් පිලි නො ගත යුතු බවත් , ප්‍රතික්ෂේප නො කළ යුතු බවත් ය. තවද තම තමන්ගේ නුවනින් සසදා බැලිය යුතු බවත් ය. නැතිනම් ඒකාන්තයෙන් ම ඕනෑම අයෙකු වැරදි වැටහීම් ඇතිකර ගැනීමට හෝ වැරදි දෘෂ්ඨීන්ට එළැබීම සිඳු වනු ඇත. 

 ධර්ම විනයට ගැලපීම 


                    මෙහිදී මුලික දැනුමක් පමණක් දැනට ඔබට සැපයීමට අප බලාපොරොත්තු වෙමු. පසුව පේටකොපදේශය වැනි ධර්ම ග්‍රන්ථ ඇසුරින් වැඩි විස්තර සැපයීමත් ගැටළු නිරාකරණය කර ගන්නා ආකාරයත් කියා දෙන්නෙමු. නමුත් මෙම කරුණු පිළිබඳව ද වඩාත් අවධානය යොමුකිරීම වටී. මෙහිදී අප ඔබට පහසුම ක්‍රමයක් පමණක් කියා දීමට බලාපොරොත්තු වීමු. එනම් නවාංග ශාස්තෘ ශාසනයට ගැලපීම යි. ඔබට වැඩිදුර මේ පිළිබඳව අධ්‍යනය කළ යුතු වන්නේ නම් පෙටකොපදේශයේ ප්‍රථම භූමිය අධ්‍යනය කරනු මැනවි.
                   '' යම් රාත්‍රියක භාග්‍යවතුන් වහන්සේ අභිසම්බුද්ධ වූවාහු ද , යම් රාත්‍රියක අනුත්පාදනිරෝධයෙන් පරිනිර්වාණයට පත් වූ සේක් ද , මේ අතුරෙහි භාග්‍යවත්හු විසින් යම් කිසි ' සුත්ත - ගෙය්‍ය - වෙය්‍යාකරන - ගාථා - උදාන - ඉතිවුත්තක - ජාතක - අබ්භූතධම්ම - වේදල්ල ' යන නවාංග පර්යාප්තියක් වදාරන ලද ද ඒ හැම පවත්වන ධර්ම චක්‍රය යි. භාග්‍යවත්  බුදුවරයන්ගේ ධර්මදේශනාවෙහි ධර්ම චක්‍රයෙන් පිටත් කිසිවක් නැති. ඒ ධර්ම චක්‍රයාගේ සියලු සූත්‍රයන් ආර්යධර්මයෙහි ලා පර්යේෂණය කළ යුතු ය. එහි පරිග්‍රහණය සඳහා ආලෝක බඳු වූ සතර ස්ථාවර ධර්මයක් වෙති.

                 මුලික වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයෙහි ප්‍රධාන නියමයෝ සතරක් වෙති. එනම් , දුක්ඛ සත්‍ය - සමුදය සත්‍ය - නිරෝධ සත්‍ය - මාර්ග සත්‍ය යනුවෙනි.   බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය තුල ප්‍රධාන වශයෙන් චතුරාර්ය සත්‍ය ආකාර 12 කට බෙදා දක්වමින්  දේශනා කර තිබේ.එනම් , 
  • දුක්ඛං ච සමුදයෝ ච - දුක්ඛ සත්‍යත් සමුදය සත්‍යත් ඇතුලත් දේශනා
  • දුක්ඛං ච නිරෝධෝ ච - දුක්ඛ සත්‍යත් නිරෝධ සත්‍යත් ඇතුලත් දේශනා
  • දුක්ඛං ච මග්ගෝ ච - දුක්ඛ සත්‍යත් මාර්ග සත්‍යත් ඇතුලත් දේශනා
  • සමුදයෝ ච දුක්ඛං ච - සමුදය සත්‍යත්  දුක්ඛ සත්‍යත් ඇතුලත් දේශනා
  • සමුදයෝ ච නිරෝධෝ ච - සමුදය සත්‍යත් නිරෝධ සත්‍යත් ඇතුලත් දේශනා
  • සමුදයෝ ච මග්ගෝ ච - සමුදය සත්‍යත් මාර්ග සත්‍යත් ඇතුලත් දේශනා
  • නිරෝධෝ ච සමුදයෝ ච - නිරෝධ සත්‍යත් සමුදය සත්‍යත් ඇතුලත් දේශනා
  • නිරෝධෝ ච දුක්ඛං ච - නිරෝධ සත්‍යත් දුක්ඛ සත්‍යත් ඇතුලත් දේශනා
  • නිරෝධෝ ච මග්ගෝ ච - නිරෝධ සත්‍යත් මාර්ග සත්‍යත් ඇතුලත් දේශනා
  • මග්ගෝ ච නිරෝධෝ ච - මාර්ග සත්‍යත් නිරෝධ සත්‍යත් ඇතුලත් දේශනා
  • මග්ගෝ ච සමුදයෝ ච - මාර්ග සත්‍යත් සමුදය සත්‍යත් ඇතුලත් දේශනා
  • මග්ගෝ ච දුක්ඛං ච - මාර්ග සත්‍යත් දුක්ඛ සත්‍යත් ඇතුලත් දේශනා
                                                              යනුවෙනි.
                 ( සූත්‍ර පිටකය .ඛුද්දක නිකාය .පේටකොපදේශය. පඨම භූමි .2550 බු.ජ.ත්‍රි.පිටුව - 10/11 )

                   නමුත් , බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇති ධර්මය අධ්‍යනය කිරීමේදී ඉහත ආකාරයන්ට  අමතරව තවත් ආකාර 08 ක්  දැකිය හැකි ය . එනම්,
  • දුක්ඛ සත්‍ය පමණක් ඇතුලත් දේශනා
  • සමුදය සත්‍ය පමණක් ඇතුලත් දේශනා
  • නිරෝධ සත්‍ය පමණක් ඇතුලත් දේශනා
  • මාර්ග සත්‍ය පමණක් ඇතුලත් දේශනා
  • දුක්ඛ සත්‍යත් සමුදය සත්‍යත් නිරෝධ සත්‍යත් ඇතුලත් දේශනා  
  • දුක්ඛ සත්‍යත් සමුදය සත්‍යත් මාර්ග සත්‍යත් ඇතුලත් දේශනා
  • සමුදය සත්‍යත් නිරෝධ සත්‍යත් මාර්ග සත්‍යත් ඇතුලත් දේශනා  
  • දුක්ඛ සත්‍යත් සමුදය සත්‍යත් නිරෝධ සත්‍යත් මාර්ග සත්‍යත්  ඇතුලත් දේශනා යනුවෙනි.
           එබැවින් බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද යම් දේශනාවක් අධ්‍යනය කිරීමේදී මෙම කරුණු එම දේශනාව තුල අන්තර්ගත වේ දැ යි සෙවිය යුතුය.ඕනෑම සූත්‍ර ධර්මයක් තුල හෝ විනය සික්ෂා පදයක් තුල මෙම චතුරාර්ය සත්‍ය දැකිය හැකි ය. නැතහොත් ඉහත දක්වන ලද ආකාර 20 න් කවර හෝ ආකාරයක් දැකිය හැකි ය. එසේම විනයට ගැලපීමේදී විශේෂයෙන් රාග - ද්වේශ - මෝහ යන කෙලෙසුන් නැසීම පිණිස පවතී දැ යි සෙවිය යුතුය. රාග - දේවේශ - මෝහාදී කෙලෙසුන් නැසීම පිණිස පවතී දැ යි සෙවිය යුතුය. එසේ සොයන ආකාරය පෙටකොපදේශයේ මෙසේ මහා කච්චාන මහා රහතන් වහන්සේ විසින් දේශනා කර තිබේ.
               එහි කුසල කර්මයන්ගෙන් ද අකුසල කර්මයන්ගෙන් ද පූර්වාපර වශයෙන් මැනවින් පරීක්ෂා කල යුතුය. ඒ මෙසේ ය : බුදුහු එහි ආදියෙහි කෙලෙසුන් දෙසන සේක. කීම ඒ කෙලෙසුන්ගේ ප්‍රහාණය දෙසිත ද , නොහොත් නො දේසිත ද  දැ යි විමසිය යුතුය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ කෙලෙසුන්ගේ ප්‍රහාණය නො දෙසන ලද නම් , කුසල ධර්මයෝ සෙවිය යුතුය.යම් තැනක ඒ අකුසලයෝ ප්‍රහාණයට යෙත් ද , ඉදින් විමසනුයේ නො ලැබේ නම් එහි අකුසලයෝ විමසිය යුත්තාහ .සංකිලෙස භාගිය සූත්‍රයකි.
               ඉදින් ක්ලේශයෝ විමර්ශනය කරනු ලබන්නාහු එහි ආර්ය මාර්ගය පරීක්ෂා කළ යුත්තාහු ය : ඒ භූමීන්හි ක්ලේශයෝ ප්‍රහාණයට යත් ද , නොහොත් නො යත් දැ' යි . යලි යම් පමණ ක්ලේශයෝ දෙසන ලද්දාහු ද , එපමණ ආර්ය ධර්මයෝ නො දෙසන ලද්දාහු ද , යම් තැනක ක්ලේශයෝ ප්‍රහාණයට ප්‍රහාණයට යත් ද , එහි යම් කෙලෙස් කෙනෙක් ආර්ය ධර්මයන්ට ප්‍රතිපක්ෂයෙන් නො යෙදෙත් ද ඒ කෙලෙස්හු බැහැර කළ යුතුය.ඉදින් බැහැර කරනු ලබන්නාහු යෙදීමට යත් ද එහි මෙසේ විමසිය යුත්තාහ : දෙකක් තුනක් හෝ ඉන් වැඩියක් හෝ ක්ලේශයෝ එක ආර්ය මාර්ගයකින් ප්‍රහාණයට යත් දැ යි. ඉදින් මෙසේ විමසනු ලබන්නාහු යෙදීමට යේ ද එහි මෙසේ විමසිය යුතුය : පරම්පරාවෙන් හෝ පිටකය හා සැසදෙනුයේ හෝ සූත්‍රයාගේ අර්ථය ද අර්ථ නො වූ යේ ද විමසිය යුතුය. යම්හෙයකින් සූත්‍රය දක්වන්නට නො හැකි හෝ වේ ද , සූත්‍රය නොම සැක කළ යුතුය. මෙසේ ආදියෙහි යම් පරිදි කුසල ධර්මයෝ වෙත් ද යම් කෙලෙස් කෙනෙක් වෙත් නම් ඔහු ප්‍රහීණ වන්නාහු දැ යි පරීක්ෂා කළ යුතුය. ( ප්‍රථමයෙන් කුසල ධර්මයෝ හෝ ඊට ප්‍රතිපක්ෂ වශයෙන් දැනගත යුත්තාහ. ) දැන් යම් කෙලෙස් ධර්මයක් සඳහා යම් ආර්ය ධර්මයක් දෙසන ලද්දාහු ද , ඒ කෙලෙස් ආර්ය ධර්මයන්ගෙන් ප්‍රහීණ වෙත් ද නොහොත් ප්‍රහීණ නොවෙත් දැ යි විමසිය යුත්තාහ. ඉදින් පරීක්ෂා කරනු ලබන්නාහු යෙදෙත් නම් ගත යුත්තාහ.යලි නො යෙදෙන්නාහු නම් යම් කෙලෙස් කෙනෙක් ප්‍රතිපක්ෂ නො වෙත් ද ඒ කෙලෙස් බැහැර නො කළ යුතුය. යම් ආර්ය ධර්මයක් කෙලෙසුන්ට ප්‍රතිපක්ෂ වෙත් ද , ඒ ආර්ය ධර්මයෝ බැහැරකළ යුත්තාහ. ආර්ය ධර්මයෝ නො පැමිණි කෙලෙසුන්ගේ ප්‍රහාණයට නො යන බැවිනි. ආර්ය ධර්මයෝ සියලු කෙලෙසුන්ගේ ප්‍රහාණය පිණිසද නො පවතින බැවිනි. 
 උදා :-
       මෛත්‍රිය කුසලයකි , රාගය අකුසලයකි .මෛත්‍රිය කුසල් යැ යි කී පමණින්ම අකුසල් වූ රාගය ප්‍රහාණය පිණිස නො පවතින්නේ ය. ව්‍යාපාදය මෛත්‍රියෙන් ප්‍රහාණයට යන්නේ ය. එහෙයින් උභය ක්ලේශයන් පිළිබඳව විමසිය යුත්තාහු ය. කුසල් වූ හෝ අකුසල් වූ හෝ යම් යම් ධර්මයක් දක්වනු ලැබේ ද ඒ ධර්මය විමසිය යුත්තාහ. ඉදින් ඔහු යෙදෙත් නම් අපකර්ශනය කරනු ලබන්නේ පරීක්ෂා කළ යුත්තක් නැත. 
      ( සූත්‍ර පිටකය . ඛුද්දක නිකාය.පේටකොපදේශය.චතුත්ථ භූමි .2550 බු.ජ.ත්‍රි.පිටුව.- 99/100 )         
            එසේම සිතෙහි උපදනා රාග - ද්වේශ - මෝහ යන අකුසල ධර්මයන් හේතු කොට ගෙන එය සත්ත්වයාට හිත පිණිස හෝ අහිත පිණිස පවතින්නේ දැ යි විමසා බැලිය යුතුය. එසේම සිතෙහි උපදනා අලෝභ - අදෝස - අමෝහ යන කුසල ධර්මයන් හේතු කොට ගෙන එය සත්ත්වයාට හිත පිණිස හෝ අහිත පිණිස පවතින්නේ දැ යි විමසා බැලිය යුතුය. එසේම මෙලොව වාසය කරන්න වූ නුවනැත්තන් විසින් එම ධර්මයන්ගේ සමාදන් වීම ගරහන ලද්දේ ද නො ගරහන ලද්දේ දැ යි විමසා බැලිය යුතුය. ගරහන ලද ධර්මය ඉවත් කොට නො ගරහන ලද ධර්මය මනා වූ ධර්මයක් යැ යි ගත යුතුය.  අවම වශයෙන් ධර්මය හදාරනු ලබන යම් තැනැත්තෙක් විසින් මෙම මුලික කරුනුවත් දැනගෙන ධර්මය හැදෑරිය යුතුය. එසේ සංසන්දනය කරනු ලබන අවස්ථාවේ දී යම් පරියායක් ධර්මය හා විනය යන දෙපාර්ශවයන්ටම මනාව එකඟ වේ නම් පමණක් එය බුද්ධ දේශනාව ලෙස ගන්න ලෙස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබේ. 

          
                     ත්‍රිපිටකය අධ්‍යනය කළ යුතු පිළිවෙල.

                 නවකයෙක් හෝ වේවා ප්‍රවීනයෙක් හෝ වේවා , ඔබ ත්‍රිපිටකය අධ්‍යනය කරන්නෙකු නම් ඉතා පරිස්සමින් එය සිදුකල යුතුව ඇත. මක්නිසාද යත් වැරදි වැටහීම් ඇතිවීමෙන් ඔබටත් සියලු දෙනාටත් සිදුවිය හැකි ගැටළු මගහරවා ගැනීම පිණිසය. මක්නිසාද යත් ත්‍රිපිටකය තුල ඇති ඇතැම් සූත්‍ර දේශනා ඉතා ගැඹුරු වන නිසා ආරම්භයේදීම එය එකවර අධ්‍යනය කිරීමට යාම නිසා එපාවීම් ඇතිවිය හැකි බැවිනි. එබැවින් සැමවිටම පහසු සරල මට්ටමක සිට එය අධ්‍යනය කිරීම වඩා පහසුවක් වනු ඇත. මුලදී ඇතැම් සූත්‍ර එකවරම අධ්‍යනය නො කර මදකට තබා පසුව තරමක් හෝ ධර්ම දැනුම ලබාගත් පසුව හෝ අධ්‍යනය කිරීම වඩා වැදගත් වන බැවිනි.

1. අංගුත්තර නිකාය 1 , 2 , 3 , 4 , 5 , 6 යන ධර්ම ග්‍රන්ථයන්ගෙන් ඕනෑම ග්‍රන්ථයක් මුලින් අධ්‍යනය කරන්න.
2. ඛුද්දක නිකායට අයත් ධර්ම ග්‍රන්ථ අතුරින් 
  • ඛුද්දක පාඨ ( ඛුද්දක පාඨ , ධම්මපදය , උදාන , ඉතිවුත්තක )  
  • විමාන වත්ථු හා ප්‍රේත වස්තු වර්ණනා
  • ථේර - ථේරී ගාථා 
  • ජාතක පාළිය
  • අපදාන පාළිය 
  • බුද්ධ වංසය - චරියා පිටකය 
3. දීඝ නිකාය 
  • මහා වර්ගය 
  • පාඨික වර්ගය
  • සීලක්ඛන්ධ වර්ගය ( පළමුවන බ්‍රහ්මජාල සූත්‍රය දැනට කියවීමෙන් වළකින්න. දෙවන සූත්‍රයේ පටන් කියවන්න) 
4. මජ්ඣිම නිකාය
  • මජ්ඣිම පණ්ණාසකය
  • උපරි පණ්ණාසකය
  • මූල  පණ්ණාසකය ( පළමුවන මූල පරියාය සූත්‍රය දැනට කියවීමෙන් වළකින්න.දෙවන සූත්‍රයේ පටන් කියවන්න) 
5. සංයුත්ත නිකාය 
  • සංයුත්ත නිකාය 1( සගාථ වර්ගය )
  • සංයුත්ත නිකාය 5 - 1 , 5 - 2 ( මහා වර්ගය )
  • සංයුත්ත නිකාය 4 ( සළායතන වර්ගය )
  • සංයුත්ත නිකාය 3 ( ඛන්ධක වර්ගය )
  • සංයුත්ත නිකාය 2 ( නිදාන වර්ගය ) 
6. සුත්ත නිපාතය 
7. මහා නිද්දේස පාළිය
8. චුල්ල නිද්දේස පාළිය
9. පටිසම්භිදාමග්ගප්‍රකරණය 1
10. පටිසම්භිදාමග්ගප්‍රකරණය 2
11. පේටකොපදෙසය
12.නෙත්තිප්‍රකරණය
සැ.යු:-
       දැන් මජ්ඣිම නිකායේ පෙර නො කියවූ මූලපරියාය සූත්‍රයත් , දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රයත් කියවන්න.

13. පාරාජිකා පාළිය
14. පාචිත්තිය පාළිය
15. මහාවග්ග පාළිය
16. චුල්ලවග්ග පාළිය
17. පරිවාර පාළිය

18. පුද්ගලප්‍රප්ති ප්‍රකරණය
19. ධම්මසංඝනී ප්‍රකරණය
20. විභගප්ප්‍රකරණය 
21. ධාතුකතා
22. යමකප්‍රකරණය 
23. පට්ඨානප්‍රකරණය 
24. කථාවතුප්‍රකරණය 

සැ.යු :-
               මෙම පෙළ පොත් පරිශීලනය කිරීමේදී නිතරම ඔබ අටුවා ආදී ධර්ම ග්‍රන්ථ ද ඒත් සමගම පරිශීලනය කිරීමට උත්සාහවත් වන්න. එයින් ඔබට වැරදි අවබෝධයන් ඇති වීම කිසිවිටෙකදීවත් සිදු නො වනු ඇත. ප්‍රථමයෙන්ම අප විසින් දක්වන ලද ඔබ විසින් සම්පාදනය කර ගත පත පොත ඔබගේ ධර්ම ඥානය වඩාත් දියුණු තියුණු කිරීම සඳහා වඩාත් උපකාරී වනු ඇත.



ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ.
sudhamma_2009@yahoo.com


     


                                                                                                                                             

Sunday, January 22, 2012





               මීට වසර 2600 කට පමණ පෙර අංගීරස වූ සියලු දෙවි මිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාව තුල අත්‍යුත්තම ස්වභාවයට පත් වූ අප තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ වහන්සේගේ බුද්ධත්ව මංගල්‍ය සිදු වූහ. දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබාගත් අවස්ථාවේ පටන් දාන, සීල, නෙක්ඛම්මාදී වශයෙන් පාරමී - උප පාරමී - පරමාර්ථ පාරමී වශයෙන් සම තින්සත් පාරමී සම්පූර්ණ කොට දඹදිව ගයා ශීර්ශයේදී වජිරාසනාරූඩව  සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. ජීවිත පරිත්‍යාගයෙන් පැමිණ ලබාගත් බුද්ධත්වයෙන් යුතු උන්වහන්සේ පුරා වසර 45 ක කාල පරාසයක් දෙවි මිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාවට මහත් සේ අනුකම්පාවෙන් චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කල සේක. 

              සත්වයා සසර ගමනින් මිදෙන්නට නොදී සසරට අල්වා තබාගන්නා වූ සියලු කෙලෙසුන්ගෙන් උන් වහන්සේ ප්‍රථමයෙන් ම මිදුණු සේක. පසුව තම ධර්මය ලොවට ප්‍රකාශ කිරීමට පිටත් කිරීමට නියමිත  ශ්‍රාවකයන් 60 නම අමතා මෙසේ දේශනා කල සේක. 

             '' මුත්තෝ'හං භික්ඛවේ , සබ්බපාසෙහි යේ දිබ්බා යේ ච මානුසා . තුම්හේ'පි භික්ඛවේ , මුත්තා සබ්බපාසෙහි යේ දිබ්බා යෙ ච මානුසා . චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පකාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං. මා ඒකෙන ද්වේ අගමිත්ථ . දෙසෙථ භික්ඛවේ , ධම්මං ආදිකල්‍යානං මජ්ඣෙ කල්‍යානං පරියෝසාන කල්‍යාණං සාත්ථං සබ්යන්ජනං කෙවලපරිපුණ්ණං බ්‍රහ්මචරියං පකාසෙථ. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා ; අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සති ධම්මස්ස අඤඤාතාරෝ...... ''

             මහණෙනි, මම දෙවියන් පිලිබඳ වූ යම් ක්ලේශ පායාසයෝ වෙත් ද , මිනිසුන් පිලිබඳ වූ යම් ක්ලේශ පායාසයෝ වෙත්ද , ඒ සියලු ක්ලේශපායාසයන්ගෙන් මිදුනෙමි. මහණෙනි , තෙපි ද දෙවියන් පිලිබඳ වූ යම් ක්ලේශපායාසයෝ වෙත් ද , මිනිසුන් පිලිබඳ වූ යම් ක්ලේශපායාසයොත් වෙත් ද , ඒ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහු ය. මහණෙනි , බොහෝ දෙනාට හිත පිණිස ද බොහෝ දෙනාට සැප  පිණිස ද ලොවට අනුකම්පා පිණිස ද දෙවි මිනිසුන්ට  හිත පිණිස ද සැප පිණිස ද චාරිකාවේ හැසිරෙව්. දෙනමක් එක මගින් නො යවූ. මහණෙනි , ආදියෙහි යහපත් වූ මධ්‍යයෙහි යහපත් වූ අවසානයෙහි යහපත් වූ අර්ථ සහිත වූ ව්‍යංජන සම්පත්තියෙන් යුක්ත වූ සියල්ලෙන් සම්පූර්ණ වූ ධර්මය දෙසවූ. පිරිසිඳු වූ බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරවූ.ස්වල්ප වූ රාගාදී රජස් ඇති සත්ත්වයෝ වෙති. ඔහු දහම් නො ඇසීමෙන් පිරිහෙත්. දහම් අවබෝධ කරන්නෝ වන්නාහ.
             ( විනය පිටකය.මහාවග්ග පාලිය -1. මාර කතා . 2550 බු.ජ.ත්‍රි.පිටුව - 42/43 ).   

             බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද මෙම දේශනාව දෙස බැලීමේදී කරුණු කිහිපයක් සානාථ කරගත හැක.

1. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත් වූ බව.
2. තම ශ්‍රාවකයන්  ද සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත් වූ බව.
3. තමන් වහන්සේත් ශ්‍රාවකයනුත් විසින් නසන ලද කෙලෙස් කවර ආකාරයක ස්වභාවයකින් යුක්ත වූවාද යන බව. 
4. ආර්ය ධර්මය සියලු සත්ත්වයින්ට බලපාන ආකාරය. 
5. සත්ත්වයන්ට  ධර්මය අවබෝධ කල හැකි  බව.
6. තමා විසින් අවබෝධ කරන ලද ධර්මය '' ස්වාක්ඛාත '' ධර්මයක් බව.
7. ධර්ම ප්‍රචාරයෙහි යෙදිය යුතු ආකාරය.

              මෙසේ ආරම්භ කරන ලද ධර්ම ප්‍රචාරක කටයුතු සමග දඹදිවත් දෙවි මිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාව තුලත් උන්වහන්සේ දෙසූ ධර්මය ප්‍රචලිත විය. මේ නිසාම භික්ෂු - භික්ෂුනී - උපාසක - උපාසිකා යන සතරවිධ ශ්‍රාවක පිරිසක් උන්වහන්සේ වටා එකතු වූහ. එම සිවුවනක් පිරිසෙන් ඇතැමෙක් විවිධ ධ්‍යාන සමාපත්තීන්ට සමවැදිය හැකි අය වූහ. ඇතැමෙක්  සෝතාපන්න වූහ. ඇතැමෙක් සකදාගාමී වූහ. ඇතැමෙක් අනාගාමී වූහ. තවත් පිරිසක් අරහත්වයට පත්ව සියලු සසර දුක් නිවා ලූහ. මෙසේ විවිධ ඵලයන් ලැබූ අය අප්‍රමාණ ය . අප ශාන්තිනායකයන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව ශ්‍රවනය කල දස දහසක් සක්වල සත්ත්වයන් අතරින් 18 කෝටියක් පමණ දෙනා එකවරම ධර්මය අවබෝධ කළහ. එසේ දම්සක් පැවතුම් සුත්‍ර දේශනාවෙන් තමන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ධර්මය දේශනා කිරීම ආරම්භ කල ශාන්තිනායකයන් වහන්සේ වසර 45 ක කාල පරාසයක් තුල විවිධ සත්ත්වයන් නිවන් සුවයෙන් සනසා ලුහ. ත්‍රිපිටක අටුවා ටීකා ආදී ධර්ම ග්‍රන්ථ අධ්‍යනය කිරීමෙන් මේ පිළිබඳව වඩාත් සාධක සොයාගත හැකිය. 

                බුද්ධ දේශනාව බෙදා දැක්වීම 

                 අතීත - වර්තමාන - අනාගත යන තුන් කාලයටම අයත් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසින් ලෝක සත්ත්වයාට මහත් අනුකම්පාවෙන් දේශනා කරන ලද ධර්මය ප්‍රධාන වශයෙන් ත්‍රිවිධාකාර වෙති.

1. පර්යාප්ති ශාසනය 
2. ප්‍රතිපත්ති ශාසනය
3. ප්‍රතිවේද  ශාසනය 

                                    යනුවෙනි.

             1. පර්යාප්ති ශාසනය 



                පර්යාප්තිය නම් ත්‍රිපිටක බුද්ධ වචනය යි. සමස්ත ත්‍රිපිටකයම මෙසේ බෙදා වෙන්කර දෙක්විය හැකි ය. 

                 කථං පිටකවසෙන තිවිධං? සබ්‌බම්‌පි හෙතං විනයපිටකං සුත්‌තන්‌තපිටකං අභිධම්‌මපිටකන්‌ති තිප්‌පභෙදමෙව හොති.
                                             සමන්තපාසාදිකා  අටුවාව. ග්‍රන්තාරම්භ කතාව .CSCD )
                කෙසේ පිටක වශයෙන් ත්‍රිවිධාකාර වේද සියල්ල ,
  • විනය පිටකය 
  • සුත්‍ර පිටකය
  • අභිධර්ම පිටකය
                              යනුවෙන් තුන් ආකාරයකට බෙදා දක්වා ඇත.

                    විනය පිටකය:-

                            තත්‌ථ පඨමසඞ්‌ගීතියං සඞ්‌ගීතඤ්‌ච අසඞ්‌ගීතඤ්‌ච සබ්‌බම්‌පි සමොධානෙත්‌වා උභයානි පාතිමොක්‌ඛානිද්‌වෙ විභඞ්‌ගානිද්‌වාවීසති ඛන්‌ධකානිසොළසපරිවාරාති ඉදංවිනයපිටකං නාම.
                         සමන්තපාසාදිකා  අටුවාව. ග්‍රන්තාරම්භ කතාව .CSCD )

                එහි ප්‍රථම ධර්ම සංඝායනා කාලයෙහි සංඝායනා  කරන ලද්දා වූ ද සංඝායනා නො කරන ලද්දා වූ ද උභය ප්‍රාතිමෝක්ෂය විභංගයන් දෙක ඛණ්ධයන් 22 , පරිවාරයන් 16 යන සියල්ලම විනය පිටකය නම් වේ.
      '' විනයනය '' කිරීම විනය නම් වේ. එනම් ධර්මාවබෝධයට පත් විය හැකි හෝ නො හැකි  හෝ සත්ත්වයින් ලෞකික - ලෝකෝත්තර ඵලාධිගමනයන් සඳහා සුදුසු ලෙසින් හික්මවීම යි. සංවරයට පත් කිරීම යි.මෙහි ඇති විශේෂත්වයනම් ආඥා බහුලත්වය යි. එනම් අණ දීම් බහුල කොට ඇති බවයි. මෙසේ කායික - මානසික - ෛචතසික සමාචාරයන්ගෙන් යුක්ත විය යුතු බව අණවා තිබීම මෙහි ඇති විශේෂත්වය යි. විනය පිටකය පහත දක්වන ලෙසින් කොටස් කර දැක්විය හැක.
      • පාරාජිකා පාලිය
      • පාචිත්තිය පාලිය
      • මහා වග්ග පාලිය
      • චුල්ල වග්ග පාලිය 
      • පරිවාර පාලිය 

              සුත්‍ර පිටකය:-

                 බ්‍රහ්‌මජාලාදි චතුත්‌තිංසසුත්‌තසඞ්‌ගහො දීඝනිකායොමූලපරියායසුත්‌තාදි දියඩ්‌ඪසතද්‌වෙසුත්‌තසඞ්‌ගහො මජ්‌ඣිමනිකායොඔඝතරණසුත්‌තාදි සත්‌තසුත්‌තසහස්‌ස සත්‌තසත ද්‌වාසට්‌ඨිසුත්‌තසඞ්‌ගහො සංයුත්‌තනිකායොචිත්‌තපරියාදානසුත්‌තාදි නවසුත්‌තසහස්‌ස පඤ්‌චසත සත්‌තපඤ්‌ඤාසසුත්‌තසඞ්‌ගහො අඞ්‌ගුත්‌තරනිකායොඛුද්‌දකපාඨ-ධම්‌මපද-උදාන-ඉතිවුත්‌තක-සුත්‌තනිපාත-විමානවත්‌ථු-පෙතවත්‌ථු-ථෙරගාථා-ථෙරීගාථා-ජාතකනිද්‌දෙස-පටිසම්‌භිදා-අපදාන-බුද්‌ධවංස-චරියාපිටකවසෙන පන්‌නරසප්‌පභෙදො ඛුද්‌දකනිකායොති ඉදං සුත්‌තන්‌තපිටකං නාම.    
                                                   ( සමන්තපාසාදිකා  අටුවාව. ග්‍රන්තාරම්භ කතාව .CSCD )

                    බ්‍රහ්මජාල සුත්‍රය ආදී කොට ඇති සූත්‍ර 34 දීඝ නිකාය නම් වේ. මූලපරියාය සූත්‍රය ආදීකොට ඇති සූත්‍ර 152 මජ්ඣිම නිකාය නම් වේ. ඕඝතරණ සූත්‍රය ආදී කොට ඇති සූත්‍ර 7762 සංයුත්ත නිකාය නම් වේ. චිත්තපරියාදාන සූත්‍රය ආදී කොට ඇති  සූත්‍ර 9557 සූත්‍ර අංගුත්තර නිකාය නම් වේ. ඛුද්දක පාඨ - ධම්මපද - උදාන - ඉතිවුත්තක - සුත්තනිපාත - විමානවත්ථු - පේතවත්ථු - ෙථ්රගාථා - ෙථ්රීගාථා - ජාතක - නිද්දේස - පටිසම්භිදා - අපදාන - බුද්ධවංස - චරියාපිටක ආදී කොට ඇති ග්‍රන්ථ 15 ඛුද්දක නිකාය නම් වේ. සූත්‍ර දේශනා සඳහා වෝහාර දේශනා යන නම භාවිතා කරයි. වෝහාර නම් ව්‍යවහාර ය යි. සම්මුතිය යි. මෙහිදී විශේෂයෙන් ව්‍යවහාරය තුල පිහිටා කරන දේශනා අඩංගුව ඇත. බොහෝවිට සත්ත්ව පුද්ගල සංඥාව තුල පිහිටා සූත්‍ර පිටකයට අඩංගු දේශනා සිදුකර ඇත. 

                අභිධම්ම පිටකය:-

        ධම්‌මසඞ්‌ගහොවිභඞ්‌ගොධාතුකථාපුග්‌ගලපඤ්‌ඤත්‌තිකථාවත්‌ථුයමකංපට්‌ඨානන්‌ති ඉදං අභිධම්‌මපිටකං නාම. 
                                     ( සමන්තපාසාදිකා  අටුවාව. ග්‍රන්තාරම්භ කතාව .CSCD )                          
      ධර්මසංගනීප්‍රකරණය - විභංගප්‍රකරණය - ධාතුකතා - පුද්ගලප්‍රඥප්ති - කතාවත්ථුප්‍රකරණය - යමකප්‍රකරණය - පට්ඨානප්‍රකරණය  යන සප්තප්‍රකරණයන් අභිධම්ම පිටකය නම් වේ.  කෙනට්ෙඨන අභිධම්මෝ ධම්මාතිරෙකාර්ථයෙන් ද ධර්මවිෂේශාර්තයෙන් ද අභිධර්මය නම් වේ. සම්මුතිය ඉක්මවා පරමාර්ථ ධර්මයන් තුල පිහිටා චිත්ත - චෛතසික - රුප - නිබ්බාන යන පරමාර්ථ ධර්මයෝ ඉතා ගාම්භීර ලෙස මෙහිදී විස්තර කර දී ඇත.
                             2.ප්‍රතිපත්ති ශාසනය 

                    ප්‍රතිපත්තිය නම් අනුගමනය කල යුතු ක්‍රියා පටිපාටිය යි. මෙහිදී විශේෂයෙන් විනය පිටකයේ එන ශික්ෂාපදයන් පිළිබඳව හා සූත්‍ර පිටකයේ එන දහම් කරුණු පිළිබඳව අවධානය යොමු කර තිබේ.
        
                3.ප්‍රතිවේධ ශාසනය
                
                    බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් අධිගමනය කල හැකි සෝවාන් - සකදාගාමී - අනාගාමී - අරහත්  යන ඵලයන්ට පත්වීමෙන් ලබන අධිගමනය යි.



    ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ.
    sudhamma_2009@yahoo.com