Powered By Blogger

Saturday, May 26, 2012



සුත්‍ර සාකච්ඡාව - ASLBV                                                                               tute – 02.


01.ඉත්ථිරූප පරියාදාය සූත්‍රය.

( සූත්‍ර පිටකය. අංගුත්තර නිකාය. එකක නිපාතය.චිත්තපරියාදාන වර්ගය. 1.1.1. 2550 බු.ජ.ත්‍රි.පිටුව - 01/02)
පද විග්‍රහය 

එවං මේ සුතං :-

                        ‘මා විසින් මෙසේ අසන ලදී ’ යනු එහි අර්ථය යි. මෙහි එවං යනු නිපාත පදයකි. මේ යනු නාම පදයකි. සුතං යනු ක්‍රියාව යි.

Ø  ධර්ම විනය තුල ‘එවං’ පදය අර්ථ කිහිපයක් ගෙනහැර දැක්වීම සඳහා භාවිතා කර තිබේ.

·        උපමාවන් විග්‍රහකර දැක්වීමට
‘ එවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුං ... ’ යන තැන්හි උපමාව ගෙනහැර දැක්වීම පිණිස එවං පදය භාවිතා කර තිබේ.
·        උපදේශය ගෙනහැර දැක්වීමට
‘එවං අභික්කමිතබ්බං ...’ යන තැන්හි උපදේශය ගෙනහැර දැක්වීම පිණිස එවං පදය භාවිතා කර තිබේ.
·        සතුට ප්‍රකාශ කිරීමට
‘එවමේතං භගවා එවමේතං සුගත ...’ යන තැන්හි සතුට ප්‍රකාශ කිරීම පිණිස එවං පදය භාවිතාකර තිබේ.
·        ගැරහීම සිදු කිරීමට
‘එවමෙව පනායං වසලී යස්මිං වා තස්මිං වා තස්ස මුණ්ඩකස්ස සමනකස්ස වණ්ණං භාසති ...’ යන තැන්හි ගැරහීම සිදුකිරීමට එවං පදය භාවිතා කර තිබේ.

·        වචන පිළිගැනීම සිදුකිරීමට
‘එවම්භන්තෙති ඛෝ තේ භික්ඛූ පච්චස්සෝසුං භගවා... ’ යන තැන්හි වචන පිළිගැනීම දැක්වීමට එවං පදය භාවිතා කර ඇත.
·        ආකාරය දැක්වීමට
‘එවං ඛෝ අහං භන්තේ භගවතා ධම්මං දේසිතං අජානාමි ...’ යන තැන්හි ආකාරය දැක්වීමට එවං පදය භාවිතා කර ඇත.
·        නිදර්ශණයන් දැක්වීමට
‘ ඒවඤ්ච වදෙහි සාධු කිර භවං ආනන්දෝ යෙන සුභස්ස මානවස්ස ... ’ යන තැන්හි නිදර්ශනයන් දැක්වීමට එවං පදය භාවිතාකර ඇත.
·        අවධාරණය කර දැක්වීමට
‘තං කිං මඤ්ඤ කාලාමා ඉමේ ධම්මා කුසලා වා අකුසලා වාති. අකුසලා භන්තේ  ෴ පෙ ෴  කතං වෝ එත්ත හොතීති සමත්තා භන්තේ සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති එවං නො එත්ත හොති ’ යන තැන්හි අවධාරණය කර දැක්වීමට එවං පදය භාවිතාකර ඇත.

නමුත් මෙහිදී ‘ ආකාරය ’ පිළිබඳව හැගවීමට එවං පදය භාවිතා කර ඇත. එනම්, නොයෙක් න්‍යායන්ගෙන් දක්ෂ වූ , විවිධ අදහස් වලින් හටගත් අර්ථ ව්‍යංජනයන්ගෙන් යුක්ත වූ , විවිධ පෙළහර ඇති තමන්ගේ භාෂාවන්ට අනුරූප පරිද්දෙන් තමන්ගේ ශ්‍රවණ පථයට එන්නා වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන සර්වාකාරයෙන් දැනගැනීමට කවරෙකු නම් සමත් වේද ? එබැවින් මා විසින් බුදුරජාණන් වහන්සේගේ වචනය මෙසේ අසා දැනගන්නා ලදී. පිළිගන්නා ලදී. එසේම මෙය වනාහි මා විසින් අවබෝධ කරන ලද්දක නොවේ. බුදුරජානන් වහන්සේලාගේ දේශනාවම ය.

Ø  එසේම ධර්මය තුල ‘මේ ’ යන පදය සඳහා අර්ථ 3 ක් ගෙනහැර දක්වා ඇත.

·        මා විසින්
‘ ගාතාභිගීතං මේ අභෝජනෙයියං ....’ යන තැන්හි මා විසින් යැ යි දැක්වීමට මේ පදය භාවිතා කර ඇත.
·        මට
‘සාධු මේ භන්තේ භගවා සංඛිත්තේන ධම්මං දෙසෙතු ... ’ යන තැන්හි මට යැ යි දැක්වීමට මේ පදය භාවිතා කර ඇත.
·        මගේ
‘ධම්මදායාදා මේ භික්ඛවේ භවං... ’ යන තැන්හි මගේ යැ යි දැක්වීමට මේ පදය භාවිතා කර ඇත.
Ø  තවද , ධර්මය තුල ‘සුතං’ යන පදය පහත අර්ථ දැක්වීමට භාවිතා කර ඇත.

·        ගමන දැක්වීමට
‘සේනාය පසුතෝ ... ’ යන තැන්හි ගමන් විලාසය දැක්වීමට සුත පදය භාවිතා කර ඇත.

·        ප්‍රකට බව දැක්වීමට
‘සුතධම්මස්ස පසුතෝ ... ’ ප්‍රකට ධර්මයාගේ යන අර්ථය දැක්වීමට සුත පදය භාවිතා කර ඇත.

·        තෙත් වූ නොතෙත් වූ අර්ථය දැක්වීමට
‘අවස්සුතානවස්සුතස්ස ... ’ යන තැන්හි තෙත් වූ නොතෙත් වූවහුගේ යන අර්ථය දැක්වීමට සුත පදය භාවිතා කර ඇත.
·        රැස්කළ අර්ථය දැක්වීමට
‘ තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පකං... ’ යන තැන්හි රැස්කළ යන අර්ථය දැක්වීමට සුත පදය භාවිතා කර ඇත.
·        යමක යෙදුණු බව දැක්වීමට
‘යේ ධ්‍යානපසුතා ධීරා ... ’ යන තැන්හි ධ්‍යානයෙහි යෙදුණු බව දැක්වීමට සුත පදය භාවිතා කර ඇත.
·        කනින් අසා දැනගත යුතුය යන අර්ථය දැක්වීමට.
‘දිට්ඨං සුතං මුතං... ’ යන තැන්හි සෝතවිඥානයෙන් දත යුතු දේ යන අර්ථය දැක්වීමට සුත පදය භාවිතා කර ඇත.

            ‘ඒවං මේ සුතං’ යන තැනදී සුතං යන පදය ‘සොතද්වාරයෙන් අසා දැනගත් බව’ දැක්වීමට භාවිතා කර ඇත. එනම් මා විසින් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මාගේ කනින් අසා මෙසේ දැනගන්නා ලදී.. යනුවෙන් ආනන්ද මහරහතන් වහන්සේ විසින් හැඟවීම පිණිස මෙසේ නිදාන කතාවක් වශයෙන් බොහෝ සූත්‍ර දේශණා සඳහා මෙම ඒවං මේ සුතං... යන වාක්‍යය එක් කර ඇත. එසේම තමන් වහන්සේ විසින් එසේ ධර්මය ඇසූ බවත් මෙය තමන් වහන්සේගේ දේශනාවක් නොවන බවත් මෙහිදී අවධාරණය කර දක්වා ඇත. මෙහි කර්තෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බවත් දැක්වීමට මෙසේ මෙම වාක්‍යය භාවිතා කර ඇත.
( වැඩි විස්තර සඳහා මනෝරථපූරණී අංගුත්තර නිකාය අටුවාව බලන්න.)

ඒකං සමයං :-

            මෙහි ‘ඒක’ යනු සංඛ්‍යා සීමාව නිර්දේශ කිරීමයි. ‘සමයං’ යනු කාලය වෙන්කර දැක්වීම යි. කවර කාලයක ද යත් : සංවත්සර , ඍතු , මාස , අර්ධ මාස , රාත්‍රී , දහවල් , පූර්වාහ්නය , මධ්‍යාහ්නය , සායාන්හය , ප්‍රථම - මධ්‍යම - පශ්චිම යාමය... යනාදී කාල අතුරින් යම් කාල පරාසයක් පිළිබඳව විස්තර කර දැක්වීම මෙහිදී සිදු කරයි. තමන් වහන්සේ විසින් කවර නම් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ විසින් දේශණා කරන ලද ධර්මය ශ්‍රවනය කරන ලද්දේ දැ යි මෙහිදී විස්ටර කර දක්වනු ලැබේ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙහි ප්‍රකට අවස්ථා , නැතහොත් කාල පරාසයන් කිහිපයක් වෙති. එනම් , ගර්භාවක්‍රාන්තිසමය , ජාතිසමය , සංවේගසමය , අභිනිෂ්ක්‍රමණසමය , දුෂ්කරක්‍රියාසමය , මාරවිජයසමය , අභිසම්බෝධිසමය , දිට්ඨධම්මසුඛවිහාර සමය , දේශනාසමය , පරිනිර්වාණසමය යන කාල පරාසයන්ගෙන් දේශණාසමයම මෙහිදී ගණන් ගනී.

භගවා :-

            ‘භගවා’ යන පදයෙන් ගරු කිරීම දක්වනු ලැබේ. ලෝකයෙහි ගුණයන්ගෙන් යුත්  පුද්ගලයන් සේම ගුණ රහිත පුද්ගලයන් ද දක්නට ලැබේ. එසේ ගුණ ඇත්තවුන් අතරින් ද බුදුරජාණන් වහන්සේ උසස් වන්නේ ය. උසස් ගුණ ඇත්තවුන් අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ ය. දෙවි මිනිසුන් අතරින් අතිශය උසස් වූ ගුණයන්ගෙන් සමන්විත නිසා බුදුරජාණන් වහන්සේ ඉතා ගෞරවාදරයට පත වූ ශාස්තෘන්වහන්සේ කෙනෙකුන් වන්නේය. මෙම භගවා යන නාමය කිසිවෙකු විසින් හෝ තබන ලද්දක් නොවේ. බෝධි මූලයෙහිදී ලබන ලද මාර පරාජයත් සමගම , චතුරාර්යසත්‍යය අවබෝධකිරීමත් සමගම උන්වහන්සේ ලද නාමයකි. ගුණ ප්‍රකාශිත නාමයකි. මහා නිද්දේස පාලියෙහි එන පුරාභේද සූත්‍ර දේශනාවෙහිදී මෙසේ බුදුරජාණන් වහන්සේගේ ‘භගවා’ බුදුගුණය පිළිබඳව දේශණා කරන ලදී.
·        භගවාති ගාරවාධිවචානං - භගවා යනු ගෞරවය හඟවන ගෞරවාර්ථ පදයකි.
·        භග්ගරාගෝති භගවා - රාගය බිඳ විනාශ කළ බැවින් ද ,
·        භග්ගදොසොති භගවා - ද්වේෂය බිඳ විනාශ කළ බැවින් ද ,
·        භග්ගමෝහෝති භගවා - මෝහය බිඳ විනාශ කළ බැවින් ද ,
·        භග්ගදිට්ඨීති භගවා - දෘෂ්ටීන් බිඳ විනාශ කල බැවින් ද ,
·        භග්ගමානෝති භගවා - මාන්නය බිඳ විනාශ කල බැවින් ද ,
·        භග්ගතණ්හෝති භගවා -තණ්හාව බිඳ විනාශ කල බැවින් ද ,
·        භග්ගකිලේසෝති භගවා - කෙළෙසුන් බිඳ විනාශ කල බැවින් ද ,
·        භජී විභජී පටිවිභජී ධම්මරතනන්ති භගවා - ධර්මරත්නය භාග විභාග ප්‍රතිවිභාග කළ බැවින් ද ,
·        භාවානං අන්තකරෝති භගවා - භාවය කෙළවර කල බැවින් ද ,
·        භාවිතකායෝ භාවිතසීලෝ භාවිතචිත්තෝ භාවිතපඤ්ඤෝති භගවා - වඩන ලද කයක්,සීලයක්‌,සිතක්,නුවණක් ඇති බැවින් ද ,
·        භජී වා භගවා අරඤ්ඤේ වනපත්ථානි පන්තානි සේනාසනානි අප්පසද්දානි අප්පනිඝ්ඝෝසානි විජනවාතානි මනුස්සරාහසෙයියානි පටිසල්ලානසාරුප්පානිති භගවා - බුදුරජාණන් වහන්සේ අල්ප ශබ්ද ඇති අල්ප ඝෝෂා ඇති මිනිසුන් රහිත මිනිසුන්ගේ රහස් කටයුතු සඳහා සුදුසු වූ විවේකයට අනුරූප වූ වනයෙහි දුර සෙනසුන් සේවනය කරන බැවින් ද ,
·        භාගී වා භගවා චීවර පින්ඩපාත ගිලානපච්චය භේසජ්ජ් පරික්ඛාරන්ති භගවා - බුදුරජාණන් වහන්සේ සිවුරු පිරිකර පිණ්ඩපාතය බෙහෙත් ගිලන්පස ආදිය ලබන බැවින් ද බුදුරජාණන්
වහන්සේ භගවා නම් වන සේක.
(සූත්‍ර පිටකය. ඛුද්දක නිකාය. මහා නිද්දේස පාලිය. පුරාභේද සුත්‍රය.02 ගාථාව. 2550 බු.ජ.ත්‍රි.පිටුව - 288/289 )

·        ඓශ්චර්ය භාගයෙන් යුක්තවන බැවින් - යස ඉසුරින් පිරුණු බව
·        ධර්ම භාගයෙන් යුක්තවන බැවින් ද - උත්තරීතර ශීල ලෞකික ගුණ
·        යස භාග්‍ය - පිරිවර , කීර්තිය ඇති බව
·        ශ්‍රී භාග්‍ය - දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ඇති බව
·        කාම භාග්‍ය - තමන්ගේ හා අනුන්ගේ යහපතට කිරීමට අදහස් කරන සියල්ලම ඉටු වීම නිසා ද බුදුරජාණන් වහන්සේ භගවා නම් වන සේක.

සාවත්තියං :-

            සැවැත් නුවර යි. සාවත්ථි නම් බමුණා ධ්‍යාන වඩමින් වාසය කළ ප්‍රදේශය නිසා මෙම නම ලැබී ඇත.

විහරති :-

            මෙහි ‘වි’ යනු උපසර්ගය යි. ‘හරති’ යනු හැසිරීම යි. විහරණයන් වනාහි ප්‍රධාන වශයෙන් සතරාකාර වෙති.
·        ඉරියාපථ විහරණය
යනු සිටීම් , හිදීම් , යාම් , සැතපීම් යන සතර ඉරියව්වෙන් යම් ඉරියව්වකින් වාසය කිරීමයි. මෙහිදී වාසය කිරීම් අර්ථය ගනී.
·        දිබ්බ විහරණය
දෙවියන් යම් ආකාරයකින් වාසය කරන්නේ ද එම විහරණය යි.තවද දිව්‍ය ලෝකයන්හි වාසය කිරීමයි.
·        බ්‍රහ්ම විහරණය
බ්‍රහ්ම ලෝකයෙහි හෝ සතර බ්‍රහ්ම විහාරනයන්ගෙන් හෝ උතුම් වූ චර්යාවන්ගෙන් යුක්තවීම යි.
·        ආර්ය විහරණය
ආර්යන් වහන්සේලාගේ විහරණය යි. රහතුන් වහන්සේලාගේ සමාපත්ති සුවයෙන් කල්ගත කිරීම හෝ ධ්‍යානයන්ට සමවැදීම හෝ නිරෝධ සමාපත්තියට සමවැදීම යි.
නමුත් මෙහිදී , ඉරියාපථ විහරණයම ගෙන තිබෙන බව දත යුතුය.

ජේතවනේ :-

            ජේත නම් රජ කුමාරයාට අයත් උයනයි. එම නිසා ඔහුගේ නමින් ප්‍රසිද්ධ විය.

අනාථපිණ්ඩිකස්ස ආරාමේ :-

            අනේපිඬු සිටුතුමා විසින් ජේත නම් රාජ කුමාරයට අයත් උයන රන් කහවනු දහඅට කෝටියකට මිලට ගෙන, දහඅට කෝටියක්‌ වියදම් කොට විහාර කරවා, දහඅට කෝටියක්‌ වියදම් කොට බුද්ධ සාසනයට පූජා කරවන ලද විහාරය යි.

තත්‍ර ඛෝ භික්ඛූ ආමන්තෙසි :-

            ‘තත්‍ර’ යනු දේශනා කාලය දැක්වීමට යොදා ගත් පදය යි. බුදුරජාණන්  වහන්සේලා අකාලයෙහි ධර්මය දේශනා නොකරන සේක. සුදුසු කාලහිදීම ධර්මය දේශනා කරන සේක. ‘ ඛෝ’ යනු පද පූරණ නිපාතය යි. ‘භික්ඛූ’ යනු සංඝයා හැඟවීම යි. ‘ආමන්තෙසි’ යනු ආමන්ත්‍රණය කළේය යනු යි.

භික්ඛවෝ භාදන්තේ’ති තේ භික්ඛූ :-

            ‘භික්ඛවෝ’ යනු කරුණාව පැතිරෙන සෞම්‍ය හදවත හා නෙත් හෙළීම පෙරටු කොට ඇති මේ වචනයෙන් ඔවුන්ගේ තමන්ගේ මුවට අභිමුව කෙරෙමින් කීමට කැමැත්ත දක්වන ඒ වචනයෙන්ම ඔවුන්ගේ අසනු කැමැත්ත උපදවයි. වෙනත් දෙවි මිනිසුන් ඇති කල්හි භික්ෂූන්ම ඇමතුවේ මක් නිසා ද යත් : ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ ආසන්න සදාසන්නිහිත භාවය ඇති බැවිනි. ‘ භදන්තේ’ ගෞරව වචනය යි. ස්වාමීනි යන අර්ථය යි. බුදුරජානන් වහන්සේට ප්‍රතිආමන්ත්‍රණය කිරීමයි. ‘තේ භික්ඛූ’ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසනු කැමැත්තෙන් එතනට රැස්වූ භික්ෂූන් ය.

භගවතෝ පච්චස්සෝසුං භගවා එතදවොච :-

            ‘භගවතෝ’ බුදුරජාණන් වහන්සේ. ‘පච්චස්සෝසුං’ මනාව පිළිගත් හ. ‘භගවා’ භාග්‍යවතුන් වහන්සේ ය. ‘ඒතදවෝච’ බුදුරජාණන් වහන්සේ විසින් කිවයුතු දේශණාව සිදුකල සේක.

සූත්‍ර විස්තරය
       
   සූත්‍ර නික්ෂේපයෝ සතර දෙනෙක් වෙති. එනම් බුදුරජාණන් වහන්සේ විසින් දේශණා කරන්නට යෙදුණු සියලුම පර්යාප්තිය ප්‍රධාන නික්ෂේපයන් සතරකට බෙදා දැක්විය හැකිය.

1.     අත්තජ්ඣාස දේශණා
අත්තජ්ඣාස දේශණා නම් බුදුරජාණන් වහන්සේ විසින් අනුන්ගේ ආරාධනාවකින් තොරව තමන් වහන්සේගේම අදහසට අනුව දේශණා කරනු ලබන ධර්ම කොට්ඨාසය යි. ආකඛෙය සූත්‍රය , වත්ථු සූත්‍රය , සතිපට්ඨාන සූත්‍ර දේශණා මේ සඳහා උදාහරණ වශයෙන් දැක්විය හැකිය.

2.     පරජ්ඣාස දේශණා
අනුන්ගේ අදහස , කැමැත්ත , සිත , ප්‍රාර්ථනාව , අවබෝධ කරන බව බලා අනුන්ගේ අදහස් වශයෙන් කරනු ලබන දේශනාවන් ය. දම්සක්පැවතුම් සූත්‍රය , රාහුලෝවාද සූත්‍රය උදාහරණ වශයෙන් දැක්විය හැකිය.

3.     පුච්ඡාවසික දේශණා
යම් යම් මිනිසුන් ද දෙවියන් ද බ්‍රහ්මයන් ද මේ ආදී විවිධ අය බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණ විවිධ ප්‍රශ්න විචාරීම සිදු කරයි. ඔවුන්ගේ ගැටළු බුදුරජාණන් වහන්සේ විසින්  විසදීම සිදු කරයි. මේ යටතට එවැනි සූත්‍ර දේශණා අයත් වේ. සංයුක්ත නිකායෙහි එන දේවතා - දේවපුත්ත සංයුක්තයන්,බොජ්ඣංග සංයුක්තය, සක්ඛපඤ්හ සූත්‍රය ... ආදිය මීට උදාහරණ වශයෙන් දැක්විය හැක.

4.     අට්ඨුප්පත්තික දේශණා
පැණනගින ලද යම් හේතුවක් නිමිතිකරගෙන බුදුරජාණන් වහන්සේ විසින් එම කරුණ පිළිබඳව අර්ථයන් විස්තරයන් ඉදිරිපත් කිරීමේ අදහසින් සිදු කරනු ලබන දේශනාවන් ය. ධම්මදායාද සූත්‍රය ,  පුත්තමංසුපම සූත්‍රය මේ සඳහා උදාහරණයන් ය.

 නාහං භික්ඛවේ :-

          ‘න’ කාරය වැළක්වීමේ අර්ථය ගෙන දෙයි. ‘අහං’ යන්නෙන් තමන් වහන්සේ දක්වාලයි. ‘භික්ඛවේ’ යනුවෙන් භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය සිදු කරයි.

භික්ඛූ :-

·     භික්ඛකො’ති භික්ඛූ - පිඬු සිගා යන බැවින් භික්‍ෂුවක් නම් වේ.
·     භික්ඛාචරියං අජ්ඣූපගතෝ’ති භික්ඛූ - භික්ෂාවට පැමිණියේ භික්ෂූ නම් වේ.
·     භින්නපටධරෝ’ති භික්ඛූ - බුන් වත් දරන බැවින් භික්ෂුවක් වේ.
·     සමඤ්ඤාය භික්ඛූ - ව්‍යවහාර මාත්‍රයෙන් භික්‍ෂුවක් නම් වේ.
·     පටිඤ්ඤාය භික්ඛූ - ප්‍රතිඥා මාර්ගයෙන් භික්‍ෂුවක් නම් වේ.
·     ඒහි භික්ඛූ’ති භික්ඛූ - ඒහි භික්ෂු භාවයෙන් උපසපන් වුයේ භික්ෂූ නම් වේ.
·     තීහි සරණාගමනෙහි උපසම්පන්නෝ’ති භික්ඛූ - තිසරණය යෑමෙන් උපසපන් වුයේ භික්ෂූ නම් වේ.
·      භද්‍රෝ භික්ඛූ - භද්‍ර වූ සීලයන් රකිනුයේ භික්ෂුව නම් වේ.
·      සාරෝ භික්ඛූ - සීලාදී සාරයෙන් යුක්ත වුයේ භික්ෂූ නම් වේ.
·      සේඛෝ භික්ඛූ - හික්මෙන බැවින් භික්‍ෂුවක් නම් වේ.
·      අසේඛෝ භික්ඛූ - හික්මීම අවසන් කළේ භික්ඛූ නම් වේ.

( විනය පිටකය.පාරාජිකා පාලිය. සන්ථත බණවර. 2550 බු.ජ.ත්‍රි.පිටුව - 56/57 )

අඤ්ඤං ඒක රූපම්පි සමනුපස්සාමි:-

‘අඤ්ඤං’ යනු ස්ත්‍රී රූපයෙන් අන්‍ය වූවකි. ස්ත්‍රී රූපය හැර වෙනත් කිසිදු රුපයක් නැති බවයි. එකම රූපය ස්ත්‍රී රූපය බවයි. ‘ඒක රූපම්පි’ යනු එකම රූපය බවයි. මේ හැර වෙනත් කිසිඳු රූපයක් නොමැති බව මෙහිදී දක්වයි. ‘සමනුපස්සාමි’ යනු දැකීම යි. සමනුපස්සනාව වනාහි ප්‍රධාන වශයෙන් කොටස් 2 කට බෙදේ. එනම් ඤාණසමනුපස්සනා සහ දිට්ඨිසමනුපස්සනා යනුවෙනි. අනිත්‍යාදී වශයෙන් බැලීම ඤාණසමනුපස්සනාවයි.ආත්මාදී වශයෙන් යමෙක් යමක් දෙස බලයි ද එය දිට්ඨිසමනුපස්සනාවයි. මහණෙනි , මම සර්වඥතාඥානයෙන් බලනුයේ අන් එකම  රූපයක් නොදකිමි.

යං එවං පුරිසස්සචිත්තං පරියාදාය තිට්ඨති :-

     එනම් පුරුෂයාගේ සිත , කුසල සිත , නිර්වාණ ගාමී සිත මැඩගෙන තදින් අල්වාගෙන උපාදාන වශයෙන් ගෙන සිටින බවයි.

යථයිදං භික්ඛවේ ඉත්ථිරූපං:-    
      
‘යථයිදං’ යම් සේ ද . ‘ඉත්ථිරූපං’ යනු ස්ත්‍රී රූපය යි. ස්ත්‍රියගේ රූපය යි. මෙහිදී ස්ත්‍රියගේ රූපයම , කයම අරමුණු කොට කියනු ලැබේ. තවද යම් සේ ස්ත්‍රීන් විසින් හඳින පළදින යම්ම වස්ත්‍රාභරණාදීන් වෙත්ද පළදනා මල් මාලා ආදීහු වෙත්ද මේ සියල්ලම ස්ත්‍රී රූපය යැ යි දත යුතුය.

උදා:-

1.     මහදැළියා මානා රජුගේ දමිළ දේවී දැක සිත උමතු වූ තිස්ස තෙරුන්ගේ කථාව.
2.     සද්ධාතිස්ස මහරජුගේ අන්තප්පුරයේ තරුණිය හා ලෝවාමහාපායේ දොරටුව අසල සිටි භික්ෂූන් වහන්සේ යන දෙදෙනාම මරණයට පත්වීම.



ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ
sudhamma@buddhism.au.com





Friday, May 11, 2012


සුත්‍ර සාකච්ඡාව - කැන්බරා . ASLBV.                                                                                                            Tute – 01.
                                                                        පිවිසුම
ප්‍රථම ධර්ම සංඝායනාව.

සාරාසංඛේය කල්ප ලක්ෂයක් පාරමිතා ධර්මයන් පූරණය කරන ලද අප බෝධි සත්ත්වයින් වහන්සේ දඹදිව ගයාශීර්ෂහි දී අති උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පැමිණ වදාළ සේක. එසේ සම්මා සම්බුද්ධත්වයට පත්  වූ උන්වහන්සේ පුරා වසර 45 ක කාල පරාසයක් තුල දෙවියන් , බඹුන් , මිනිසුන් .... ආදී සියලු ලෝක සත්ත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කරමින් ලෝකය සිසාරා වැඩම කල සේක. එසේ වැඩම කරමින් උන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මෙම ශාසනයෙහි 3 වන මහා ශ්‍රාවකයන් වහන්සේ වූ ධූතධාරී භික්ෂූන් අතර අග්‍ර වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් ප්‍රථම ධර්ම සංඝායනාවේ දී තෝරාගත් 500 මහරහතන් වහන්සේලා අතර ධර්ම විනය පිළිබඳව අග්‍ර වූ ධර්මභාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ හා විනයධරයින් අතර අග්‍ර වූ උපාලි මහරහතන් වහන්සේ මුල් තැන්හි තබාගෙන ධර්ම සංඝායනාව සිදු කල සේක. එසේ සිදු කරන ලද ධර්ම සංඝායනාවට පාදක වූ මූලික කාරණාව වන්නේ සුභද්‍ර නම් එක්තරා භික්ෂුවකගේ ප්‍රකාශය යි. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ අවස්ථාව වන විට කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයනට 700,000 ක පමණ භික්ෂූන් වහන්සේලා රැස් වූහ. එහි වැඩම කල සංඝරත්නය අතුරින් සියල්ලන්ගෙන්ම වැඩිමල් භික්ෂුව වූයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ය. සුභද්‍ර නම් මහලු පාපී භික්ෂුව විසින් කරන ලද ශාසන විලෝපී ප්‍රකාශනය නිසා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මෙසේ තීරණය කරන ලදී.

සුභද්‍රගේ ප්‍රකාශය :-

          “ ඇවැත්නි , කම් නැත , ශෝක නොකරවු , විලාප නොකියවු , තොපට මේ කැපය , තොපට මේ නොකැපය යි යමෙක් කියත් නම් අප ඒ මහා ශ්‍රමණයාගෙන් උවදුරු ලද්දේය , දැන් අප ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුනාහු ය. අපි දැන් යමක් කැමති වන්නෝ නම් , එය කරන්නෙමු , යමක් අකමැති වන්නමෝ නම් එය නොකරන්නෙමු..... ”
         
මෙසේ බුද්ධ පරිනිර්වාණයෙන් සත් දිනකට පසුව මෙම ප්‍රකාශය සිහිපත් කල මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මෙසේ සිතීය. 

1.පාපී භික්ෂූහු , යම් කරුණක් හේතුකොටගෙන , ඉක්මගිය ශාස්තෲන් ඇති ධර්ම විනයක් ය යි සිතන්නෝ අලජ්ජී පක්ෂය ලැබ , නොබෝ කලකින්ම සද්ධර්මය අතුරුදහන් කරන්නේ ය.. යන මෙය සිදුවිය හැක. යම්තාක් කල් මෙම ධර්ම විනය ලජ්ජී පුද්ගලයන් කෙරෙහි පවත්නේ නම් , ඒ තාක් ධර්ම විනය නොඉක්ම ගිය ශාස්තෘන් ඇත්තේම ය.

2.ආනන්ද , තොපට මා විසින් යම් ධර්ම විනයක් දේශනා කරන ලද්දේ ද , පණවන ලද්දේ ද , ඒ ධර්ම විනය මාගේ ඇවෑමෙන් තොපගේ ශාස්තෘ වන්නේය.

3. කාශ්‍යපය , තොප දිරාගිය හණ වැහැරියෙන් කල පංසුකූල සිවුර දරන්නාහු ය..... මෙසේ තමන් වහන්සේගේ චීවරය දෙවතාවක් හුවමාරු කිරීමෙන් මට අනුග්‍රහ කල සේක.

4.තවද, තමන් වහන්සේ සමගින් උත්තරීතර මනුෂ්‍ය ධර්මයන්ගෙන් සම තැන්හි තබා කතා කිරීමෙන් මට අනුග්‍රහ කල සේක.

මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රකාශය :-

          මෙසේ කල්පනා කිරීමෙන් පසුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් සංඝයා අමතා මෙසේ ප්‍රකාශ කළේය.

“ ඇවැත්නි , ඉදිරියෙහිදී අධර්මය බබලන්නේය , ධර්මය යටපත් කරනු ලබන්නේය , අවිනය බබලන්නේය , විනය යටපත් කරනු ලබන්නේය , ඉදිරියෙහි දී අවිනයවාදීහු බලවත් වන්නාහ , ධර්මවාදීහු දුර්වල වන්නාහ , අවිනයවාදීහු බලවත් වන්නාහ , විනයවාදීහු දුර්වල වන්නාහුය , එබැවින් අපි ධර්මයත් විනයත් සංඝායනා කරන්නෝ නම් මැනවි  ”යැ යි භික්ෂූන්ට දන්වා සිටියහ.

පසුව එම භික්ෂූන් වහන්සේලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට සුදුසු පරිද්දෙන් භික්ෂූන් වහන්සේලා තෝරා ගන්න ලෙස දන්වා සිටියහ.


භික්ෂූන් තෝරා ගැනීම :-

එම භික්ෂූන් වහන්සේලාගේ ආරාධනාවෙන් පසුව නොයෙක් රහත් , මහරහත් භික්ෂූන් වහන්සේලා අතුරින් නවාංගශාස්තෘ ශාසනය කෙරෙහි පරතෙරට පත් මනා දැනුමකින් යුතු සතර පටිසම්භිදාලාභී මහරහතන් වහන්සේලා 499 නමක් තෝරාගන්නා ලදී. මෙසේ තෝරා ගැනීමේදී නොයෙක් ධ්‍යානලාභී , සොතාපන්නතාදී විවිධ මාර්ග ඵලයන්ට පත් වූ රහත් වූ ශුෂ්ක විදර්ශක භික්ෂූන් හැර සතර පටිසම්භිදාලභී මහරහතන් වහන්සේලාම තෝරා ගන්නා ලදී. ආනන්ද මහා තෙරුන් වහන්සේ තවමත් අරහත්වයට පත් නොවූ බැවින් ද උන්වහන්සේ රහිතව මෙම සංඝායනාව කල නොහැකි බැවින් ද උන්වහන්සේට පැමිණීමට ඉඩ තබමින් මහරහතන් වහන්සේලා 499 නමක් තෝරා ගන්නා ලදී. ආනන්ද මහතෙරුන් වහන්සේ නැතුව ද ඇතුව ද මෙම සංඝායනාව කල නොහැක. ආනන්ද මහතෙරුන් වහන්සේ රහිතව කල නොහැක්කේ උන්වහන්සේ සියලුම පර්යාප්ති ධර්මයම ( නවාංග ශාසනයම ) බුදුරජාණන් වහන්සේ හමුවෙහි මනාව අසා ධාරණය කරගත් බැවිනි. ආනන්ද මහතෙරුන් වහන්සේ ඇතුව කල නොහැක්කේ තවමත් උන්වහන්සේට අර්හත්වය පිණිස කල යුතු කටයුතු ඉතිරිව ඇති බැවිනි. මේ වනවිට උන්වහන්සේ හුදෙක් සතර පටිසම්භිදා ලාභී සෝතාපන්න ඵලයට පමණක් පැමිණ සිටි බැවින් ද තෝරාගත් සියලු මහ රහතන් වහන්සේලා සතර පටිසම්භිදා ලාභී භික්ෂූන් වූ බැවින්ද උන්වහන්සේ ඇතිව මෙම සංඝායනාව සිදු කල නොහැක. එසේ තෝරාගත යුතුව තිබියදී තෝරා නොගත්තේ අන්‍ය අයගෙන් චෝදනා නොලබනු පිණිස ය. එසේම සංඝ සම්මුතියෙන් සෝතාපන්න වූ ආනන්ද මහතෙරුන් වහන්සේ තෝරාගනු පිණිස ය. ඉක්බිති මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආනන්ද මහතෙරුන් වහන්සේව තෝරා ගත්හ. මෙසේ මෙම සංඝායනාවට 500 දෙනා සහභාගී වීම නිසා ‘ පංචසතික මහා සංඝායනාව ’ යන නාමය මෙයට ලැබීය.

ඥප්ති ද්වීතීය කර්මය :-

පසුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේට කවර නම් ස්ථානයකදී මෙම ධර්ම විනය සංඝායනා කරන්නෝ නම් මැනවි දැ යි අදහසක් පහල විය. පසුව එම මහා සංඝයා හට ‘ රජගහ නුවර , භික්ෂාව පිණිස හැසිරීමට ඉඩ පහසුකම් ඇති මහත් තැනක් වන්නේ ය. බොහෝ සෙනසුන් ද ඇත්තේ ය. එහෙයින් අපි රජගහ නුවර වස් වසන්නමෝ නම් , ධර්මයත් විනයත් සංඝායනා කරන්නෙමු. අන්‍ය භික්ෂූහු රජගහ නුවර වස් නොවසන්නාහු නම් මැනවි...’ යන අදහස පහල විය. මෙම අදහස උන්වහන්සේලාට ඇති වූයේ කවර කාරණයක් නිසා ද යත් , අපගේ මෙම උත්සාහය සම්බුදු සසුන බොහෝ කාලයක් පැවැත්වීම සඳහාය. සුභද්‍ර වැනි විසභාග පුද්ගලයන්ගේ බලපෑමක් සිදු වුවහොත් මෙම කටයුත්ත අඩාල විය හැක. මෙය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් ඥාප්ති ද්විතීය කර්මයෙන් සම්මත කරගන්නා ලදී.  

බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් සාධු ක්‍රීඩා දින 7 ක් ද ධාතු පූජා දින 7 ක් ද වශයෙන් අඩ මසක් ගෙවී ගියේ ය. වස් එළඹෙන දිනය ආසන්න බැවින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සංඝයාගෙන් පිරිසක් ගෙන රජගහ නුවරට වැඩම කළේය. අනුරුද්ධ මහරහතන් වහන්සේ තවත් පෙදෙසකට ද , ආනන්ද මහා තෙරුන් වහන්සේ ද පිරිසක් සමග බුදුරජාණන් වහන්සේගේ පා සිවුරු රැගෙන රජගහ නුවරට යනු කැමැත්තෙන් සැවත් නුවර වාසය කළහ. ආනන්ද මහා තෙරුන් වහන්සේ එහි වැඩම කල පසු බුදුරජාණන් වහන්සේ පිළිබඳව විමසා මහත් විලාපයක් එම නුවර ඇති විය. ආනන්ද මහා තෙරුන් වහන්සේ යන යන තැන මහත් විලාපයක් හට ගත්තේය. ආනන්ද මහා තෙරුන් වහන්සේ එම සියල්ලන් හට අනිත්‍ය ප්‍රතිසංයුක්ත දහම් කතා පවත්වා මහා ජනයා සනසා ජේතවනාරාමයට පැමිණ බුදුරජාණන් වහන්සේ පරිහරණය කරන ලද ඇඳ පුටු ආදිය පිටතට ගෙන ඒවා පිරිසිඳු කොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේදී මෙන් වත් පිළිවෙත් කළේය.

විහාර ප්‍රතිසංස්කරණය :-

බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ දිනයෙහි පටන් මහත් ලෙස විඩාවට පත් ආනන්ද මහ තෙරුන් වහන්සේ ශරීරය සංසිඳවනු පිණිස ක්‍ෂීර විරේචනය වළදා විහාරයෙහි වැඩ හුන් සේක. පසුව තෝදෙය්‍ය පුත් සුභ මානවකයාගේ එදින කල ආරාධනය පසුවදාට පිළිගෙන එහි වැඩම කොට දීඝ නිකායෙහි එන 10 වන සූත්‍රය වන ‘ සුභ සූත්‍රය ’ දේශනා කල සේක. ආනන්ද මහ තෙරුන් වහන්සේ එහිම වාසය කරමින් විහාරස්ථානයෙහි පිළිසකර කල යුතු සියල්ල පිළිසකර කර අවසන් කර පසුව වස් එළඹෙන දිනය ආසන්න වන විට රජගහ නුවරට වැඩම කල සේක. අනුරුද්ධ මහරහතන් වහන්සේ ද , මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ද ඒ වන විට රජගහ නුවරට වැඩම කර සිටියහ. ඒ වන විට රජගහ නුවර මහා විහාරයන් 18 ක් විය. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ඒ සියල්ලම අත්හැර දමන ලද්දාහු ය. පසුව එහි විසූ මහා සංඝයා තීර්ථක අපවාදයෙන් මිදෙනු සඳහාත් , විහාර ආරක්ෂා කරනු සඳහාත් වර්ෂා කාලයෙහි ප්‍රථම මාසයෙහි දී සියලුම විහාරයන් ප්‍රතිසංස්කරණය කිරීමටත් , දෙවන මාසයෙහි දී සංඝායනා කරනු පිණිස ස්ථානයක් සකස් කරගනු පිණිසත් අජාතසත්තු රජතුමා හමුවීමට ගියහ. සංඝයා වහන්සේලාගේ ආරාධනාවෙන් රජතුමා විසින් සංඝාවාස පිළිසකර කිරීම සඳහා අවශ්‍ය මිනිසුන් ලබා දුන්හ. වෙහෙර පිළිසකර කිරීමෙන් පසුව නැවතත් පැමිණ ධර්මය සංඝායනා කිරීමේ උවමනාව දන්වා සිටියේ ය. එවිට රජතුමා විසින් ‘ ස්වාමිනී , මැනවි. සැකයෙන් තොරව ඔබවහන්සේලා විසින් එය කරනු මැනව , මෙම කටයුත්ත සඳහා මාගේ අණ  සක වේවා ! ඔබ වහන්සේලාගේ දම්සක වේවා ! මා විසින් කල යුතු යමක් වේ නම් මා හට අණ දුන මැනව  ’ යැ යි දන්වා සිටි කල්හි සංඝායනා කිරීම සඳහා වේභාර පර්වතයෙහි සප්ත පර්ණී ගුහා ද්වාරය සුදුසු ය යි දන්වා සිටියහ. රජතුමා විසින් දිව්‍ය විමානයක් මෙන් එය සරසා දකුණු දිග ඇසුරුකොටගෙන උතුරු දිශාවට මුහුණ ලා ස්ථවීරාසනය ද මණ්ඩප මද්‍යයෙහි පෙරදිගට මුහුණ ලා බුදුරජාණන් වහන්සේට වැඩහිදීමට සුදුසු සේ ධර්මාසනයක් ද සකස් කර , ඇත්දලින් කරන ලද විජිනි පතක් ද සකස් කොට කටයුතු අවසන් බව මහා සංඝයාට දැන්වීය.

ආනන්ද මහා තෙරුන් වහන්සේ රහත් වීම :-

          පසුව භික්ෂුන් වෙත හෙට දිනයෙහි දී සංඝායනාව ආරම්භ කරන බව දන්වා සිටියහ. සේඛ වූ මම මේ ආකාරයෙන් සංඝායනාවට යාම නුසුදුසු බව සිතූ ආනන්ද මහා තෙරුන් වහන්සේ පරිනිර්වාණ අවස්ථාවෙහි දී බුදුන් වහන්සේ විසින් තමන් වහන්සේ අගය කර ආනන්ද හිමියන් වහා අරහත්වයට වත්වන බවට කල ප්‍රකාශය ද සිහිපත් කර රාත්‍රියෙහි බොහෝ වේලාවක් කායගතාසතිය වඩා මදක් විවේක ගනිමියි සිතා සැතපීමට පාද දෙක ද පොළොවෙන් ඉහලට ගත්තේ ය. හිස ද කොට්ටයට නොපැමිණියේ ය. ආනන්ද මහරහතන් වහන්සේ මෙසේ සතර ඉරියව්වෙන් එකම ඉරියව්වකින් තොරව සියලු කෙලෙස් නසා මහරහත් භාවයට පත් වූ සේක. සංඝායනා අවස්ථාවේ දී උන්වහන්සේ අනෙකුත් මහා සංඝයා සමග වැඩම නොකොට තමන් වහන්සේව විචාරනු ලබන අවස්ථාවේ දී පොළොවෙන් ගැලී තමන් වහන්සේගේ ආසනය මත හුන්නේ ය.


උපාලි මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න කිරීම :-

            භික්ෂු සංඝයා රැස්වූ කල්හි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ‘ ඇවැත්නි , ප්‍රථමයෙන් ධර්මය සංඝායනා කරමුද , නැතහොත් විනය සංඝායනා කරමුද  ’ කියා සංඝයාගෙන් විමසන ලදී. එහිදී මහා සංඝයා විසින් ‘ ස්වාමිනි , මහා කාශ්‍යප මහරහතන් වහන්ස , විනය බුද්ධ සාසනයෙහි ආයුෂ වෙයි. විනය සිටිකල්හි සාසනය ද සිටියේ වේ . එහෙයින් ප්‍රථමයෙන් විනය සංඝායනා කරමු යැ ’ යි දන්වා සිටි කල්හි ‘ කවරෙකු දෙටු කොට විනය සංඝායනා කරන්නෙමු දැ යි ’ විමසා සිටියේ ය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහිදීම උපාලි මහරහතන් වහන්සේ විනයධර භික්ෂූන් අතරින් අග්‍රස්ථානයට පත් කල බැවින් උන්වහන්සේ දෙටු කොට විනය සංඝායනා කරමු යැ යි කීහ.

සම්මත  කිරීම :-
         
අනතුරුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් තමන් වහන්සේ විසින්ම උපාලි මහරහතන් වහන්සේ මෙසේ සම්මත කල සේක.

“ සුනාතු මේ ආවුසෝ සංඝෝ , යදි සංඝස්ස පත්තකල්ලං අහං උපාලිං විනයං පුච්චේයියං ” - ආයුෂ්මත් මහා සංඝයා මෙසේ අසත්වා ! පැමිණි කාලය වේ නම් මම උපාලි ආයුෂ්මතුන්ගෙන් විනය පිළිබඳව විචාරන්නෙමි.

          ඊට පිළිතුරු වශයෙන් උපාලි මහරහතන් වහන්සේ මහා සංඝයා වෙත මෙසේ දන්වන ලදී.

“ සුනාතු මේ භන්තේ සංඝෝ , යදි සංඝස්ස පත්තකල්ලං අහං ආයස්මතෝ මහා කස්සපේන විනයං පුට්ඨෝ විසජ්ජෙයියං ” - ආයුෂ්මත් මහා සංඝයා මෙසේ අසත්වා ! පැමිණි කාලය වේ නම් ආයුෂ්මත් මහා කාශ්‍යප මහා තෙරුන් වහන්සේ විසින් විනය පිළිබඳව විචාරනු ලබන ප්‍රශ්ණ මම විසදන්නෙමි.
         
 පසුව උපාලි මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ ආසනයෙන් නැගී සිට සිවුර එකංස කොට ස්ථවීර භික්ෂූන් වැඳ විජිනිපත ගෙන ධර්මාසනයෙහි වැඩ හුන් සේක. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ස්ථවීරාසනයෙහි  වැඩ හිඳිමින් විනය පිළිබඳව ප්‍රශ්ණ කල සේක.


විමසුම් ආකාරය :-

1.වස්තුව විචාරීම
2.නිදානය විචාරීම
3. පුද්ගලයා විචාරීම
4.ප්‍රඥප්තිය විචාරීම
5.අනුප්‍රඥප්තිය විචාරීම
6.ආපත්තිය විචාරීම
7.අනාපත්තිය විචාරීම
         
 අනතුරුව 4 පාරාජිකාවන් පාරාජිකා කාණ්ඩය ලෙස ද , ශික්ෂාපද 13 ක් සංඝාදිසේස ලෙස ද , 2 ක් අනියත ලෙස ද , 30 ක් නිසගි ලෙස ද , 92 පාචිත්තිය ලෙස ද , 4 ක් පාටිදේසනීය ලෙස ද , 75 ක් සේඛියා ලෙස ද , 7 ක් අධිකරණ සමථ ලෙස ද නම් කරන ලදී. ( භික්ඛු විභංගය )

          පසුව භික්ෂුණියන් විෂයෙහි ශික්ෂාපද 8 ක් පාරාජිකා ලෙස ද , 10 ක් සත්තරසක ලෙස ද , 30 ක් නිසගි පචිති ලෙස ද , 166 ක් පාචිත්තිය ලෙස ද , 8 ක් පාටිදේසනීය ලෙස ද , 75 ක් සේඛියා ලෙස ද , 7 ක් අධිකරණ සමථ ලෙස ද නම් කරන ලදී.

          මෙසේ ඉහත දක්වන ලද ආකාරයට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් අසන ලද ප්‍රශ්ණ වලට උපාලි මහරහතන් වහන්සේ විසින් පිළිතුරු සපයන ලදී. පසුව සියලුම විමසීම් අවසානයෙහිදී 500 මහරහතන් වහන්සේලා එක්ව ඒ සියලු කොටස් සංඝායනා කරන ලදී.

          විනය සංඝායනා කොට ධර්මය සංඝායනා කරනු කැමති වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ , ‘ධර්මය සංඝායනා කරන්නා වූ අප කවර නම් තැනැත්තෙකු  දෙටු කොට ධර්මය සංඝායනා කරමු දැ ’ යි විමසූ විට ආනන්ද මහරහතන් වහන්සේ දෙටු කොට ධර්මය සංඝායනා කරමු යැ යි මහා සංඝයා විසින් කියන ලද්දාහ.

සම්මත කිරීම :-
         
අනතුරුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් ආනන්ද මහරහතන් වහන්සේ මෙසේ සම්මත කරන ලදී .
       
   “ සුනාතු මේ ආවුසෝ සංඝෝ , යදි සංඝස්ස පත්තකල්ලං අහං ආනන්ද ධම්මං පුච්චේයියං ” - ආයුෂ්මත් මහා සංඝයා මෙසේ අසත්වා ! පැමිණි කාලය වේ නම් මම  ආනන්ද ආයුෂ්මතුන්ගෙන් ධර්මය පිළිබඳව විචාරන්නෙමි.

                   ඊට පිළිතුරු වශයෙන් ආනන්ද මහරහතන් වහන්සේ මහා සංඝයා වෙත මෙසේ දන්වන ලදී.

“ සුනාතු මේ භන්තේ සංඝෝ , යදි සංඝස්ස පත්තකල්ලං අහං ආයස්මතෝ මහා කස්සපේන විනයං පුට්ඨෝ විසජ්ජෙයියං ” - ආයුෂ්මත් මහා සංඝයා මෙසේ අසත්වා ! පැමිණි කාලය වේ නම් ආයුෂ්මත් මහා කාශ්‍යප මහා තෙරුන් වහන්සේ විසින් ධර්මය පිළිබඳව විචාරනු ලබන ප්‍රශ්ණ මම විසදන්නෙමි.

          පසුව ආනන්ද මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ ආසනයෙන් නැගී සිට සිවුර එකංස කොට ස්ථවීර භික්ෂූන් වැඳ විජිනිපත ගෙන ධර්මාසනයෙහි වැඩ හුන් සේක. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ස්ථවීරාසනයෙහි  වැඩ හිඳිමින් ධර්මය පිළිබඳව ප්‍රශ්ණ කල සේක.

විමසුම් ආකාරය :-

1.සූත්‍රය දේශනා කල ස්ථානය
2.කවරෙක් අරභයා දේශනා කරන ලද්දේද ?
3.සුත්‍ර දේශනාවෙන් කවරෙක් කියවේද ?
4.කවර නිකාය ග්‍රන්ථයකට මෙම දේශනාව අයත් වේද ?


සුත්‍රයක දිග ප්‍රමාණය ගණනය කිරීම :-

අකුරු 8 ක පදයකි. පද සතරක් ගාථාවකි. ගාථාවකට ග්‍රන්ථයක් යැ යි කියනු ලැබේ. එවිට ගාථාවකට අකුරු 32 කි. අකුරු 32 කින් යුක්ත ග්‍රන්ථ 250 ක් බණවරකි. බණවරකට අකුරු 8000 කි. සතර බණවරෙහි අකුරු 32000 කි.

මෙසේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් 5 නිකායක් පිළිබඳව විමසන ලදී. එනම්  දීඝ නිකාය , මජ්ඣිම නිකාය , සංයුක්ත නිකාය , අංගුත්තර නිකාය , ඛුද්දක නිකාය යනුවෙනි.

බුද්ධ වචනය බෙදා දැක්වීම :-

1.     රස වශයෙන් එක් වැදෑරුම් ය.( විමුක්ති රසයෙන් )
2.     ධර්ම විනය වශයෙන් දෙවැදෑරුම් ය.
3.     ප්‍රථම මද්ධ්‍යම පශ්චිම වශයෙන් තෙවැදෑරුම් ය.
4.     පිටක වශයෙන් ද තෙවැදෑරුම් ය.
5.     නිකාය වශයෙන්  පස් වැදෑරුම් ය.
6.     අංග වශයෙන් නව වැදෑරුම් ය. ( නවාංග ශාසනය )
7.     ධර්මස්කන්ධ වශයෙන් 84000 වැදෑරුම් ය.

Ø ‘ අනේකජාතිසංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ...... ’ යනුවෙන් බෝ මැඩ දී කී පරිද්දෙන් මේ වනාහි ප්‍රථම බුද්ධ වචනය යි.
Ø පරිනිර්වාණ අවස්ථාවෙහිදී ‘ හන්දදානි භික්ඛවේ ! ආමන්තයාමි වෝ , වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදේථ  ’ යනුවෙන් අවසාන බුද්ධ වචනය කි සේක.
Ø ඒ අතරතුර දේශනා කරන ලද සියල්ලම මජ්ඣිම බුද්ධ වචනය යි.
Ø විනය - සූත්‍ර - අභිධම්ම පිටක වශයෙන් 3 ආකාර වෙති.
Ø දීඝ නිකාය , මජ්ඣිම නිකාය , අංගුත්තර නිකාය , සංයුක්ත නිකාය , ඛුද්දක නිකාය යනුවෙන් 5 ආකාර වේ.
Ø සුත්ත , ගෙය්‍ය , වෙය්‍යාකරණ , ගාථා , උදාන , ඉතිවුත්තක , ජාතක , අබ්භූත , වේදල්ල යනුවෙන් නවාංග සසුන වේ.

ත්‍රිපිටකය වර්ගීකරණය :-

විනය පිටකය

1.     පාරාජිකා පාළිය
2.     පාචිත්තිය පාළිය
3.     චුල්ලවග්ග පාළිය
4.     මහාවග්ග පාළිය
5.     පරිවාර පාළිය

සූත්‍ර පිටකය

1.     දීඝ නිකාය -සූත්‍ර දේශනා 34 කි.
2.     මජ්ඣිම නිකාය - සූත්‍ර දේශනා 152 කි.
3.     සංයුක්ත නිකාය - සූත්‍ර දේශනා 6672 කි.
4.     අංගුත්තර නිකාය - සූත්‍ර දේශනා 9557 කි.
5.     ඛුද්දක නිකාය

                                i.            ඛුද්දක පාඨ
                              ii.            ධම්මපද පාළිය
                            iii.            උදාන පාළිය
                           iv.            ඉතිවුත්තක පාළිය
                             v.            සුත්ත නිපාතය
                           vi.            විමාන වත්ථු
                         vii.            පේත වත්ථු
                       viii.            ථේර ගාථා
                            ix.            ථේරී ගාථා
                              x.            ජාතක පාළිය
                            xi.            නිද්දේස  ( මහා නිද්දේස,චුල්ල නිද්දේස )
                          xii.            අපදාන පාළිය ( ථේර , ථේරී  )
                        xiii.            පටිසම්භිදාමග්ගප්පකරණය 
                       xiv.            බුද්ධ වංශය
                         xv.            චරියා පිටකය


අභිධම්ම පිටකය

1. ධම්මසංගනීප්‍රකරණය
2. විභංගප්‍රකරණය
3.කථාවත්ථුප්‍රකරණය
4.පුද්ගලප්‍රඥප්තිප්‍රකරණය
5.ධාතුකථාප්පකරණය
6.යමකප්පකරණය
7.පට්ඨානප්පකරණය

සංග්‍රහ ග්‍රන්ථ

1 .            නෙත්තිප්පකරණ 
2 .            පේටකෝපදේසය


සමස්ථ බුද්ධ දේශනාව නවාංග ශාස්තෘ සාසනයට බෙදීම :-

1.     සුත්ත
උභතෝවිභංගය , චුල්ල නිද්දේස , මහා නිද්දේස , ඛන්ධක , පරිවාර යන සියල්ල ද සූත්‍ර නිපාතයෙහි මංගල සූත්‍රය , රතන සූත්‍රය , නාලක සූත්‍රය , තුවටක සූත්‍රය යන සූත්‍රයන්ද සූත්‍ර නාමයෙන් ගැනෙන අන්‍ය වූ සියලු බුද්ධ වචනය ද මේ යටතට අයත් ය.

2.     ගෙය්‍ය
සියලුම ගාථාවන් අයත් ය. විශේෂයෙන් සංයුක්ත නිකායේ එන සගාථ වර්ගය මීට අයත්ය.

3.     වෙය්‍යාකරණ
අභිධම්ම පිටකය අයත්ය.

4.     ගාථා
ධම්මපදය , ථේර - ථේරී ගාථා , සූත්‍ර නිපාතයෙහි සුත්ත යටතට නොගත් ගාථා සියල්ලම අයත්ය.

5.     උදාන
සොම්නස් සහගත නුවනින් කරන ලද ප්‍රීතිමත් ප්‍රකාශනයන් අයත්ය.

6.     ඉතිවුත්තක
‘ වුත්තං හේතං භගවතා ... ’ යනුවෙන් දේශනා කරන ලද සූත්‍ර දේශනා 112 මේ යටතට අයත්ය.

7.     ජාතක
ජාතක කථා පොතේ එන සියලුම ජාතකයන් මීට අයත්ය.

8.     අබ්භූතධම්ම
‘ චත්තාරෝ මේ භික්ඛවේ අච්ඡරියා අබ්භුතා ධම්මා .... ’ යනුවෙන් කල සියලුම දේශනා මීට අයත්ය.

9.     වේදල්ල
චුල්ලවේදල්ල , මහාවේදල්ල , සම්මා දිට්ඨී , සක්ඛපඤ්හ , සංඛාරභාජනීය , මහාපුණ්ණම ආදී නුවණත් සතුටත් ලබමින් විචාරමින් කල සූත්‍ර දේශනා මීට අයත්ය.

සමස්ථ බුද්ධ වචනය :-

          “ ද්වාසිතිං  බුද්ධතෝ ගන්හී - ද්වේසහස්සානි භික්ඛුනෝ
             චතුරාසීති සහස්සානී - යේ මේ ධම්මාපවත්තිතෝ ”

82000 ක ධර්මස්කන්ධයන් බුදුන් වෙතින් ද 2000 ක් ධර්මස්කන්ධයක් දම්සෙනවි ආදී මහතෙරුන්ගෙන් ද උගෙන යම් ධර්මයක් මාගේ හදෙහි පවතී ද ඒ 84000 ධර්මස්කන්ධයන්ගේ ප්‍රභේධ වශයෙන් 84000 කි.

එහි එක් අනුසන්ධියක් ඇති සූත්‍රයක් එක් ධර්මස්කන්ධයක් වේ. නොයෙක් අනුසන්ධි ඇති සුත්‍රයන් වේ ද ඒ ඒ අනුව ධර්මස්කන්ධ ඒ ඒ ගණනින් වේ. ගාථාවන්හි ‘ කති ඡින්දේ කති ජහේ ..’ යනාදී වශයෙන් ප්‍රශ්න ඇසීම් එක් ධර්මස්කන්ධයක් වේ. ‘පඤ්ච ඡින්දේ පඤ්ච ජහේ ....’ යනාදී වශයෙන් විසදීම් ද එක් ධර්මස්කන්ධයක් වේ. අභිධර්මයෙහි එක් එක් වශයෙන් ධර්මස්කන්ධ වේ. විනයෙහි වස්තු , මාතෘකා , පදභාජනීය , ආපත්ති , අනාපත්ති ..... යනුවෙන් ධර්මස්කන්ධයන් ගණනය කෙරේ.

          මෙසේ මෙම සංඝායනාව අවසන් වන විට ඉතාමත් මහත් ලෙසින් මහ පොලොව කම්පා වන්නට විය.


ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ. 
Sudhamma_2009@yahoo.com.