Powered By Blogger

Monday, June 4, 2012


සූත්‍ර සාකච්ඡාව - ASLBV කැන්බරා                                            tute – 03

ඉත්ථිරූප පරියාදාය සූත්‍රය - 03 කොටස

භාවනා පූර්ව කෘත්‍යය

භාවනානුයෝගීව කටයුතු කරන්නෙකු උමතු බවට පත්විය හැකිද?

වර්තමානය වන විට බොහෝදෙනාගේ කතාබහට ලක්වී ඇති ප්‍රසිද්ධ මාතෘකාවක් වශයෙන් මෙය හැදින්විය හැකිය. මෙය එකවරම අනුමත කළ යුතු හෝ ප්‍රතික්‍ෂේප කළයුතු දෙයක් නොවේ. විශේෂයෙන් ධර්මය අනුගමනය කරනු ලබන , ධර්මය අනුගමනය කිරීමට බලාපොරොත්තුවන හැම දෙනාම විසින් මනාව අවබෝධකරගත යුතු කරුණක් වන මේ හා විවිධ මතිමතාන්තර ඇති බව ද කිව යුතුම ය.

          භාවනා වැඩීම් ආදී ඇතැම් කටයුතු සඳහා විශේෂයෙන් අත්දැකීම් බහුල , ධර්මය මනාව දන්නා ගුරුවරයෙකු සිටීම බොහෝ වටී. එයට හේතුව වන්නේ අපට භාවනාමය කටයුතුවලදී යම වරදක් සිදුවුවහොත් එය නිවැරදි කරගැනීමට එය පිටිවහලක් වන බැවිනි. අත්දැකීම් දුලබවීම නිසා භාවනාමය කටයුතුවල යෙදෙන ඇතැම් යෝගාවචරයන්හට කළයුතු හා නොකළයුතු දේ පිළිබඳව මනා වැටහීමක් නැතිවිය හැකිය. එවැනි යෝගාවචරයන් හට විවිධ අවස්ථාවලදී ධර්මය පිළිබඳව ඇති අඩු දැනුම හා දුරවබෝධයන් නිසා නිවැරදි මාවතක් තෝරා ගනු නොහැකිවීම බොහෝවිට දැකගත හැක. එම නිසා ගුරු උපදේශ සහිතව භාවනාමය කටයුතුවල යෙදීම වඩාත් නුවනට හුරුය.

          ප්‍රාථමික අවස්ථාවන්හිදී භාවනාමය කටයුතු තම තමන්ට තනිව කරගත හැකි භාවනා ක්‍රම මෙන්ම , ආරම්භයේදී පටන්ම ගුරු උපදේශයන් උවමනා භාවනාවන් ද ඇත. මේ නිසා ඒ පිළිබඳව යම් දැනුමක් ප්‍රථමයෙන් ලබා ගැනීම වඩාත් වැදගත් ය. මෛත්‍රී භාවනාව , කරුණා භාවනාව ..... වැනි බ්‍රහ්ම විහාර භාවනා ක්‍රමයන් ද බුද්ධානුස්සති , ධම්මානුස්සති , සංඝානුස්සති .... ආදී දස අනුස්සති භාවනා ක්‍රමයන් සඳහා ද ආරම්භයේ පටන්ම ගුරු උපදේශයන් ලබා ගැනීම අත්‍යවශ්‍යම නොවේ. යම් පමණකට පවා ධර්ම දැනුමක් ඇති ඕනෑම අයෙකුට පවා මෙම භාවනා ක්‍රමයන් යම් පමණකට වැඩීමට හැක. නමුත් යම් අයෙක් මෙම සමථ භාවනා ක්‍රමයන් වඩාත් හොඳින් වැඩීමට බලාපොරොත්තු වන්නේ නම් ඔහු හෝ ඇය අනිවාර්යෙන්ම ගුරු උපදෙස් පැතීම වඩාත් සුදුසුය. විදර්ශනා භාවනා වඩන්නෙකු නම් අනිවාර්යෙන්ම ගුරුවයයෙකු ඇසුරු කිරීම වඩාත් සුදුසුය. නැතහොත් මග නොමග තෝරාගත නොහැකිව අතරමං විය හැක. චිත්ත වික්‍ෂිප්ත භාවයකට පත්විය හැක.

ගුරුවරයෙකු තෝරා ගැනීම :-

          මෙය වඩාත් පරිස්සමින් කල්පනාකාරීව සිදුකළ යුතු කටයුත්තකි. මෙහිදී පහත සඳහන් පිළිවෙල පිළිබඳව අවධානය යොමු කිරීම වඩාත් වටී. තමන්ට සුදුසු ගුරුවරයෙකු තෝරා ගැනීමේ දී ,

·        බුදුරජාණන් වහන්සේ
·        අග්‍රශ්‍රාවකයන් වහන්සේලා
·        අසූ මහා ශ්‍රාවකයන්ගෙන්
·        සිවු පිළිසිඹියා පත් මහරහතන් වහන්සේලා
·        රහතන් වහන්සේලා
·        අරහන්ත මාර්ගස්ථ උතුමන්ගෙන්
·        අනාගාමී ඵලස්ථ උතුමන්ගෙන්
·        අනාගාමී මාර්ගස්ථ උතුමන්ගෙන්
·        සකදාගාමී ඵලස්ථ උතුමන්ගෙන්
·        සකදාගාමී මාර්ගස්ථ උතුමන්ගෙන්
·        සෝතාපන්න ඵලස්ථ උතුමන්ගෙන්
·        සෝතාපන්න මාර්ගස්ථ උතුමන්ගෙන්
·        සද්ධානුසාරී උතුමන්
·        ධම්මානුසාරී උතුමන්
·        මහා විදසුන් නුවණින් යුතු උතුමන්
·        ත්‍රිපිටක අටුවාධාරී උතුමන්
·        ද්වීපිටක අටුවාධාරී උතුමන්
·        ඒකපිටක අටුවාධාරී උතුමන්
·        නිකායන්තරයක්වත් දන්නා උතුමන්
·        මජ්ඣිම නිකායේ ඔපම්ම වර්ගයවත් දන්නා උතුමන්
·        තමන් කෙරෙහි ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් හා ධර්මය ස්ව අධ්‍යනයෙන්

යුක්තව ගුරුවරයෙකු තෝරාගැනීම හෝ තමන් තමන්ට අවංකව නුවණින් යුක්තව කටයුතු කිරීම වඩාත් උචිතය. එසේ කටයුතු කරනු ලබන යෝගාවචරයා විසින් අවංක වූ සිතින් තම ආචාර්යවරයා කෙරෙහි කටයුතු කල යුතු අතර ඔහුගේ ඉගැන්වීම්  ධර්ම විනයට සසදාබලමින් බහාලමින් නුවණින් කටයුතු කල යුතුය. ගුරුවරයාට තම ජීවිතය පූජා කිරීම වඩාත් උචිත බව පුරාණ ආචාර්ය මතය යි. එසේම ආචාරිය වත මනාව පූරණය කල යුතුය. විනය පිටකයට අයත් මහාවග්ගපාලියේ එන ආචාරියවත මේ පිළිබඳව  වඩාත් විස්තර සපයනු ඇත.
( විනය පිටකය.මහා වග්ගපාලිය -1.2550 බු.ජ.ත්‍රි.පිටුව - 126/143).

තෙරුවන් සරණ ගිය පංචසීල ප්‍රතිපදාවන් සමාදන් වීම :-

          තෙරුවන්සරණ ගිය ද නොගිය ද යමෙක් සීලාදී ගුණධර්ම වර්ධනය කරමින් භාවනාමය කටයුතුවල යෙදෙන්නේ නම් ඔහුගේ එම කටයුත්ත සම්පූර්ණ වේ. අබුද්ධෝත්පාද කාලයෙහිදී පවා බෝධිසත්ත්වයින් වහන්සේලා හා ඔවුන්ගේ අනුගාමිකයන් ද තාපසවරුන් ද විවිධ ධ්‍යාන සමාපත්තීන්ට සමවැදීමට හැකියාව ලබා ගත්හ. අබුද්ධෝත්පාද කාලවලදී තෙරුවන් සරණ යාමක් දකින්නට නොලැබේ. ඔවුහු හුදෙක් සමථ භාවනාවන් භාවිතාකරමින්ම පමණක් කාමච්ඡන්ද , ව්‍යාපාද , ථීනමිද්ධ , උද්දච්ඡ කුක්කුච්චය , විචිකිච්චා යන පංච නීවරණ ධර්මයන් යටපත් කිරීමෙන්ම පමණක් හා විතක්ක , විචාර , ප්‍රීති , සුඛ , ඒකාග්‍රතා යන ධ්‍යානාංග ඉස්මතුකරමින් විවිධ ධ්‍යාන සමාපත්තීන් ඉපිදවුහ. ඔවුනට විදර්ශනා ඥානයක් නොතිබුණු අතර ධ්‍යාන සුවය පරම සුවය ලෙස ඇතැමුන් සිතුහ. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ දේශනාවට අනුව විදර්ශනා භාවනාවන්හි යෙදෙන්නකු නිර්වාණ ශාන්තියම අපේක්‍ෂාවෙන් එය අනුගමනය කරන බැවින් අනිවාර්යෙන්ම තෙරුවන් සරණ යාම සිදුකල යුතුම ය. තෙරුවන් සරණ නොගිය යමෙක් වේ ද කවර හෝ හේතුවක් නිසාවත් ඔහු නිවන් සුවය ලබාගත නොහැකි පුද්ගලයෙකු බවට පත් වේ. තෙරුවන් සරණ ගිය තැනැත්තාට පමණක් නිවන් සුවය ලබාගත හැකි බව ධර්මයෙහි දේශනාවන් කර තිබේ. සීලමය වශයෙන් අවම වශයෙන් පංචසීලයවත් සමාදන් විය යුතුය. අනතුරුව ‘ මෙසේ සමාදන් වූ තිසරණ සහිත පංචසීලය සසර දුකින් මිදීම පිණිසම හේතු වාසනා වේවා !’ අධිෂ්ඨාන කල යුතුය.

සාරිපුත්ත සූත්‍ර දේශනාව.

          චතුන්නං ඛෝ ආවුසෝ , ධම්මානං සමන්නාගමනහෙතු ඒවමයං පජා භගවතා ව්‍යාකතා සෝතාපන්නා අවිනිපාතධම්මෝ නියතා සම්බෝධිපරායනාති. කතමේසං චතුන්නං ? ඉධාවුසෝ, අරියසාවකෝ බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝතී: ‘ඉතිපි සෝ භගවා අරහං - පෙ - භගවාති. ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝතී:  ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ - පෙ - වීඤ්ඤූහීති. සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝතී:  සුපටිපන්නෝ       - පෙ - ලෝකස්සාතී. අරියකන්තේහි සීලෙහි සමන්නාගතෝ හෝතී: අඛණ්ඩේහි අඡිද්දේහි - පෙ - සමාධිසංවත්තතිකෙහි’.

ඇවැත්නි, ධර්මතා සතරකින් සමන්විත වීම හේතුකොටගෙන මෙසේ මේ සත්ත්ව ප්‍රජාව විවසව නොවැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝතාපන්න ඵලයට පත්වන්නේ යැ යි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. කවර සතර දහමක් ද යත් :

1.     ඇවැත්නි , මේ ආර්ය ශ්‍රාවක තෙමේ ඒ භාග්‍යවතුන්වහන්සේ මෙම කරුණින් ද අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. - පෙ - භගවා වන සේක. මෙසේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල චිත්තප්‍රසාදයක් ලබයි.
2.     ඒ ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මුල මැද අග යන තුන් තැන්හි මනාව දේශනා කරන ලද්දේ ය. - පෙ - නුවණැත්තන් විසින් තම තමන් විසින්ම දැනගත යුතුය. මෙසේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනලද ධර්මය කෙරෙහි අචල චිත්තප්‍රසාදයක් ලබයි.
3.     ඒ ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝයා කෙරෙහි
මනා වූ පිළිවෙතට බැස ගත්තේය. - පෙ - ලෝක සත්වයා හට අනුත්තර වූ පින් කෙතකි. මෙසේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝයා කෙරෙහි අචල චිත්තප්‍රසාදයක් ලබයි.
4.     ආර්යන් වහන්සේලා විසින් ඉෂ්ඨ කාන්ත මනාප යැ යි කියන ලද අඛණ්ඩ වූ අඡිද්ද - පෙ - වූ සමාධිසංවත්තතික වූ ආර්යකාන්ත සීලයෙන් සමන්වාගත වුයේ වේ.

( සූත්‍ර පිටකය.සංයුක්ත නිකාය 5-2.සෝතාපත්ති සංයුක්තය.වේළුද්වාර වර්ගය.11.1.4.2550 බු.ජ.ත්‍රි.පිටුව - 144/145 )

අරමුණ ආවර්ජනය කිරීම:-

          මෙහි අරමුණ නම් තමන් විසින් භාවනා කටයුතු සිදු කරන්නේ කුමන පරමාර්ථයක් නිමිති කරගෙන ද යන්න සිහිපත් කිරීම යි. මෙහිදී විවිධ පුද්ගලයන් විවිධ අරමුණු සිතෙහි තබාගෙන භාවනාමය කටයුතුවල යෙදෙන බව දැකගත හැක. ඇතමෙක් සිත සන්සුන් කරගෙන තමන්ගේ කටයුතු වඩාත් හොඳින් සිදුකර ගැනීම පිණිස භාවනාමය කටයුතු වල යෙදෙති. එසේම තවත් සමහරක් දෙනා සිත එක්තැන් කරගැනීම සඳහා පමණක් භාවනාමය කටයුතුවල යෙදෙති. ඇතමෙක් ධ්‍යානයන් ඉපදවීම පිණිසත් , ඉර්ධි ප්‍රාතිහාර්යන් සිදු කිරීම පිණිසත් , වාසි ප්‍රයෝජන පමණක් අපේක්‍ෂාවෙන් ද , ධර්මය අවබෝධ කිරීම පිණිස ද භාවනාමය කටයුතුවල යෙදෙති. මෙසේ විවිධ පුද්ගලයන්ගේ විවිධ බලාපොරොත්තු මේ සඳහා මුල් වෙති.

          බෞද්ධයන් විසින් භාවනා කල යුතු වන්නේ සසර විමුක්තිය බලාපොරෝත්තුවෙන් ය. ජාති , ජරා , මරණ , සෝක , පරිදේව , දුක්ඛ ,දෝමනස්ස , උපායාස ආදී දුක්ඛයන්ගෙන් මිදීමේ එකම බලාපොරෝත්තුවෙන් එම කටයුතු වල යෙදීම වැදගත් වනු ඇත. එබැවින් භාවනා කටයුතුවල යෙදීමට ප්‍රථමයෙන් ‘ මෙම භාවනා කටයුතු මා හට සංසාර දුකින් අතමිදීම පිණිසම හේතු වාසනා වේවා! ’ කියා අධිෂ්ඨාන කල යුතුය. මේ නිසා අධිෂ්ඨානයත් වීර්යත් සතියත් නිවනට නැමුනු සිතුවිලිත් වර්ධනය වේ.

තුනුරුවන්ට ජීවිතය පූජා කිරීම:-

          ‘ මමේව බුද්ධෝ , මමේව ධම්මෝ , මමේව සංඝෝ ...’ මගේ බුදුරජාණන් වහන්සේ , මගේ ධර්ම රත්නය , මගේ සංඝ රත්නය යන මමායනයෙන් යුක්තව තමන්ගේ ජීවිතය තුනුරුවනට පූජා කිරීම කල යුතුය. මේ මගින් තමන්ට මාර පාර්ශ්වික දෙවියන්ගෙන් සිදුවිය හැකි යම් උපද්‍රවයන් වෙතොත් ඒවා මගහැර ගැනීමට ශක්තියක් ලැබේ. අසීමිත වූ ආරක්‍ෂාවක් තමන්ට ලැබේ. තමන්ගේ සිත තුල තුනුරුවන් කෙරෙහි දැඩිව බැසගත් විශ්වාසයක් ජනිත වේ. ‘ අතීත කාලය තුල ලෝකයට අනුකම්පාවෙන් බුදු බවට පත් වූ , වර්තමාන කාලය තුල ලෝකයට අනුකම්පාවෙන් බුදුබවට පත් වූ , අනාගත කාලය තුල ලෝකයට අනුකම්පාවෙන් බුදුබවට පත්වන්නා වූ මේ සියලු බුදුරජාණන් වහන්සේලාට ද උන්වහන්සේලා විසින් දේශනා කරන්නා වූ ස්වාක්ඛාතා දී අනන්ත ගුණයන්ගෙන් යුක්ත වූ ධර්ම රත්නයට ද සුපටිපන්නතාදී අනන්ත ශ්‍රාවක ගුණයන්ගෙන් සමන්විත රහතුන් වහන්සේලා විෂයෙහි ද මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා !’ කියා ජීවිතය පූජා කල යුතුය.

පෙර කුසල් ආවර්ජනය කිරීම:-

          මෙහිදී තමන් විසින් කරනලද යම් කුසල කර්මයන් වෙත් ද ඒවා ආවර්ජනය කිරීම සිදු කරයි. ඉතා ආසන්න කුසල කර්මයන් හෝ අරමුණු නොවුවත් පෙර කුසල් කල බව සත්‍යක්‍රියා කරමින් අධිෂ්ඨාන සිදු කිරීම මෙහිදී සිදු කරයි. තමන්ගේ සිතට නගාගත හැකි ප්‍රභල කුසල කර්මයන් වෙතොත් ඒවා ද සිහිපත් කරමින් ‘ තමන් විසින් පෙර භාවනාමය වශයෙන් ධර්මය පුරුදු පුහුණු කලබව සත්‍යයි... වර්තමානයෙහි භාවනාමය කුසල් වර්ධනය කරනා බව සත්‍යයි... ඒ සත්‍යානුභාව බලයෙන් අතීත භාවනාමය කුසල කර්මයන් වර්තමාන භාවනාමය කුසල කර්මයන් වර්ධනය කරගැනීම පිණිසත් හේතු වාසනා වේවා!’ කියා පෙර කුසල් පාදක කර ගනිමින් අධිෂ්ඨාන කල යුතුය.

අරියූපවාදයන්ට සමා කර ගැනීම:-

          මෙය ද ඉතාමත්ම වැදගත් කරුණකි. අනන්ත සසරෙහි අප අතින් දැන හෝ නොදැන හෝ බුදු , පසේබුදු , අරහතුන් වහන්සේලාට යම් අභූතයෙන් අපවාදයක් සිදුකර ඇත්නම් එය ධර්මය අවබෝධ කිරීමට ඇති අවස්තාව මග හරවන්නෙකි. එහිදී උන්වහන්සේලා සුජීවත්ව වැඩවාසය කරනවාද නැද්ද යන්න බලපාන්නේ නැත. මෙම අරියූපවාදය මෙන්ම තවත් අන්තරායකර ධර්මයන් කිහිපයක් වේ.
අධිගම අන්තරායකර ධර්ම

           අධිගම අන්තරායකර ධර්මයන් නම් , සොතාපන්නතාදී ආර්ය මගඵල ලැබීම පිණිස බාධා ඇති කරනු ලබන ධර්මයන් ය. අන්තරායකර ධර්ම 05 කි.

1.     කර්මාන්තරාය - ආනන්තරීය පාප කර්මයන් 05 හා භික්ඛුණි දූෂක කර්මය යි.
2.     ක්ලේශාන්තරාය - නියත මිත්‍යා දෘෂ්ටිය.
3.     විපාකාන්තරාය - අහේතුක ප්‍රතිසන්ධිය .
4.     උපවාදාන්තරාය - අරියූපවාදය.
5.     ආඥා ව්‍යතික්‍රමණය - දැන දැන වැරදි කිරීම.

          මෙහිදී අරියූපවාද කර්මය අධිගම අන්තරායකර ධර්මයක් වශයෙන් ගනු ලැබේ. ඉන් මිදීමට භාවනාමය කටයුතු ආරම්භ කිරීමට ප්‍රථමව ‘ අනන්ත සසරෙහි දැන හෝ නොදැන මාගෙන් බුදු , පසේ බුදු , රහතුන් වහන්සේලා වැනි ආර්ය උතුමන් වහන්සේ කෙනෙකුන්ට සිත , කය , වචනයෙන් යම්ම හෝ අපවාදයක් සිදුවී ඇත්නම් උන්වහන්සේලා සුජීවත්ව වැඩවාසය කල ද පිරිනිවීමට පත් වුව ද මට සමාව ලැබේවා ! දෙවනුව ද තෙවනුව ද මට සමාව ලැබේවා !’ කියා සමාව ගත යුතුය. එසේ සමාව ගන්නා තෙක් කොතරම් භාවනා කලද අධිගමනයක් නොලැබේ. සමාව ගැනීමෙන් පසුව එම අරියූපවාද කර්මය අධිගමනයන් සඳහා අන්තරායකර නොවේ.

සත්‍යක්‍රියා කිරීම:-

          අප බුදුරජාණන් වහන්සේ මාර පරාජය සිදුකොට සම්මා සම්බුද්ධත්වයට පත් වූ බව සිහිපත් කරමින් සත්‍යක්‍රියා කිරීම මෙහිදී සිදු කරනු ලැබේ. ‘ සිදුහත් බෝසතානන් වහන්සේ චතුරංග සමන්වාගත වීර්යෙන් යුක්තව දඹදිව බුද්ධගයාවෙහිදී වජිරාසනානුරූඩව මාර පරාජය කලබව පරම සත්‍යයි. ඒ සත්‍යානුභාව බලයෙන් මාගේ අධිගමනයන් සඳහා බාධා කරනු ලබන , බාධා කිරීමට බලාපොරොත්තුවන සියලු මාර පාර්ශ්වික බලවේගයන් දුරින් දුරු වේවා ! නිදුකින් මාහට ධර්මය අවබෝධ කිරීමට හැකි වේවා !’ කියා අධිෂ්ඨාන කල යුතුය.

චතුරාරක්ඛා මෙනෙහි කිරීම:-

1.     බුදුගුණ වැඩීම.
2.     මෛත්‍රිය වැඩීම.
3.     අසුභය වැඩීම.
4.     මරණ සතිය වැඩීම.

මෙසේ කටයුතු කිරීමෙන් ඔබට අන්තරායකර ධර්මයන්ගෙන් ඉවත්ව භාවනාමය කතයුතු සිදුකර ගත හැක.


ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ.
sudhamma@Buddhism.au.com

No comments: