Powered By Blogger

Monday, July 30, 2012


සූත්‍ර සාකච්චාව - ASLBV                                                                                        tute – 06



ඉත්ථි රුප පරියාදාය සුත්‍රය - 06 කොටස

රූපයෙහි ආශ්වාදය විමසා බැලීම


          විදර්ශනා භාවනා කරන්නෙකු විසින් අර්ථකථනයන්ට අනතුරුව දැනගතයුතු මීලග කරුණ වන්නේ ‘ආශ්වාදය’පිළිබඳව අවශ්‍ය දැනුම ලබා ගැනීමයි. අර්ථකථන දැනගැනීමෙන්, යම්  අවස්ථාවකදී විය හැකි වැරදි වැටහීම් දුරුකරගත හැකිය.ධර්මය පිළිබඳව සිදුවිය හැකි වැරදි සහගත අර්ථයන් නිසා ඉතාමත් සියුම් ලෙස ධර්මය වරදවා වටහාගත හැකි අතර මෙම ගැටලුව මගහරවා ගැනීම පිණිස අර්ථකතනයන් දැනගැනීම උපකාරී වේ.එම නිසා ප්‍රථමයෙන්ම අර්ථකතනයන් දැනගැනීම වඩාත් වටී.තවද තමන් මෙනෙහි කරනු ලබන්නේ කුමක්ද යන්න පිළිබඳව මනාව දැනගැනීම සඳහාත් මෙය විශේෂයෙන් උපකාර වනු ඇත.

ආශ්වාදය යනු කුමක් ද ?

          ආශ්වාදය පිළිබඳව විමසා බැලීමේදී ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව විමසා බැලිය යුතුය. එවිට මෙම ආශ්වාදය ඒ ඒ අරමුණු විෂයෙහි පවත්නා ආකාරය පිළිබඳව වටහා ගත හැකිය.

1.     අර්ථකථනය කිරීම
2.     උපදනා / නූපදනා ස්ථානයන් අනුව බෙදීම
3.     කාලය අනුව බෙදීම
4.     වස්තුභේදය අනුව බෙදීම
5.     සත්ත්ව / පුද්ගල භේදය අනුව බෙදීම
6.     කුසල / අකුසල කාර්ම විපාක අනුව බෙදීම
7.     ආශ්වාදය ඇතිවීමට බලපාන කරුණු
8.     මේ පිළිබඳව ඇති බුද්ධ දේශනාවන්
9.     දුරුකළ යුත්තේ ඇයි ?
10. දුරු කරන පිළිවෙත
යන කරුණු පිළිබඳව දැනගත යුතුය.

1.     අර්ථකථනය කිරීම

ආශ්වාදය යනු ‘ ඇස - කණ - නාසය - දිව - ශරීරය - මනස යන ආයතනයන්ට හසුවන රූප - ශබ්ද - ගන්ධ - රස - ස්පර්ශ - ධම්ම යන යම් අරමුණක් තණ්හා - මාන - දිට්ඨි යන ප්‍රපංචයන්ගෙන් ග්‍රහණය කර ගනිමින් , එම අතීත - වර්තමාන - අනාගත අරමුණ ඒ ක්‍ෂණයෙහි හෝ පසු අවස්ථාවකදී හෝ කාම - භව - දිට්ඨි - අවිජ්ජා යන අනුසයන්ගේ ඉස්මතු කිරීමෙන් ද අයෝනිසෝමනසිකාරයෙන් ද , එක් වරකදී හෝ ඊට වැඩි වාර ගණනකදී සිහිපත් කිරීමෙන් ඒ අරමුණට අනුව අභිනන්දනය කිරීම යි. නැතහොත් සතුටුවීම යි. එසේ යම් සතුටුවීමක් හෝ සතුටුවන බවක් හෝ මනාව සතුටුවන බවක් හෝ නැවත නැවත සතුටුවන බවක් හෝ නැවත නැවත එම අරමුණ සිහියට නගාගනිමින් එයම අභිනන්දනය කරන බවක් හෝ වේ නම්, එය ආශ්වාදය ලෙස නම් කළ හැක’.

2.     උපදනා / නූපදනා ස්ථානයන් අනුව බෙදීම

ආශ්වාදය වනාහි සියලුම අරමුණුවල එකම ආකාරයෙන් නූපදී. එහි නානාත්වයක් ම ඇත්තේ ය. එබැවින් ආශ්වාදය වනාහි උපදනා / නූපදනා ස්ථාන ඇති බව දත යුතුය. ආශ්වාදය වනාහි ඇතැමුන් හට රාගික අරමුණක් අරභයා උපදී. ඇතැමුන්ට ද්වේෂ අරමුණක් අරභයා උපදී. ඇතැමුන්ට මෝහ අරමුණක් අරභයා උපදී. රාග සහිත අරමුණක ආශ්වාදය උපදනා විට අනෙක් ද්වේෂ හා මෝහ සහගත අරමුණු වල ආශ්වාදයක් සිදු නොවේ. එයට හේතුව එක සිතක් මගින් එකම අරමුණක් පමණක් ගැනීමයි. එසේම ද්වේෂ සහගත හෝ මෝහ සහගත හෝ අරමුණක ආශ්වාදය උපදනා විට අනෙක් අරමුණ නොයෙදෙන බව දතයුතුය.

3.     කාලය අනුව බෙදීම

කාල භේදයට අනුව බෙදීමේදී අතීත කාලය , වර්තමාන කාලය , අනාගත කාලය  යන කාල භේදයට අනුව අරමුණ ආස්වාදනය කිරීම පිළිබඳව සලකා බලනු ලැබේ.අරමුණ ආස්වාදනය කරනු ලබන්නේ වර්තමාන සිතුවිලි පරම්පරාවක උවද ඒ සඳහා අරමුණු කරගනු ලැබූ අරමුණ අතීත අරමුණක් හෝ වර්තමාන අරමුණක් හෝ අනාගත අරමුණක් හෝ විය හැකිය.අතීත අරමුණක් ආශ්වාදනය කළේ නම් එය අතීතය අභිනන්දනය කිරීමක් ලෙසත් වර්තමානයේ නම් වර්තමාන අභිනන්දනයක් ලෙසත් අනාගතය නම් අනාගත අභිනන්දනයක් ලෙසත් ගනු ලැබේ. අරමුණ නිරුද්ධ වූ අරමුණක් බව අතීත අරමුණ පිළිබඳව සිහිපත් කිරීමත් , අනාගත අරමුණ තවමත් නොපැමිණි අරමුණක් බවත් , වර්තමාන අරමුණ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් බව මෙනෙහි කිරීමට මෙසේ දැනගැනීම මහත් උපකාරයක්‌ වනු ඇත. මෙසේ වස්තු භේදය හෙවත් ආරම්මණ භේදය පිළිබඳව දැනගත යුතුය.

4.     වස්තුභේදය අනුව බෙදීම

වස්තු භේදය පිළිබඳව ද දැනගැනීම ඉතා වැදගත් කරුණක් වේ. මෙහිදී ඇස - කන - නාසය - දිව - ශරීරය - සිත යන ආයතනයන්ට අරමුණු වන එකිනෙකට විශේෂ වූ ආරම්මණයන් වේ. ඒ ඒ ආරම්මණයන් ඒ ඒ විශේෂ ආයතනයන්ටම පමණක් අරමුණු වන අතරම සියලු ආයතනයන්ට අරමුණු නොවේ. ඇසට අරමුණ රුපය යි. රුපය කනට හෝ නාසයට හෝ දිවට හෝ ශරීරයට හෝ මනසට ගෝචර වන අරමුණක් නොවේ. එසේම කනට අරමුණ ශබ්දය යි. ශබ්දය ඇසට හෝ නාසයට හෝ දිවට හෝ ශරීරයට හෝ මනසට ගෝචර වන අරමුණක් නොවේ. සෙසු ආයතනයන්ට ද ඒ ඒ අරමුණු එසේම ගෝචර අගෝචර වන්නේ ය.

5.     සත්ත්ව / පුද්ගල භේදය අනුව බෙදීම

සත්ත්ව / පුද්ගල භේදයට අනුව ද ආශ්වාදනය කිරීමේ නානාත්වයක් පවතී. ඇතැම් සත්ත්වයින් හට ප්‍රිය දේ තවත් සත්ත්වයෙකු හට අප්‍රිය විය හැකිය. අප්‍රිය දේ ප්‍රිය විය හැකිය. උදාහරණ ලෙස ඇතැම් සත්ත්වයින් හට මාංශ පරිහරණය ඉතා ආශ්වාදජනක විය හැක. නමුත් එය ඇතැම් අය හට පිළිකුලක් උපදවන්නක් විය හැකිය. කිඹුලාට ගල්  කැට ආශ්වාදජනක ආහාරයකි.  අනෙක් සත්ත්වයන් හට එසේ නොවේ. මොනරාට සර්පයන් ආශ්වාදජනක ආහාරයකි. අනෙක් බොහෝ සතුන්ට එසේ නොවේ. දෙවියන්ට දිව්‍ය ආහාරයම ආශ්වාදජනක වේ. මිනිසුන්ගේ ආහාරය එසේ නොවේ.

6.     කුසල / අකුසල කාර්ම විපාක අනුව බෙදීම

කුසලාකුසල කර්මයන්ගේ ප්‍රතිපල වශයෙන් ද අරමුණු ආශ්වාදනය කිරීමේ නානාත්වයක් ඇත. පූර්ව සසරෙහි තම තමන් විසින් කරන ලද කුසල කර්මයන්ට අනුරූපීව හෝ අකුසල කර්මයන්ට අනුරූපීව ඒ ඒ අරමුණු ආශ්වාදය කිරීම වෙනස් වේ. දෙවියන්ට දිව්‍යමය ආහාර / පංචකාමයන් ආශ්වාදයක් ගෙන දේ. කර්මානුරූපීව සූකරයන් හට අසුචි දුටු විට මහත් වූ ආශ්වාදයක් උපදී. නමුත් අන් බොහොමයක් සත්ත්වයන් හට එය ආශ්වාදනය කල හැකි අරමුණක් නොවේ. ගැඩවිලාට පස ආශ්වාදජනක වන්නේ එම සත්ත්වයාගේ කර්ම විපාකයක ප්‍රතිඵලයක් වශයෙනි. ගූත නිරයෙහි ඇතැම් සත්ත්වයින්හට අනෙකුත් සත්ත්වයන්ගේ අසුචි ප්‍රියජනක ආශ්වාදමය වන්නේ අකුසල විපාකයක් හේතුවෙනි.


7.     ආශ්වාදය ඇතිවීමට බලපාන කරුණු

ආශ්වාදයක් ඇතිවීමට විවිධ කරුණු බලපායි. විශේෂයෙන් ඒ ඒ සත්ත්වයන්ගේ කර්මානුරූපී කරුණු මෙන්ම චිත්ත සන්තානගත කෙලෙසුන්ගේ ස්වභාවයත් ඒ ඒ  කෙලෙසුන්ගේ හැසිරීමත් ඔවුනොවුන් තම තමන්ගේ ආයතනයන්ගෙන් ග්‍රහණය  කරගන්නා අරමුණු කෙරෙහි හැසිරෙන ආකාරයත් මේ කෙරෙහි විශේෂයෙන්ම බලපායි. තණ්හා - මාන - දිට්ඨි යන ප්‍රපංචයන් ද කාම - භව - දිට්ඨි - අවිද්‍යා යන අනුසය කෙලෙසුන් ද අයෝනිසෝමනසිකාරය ද විපරීත දෘෂ්ටිය ද ආශ්වාදය වර්ධනය වීම පිණිස බලපායි. එසේම තම තමන් විසින් කරන ලද කුසලාකුසල කර්මයන් ද මීට බලපායි.

8.     මේ පිළිබඳව ඇති බුද්ධ දේශනාවන්

                                        I.            පළමුවැනි අස්සාද සූත්‍රය

යං ඛෝ රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං , අයං රූපස්ස අස්සාදෝ. යං රූපං අනිච්චං දුක්ඛං විපරිනාමධම්මං , අයං රූපස්ස ආදීනවෝ. යෝ රූපස්මිං ඡන්දරාගවිනයෝ ඡන්දරාගප්පහානං , ඉදං රූපස්ස නිස්සරණං.

යම් රූපයක් නිමිතිකොටගෙන සුවයක් සොම්නසක් උපදී ද , එය රූපයෙහි ආස්වාදය යි. යම් රූපයක අනිත්‍ය බවක් දුක්සහගත බවක් වෙනස්වීමක් වේ නම් , එය රූපයෙහි ආදීනවය යි.යම් රූපයක් කෙරෙහි පවත්නා කැමැත්ත දුරුකිරීම ප්‍රහාණය කිරීමක් වේ ද , එය රූපයෙහි නිස්සරණය යි.

( සූත්‍ර පිටකය. සංයුක්ත නිකාය-3. ඛන්ධ සංයුක්තය. මූල පණ්ණාසකය. හාර වර්ගය. 2550 බු.ජ.ත්‍රි.පිටුව. 50.)

                                      II.            තෙවැනි අස්සාද සූත්‍රය

මහණෙනි , රූපයෙහි ආශ්වාදයක් නොවන්නේ නම් , සත්ත්වයා රුපය කෙරෙහි නොම ඇලෙන්නේය. මහණෙනි , යම් සේ රූපයෙහි ආශ්වාදයක් වේ ද , එබැවින් සත්ත්වයා රූපය කෙරෙහි ඇලෙන්නේය.

( සූත්‍ර පිටකය. සංයුක්ත නිකාය-3. ඛන්ධ සංයුක්තය. මූල පණ්ණාසකය. හාර වර්ගය. 2550 බු.ජ.ත්‍රි.පිටුව. 52.)

9.     දුරුකළ යුත්තේ ඇයි ?

ආශ්වාදයෙන් යුක්තව යමක් උපාදාන කිරීම යනු සසරට බැඳීම යි. සසරට බැඳීම යනු  සියලු ජාති ජරා මරණ සෝක පරිදේවයන්ට පත්වීමයි. මෙසේ සසරට බැඳෙන ආකාරය පිළිබඳවත් සියලුම දුක් දොම්නස් වලට ලක්වීමට හේතුව දැන ගැනීමටත් , එසේ දැනගැනීමෙන් දැකගනීමෙන් උපාදානයන්ගෙන් මිදීමටත් සෝකයන් දුරුකිරීමටත් උපකාර වේ.

10.   දුරු කරන පිළිවෙත

ආශ්වාදයට ඇති කැමැත්ත දුරුකරන පිළිවෙත නම් ආශ්වාදය ආශ්වාදය ලෙසත් , ආදීනවය ආදීනවය ලෙසත් , නිස්සරණය නිස්සරණය ලෙසත් තත් වූ පරිද්දෙන් අවබෝධකර ගැනීමයි. එසේ අවබෝධකර ගැනීමෙන් දෙවියන් සහිත වූ මාරයන් සහිත වූ බ්‍රහ්මයන් සහිත වූ ශ්‍රමණබ්‍රාහ්මණයින් සහිත වූ ප්‍රජාවෙහි සියලු උපාදානයන්ගෙන් නික්ම ගියා වූ සිතින් යුක්තව වාසය කරන්නෙකු වන්නේය.

උදා:- දෙවන අනුධම්ම සූත්‍රය

ස්කන්ධ පංචකය පිළිබඳව අනිත්‍යට අනුව නුවණින් දකිමින් වාසය කිරීම නිසා ද ඔහු රූපාදිය පිළිබඳව පිරිසිඳ දකී. එසේම දනී. එබැවින් ඉන් මිදේ. ජාති ජරාදියෙන් මිදෙයි. පංචස්කන්ධ සංඛ්‍යාත සියලු දුකින් මිදේ යැ යි දත යුතුය.

( සූත්‍ර පිටකය. සංයුක්ත නිකාය-3. ඛන්ධ සංයුක්තය. මූල පණ්ණාසකය. න තුම්හාක වර්ගය. 2550 බු.ජ.ත්‍රි.පිටුව. 72.)

මෙම කරුණු පිළිබඳව විශේෂයෙන් විදර්ශනා භාවනා කරනු ලබන තැනැත්තෙකු විසින් අවධානය යොමු කල යුතු අතර , මෙම කාරනා පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමෙන් ආශ්වාදය පිළිබඳව වඩාත් දැනුමක් ලබාගත හැක.


ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ
sudhamma@buddhism.au.com

Sunday, July 1, 2012


සූත්‍ර සාකච්චාව - ASLBV                                                                                                  tyte – 05


ඉත්ථි රූප පරියාදාය සුත්‍රය . 05 කොටස.


           පෙර පාඩමින් අප අධ්‍යනය කළ රූපයේ බෙදීම් තව දුරටත් මෙසේ බෙදා දැක්වීමට හැක.

රූපය අර්ථ දැක්වීම:-

‘වෙනස් වන ස්වභාවයෙන් යුක්ත බැවින් රූපය නම් වේ. කෙසේ වෙනස් වේ ද යත්; සීතල නිසා වෙනස් වේ. උණුසුම් බව නිසා වෙනස් වේ. සාගින්නෙන් වෙනස් වේ. පිපාසයෙන් වෙනස් වේ. මැසි මදුරුවන්ගේ ස්පර්ශයෙන් වෙනස් වේ. වාතාතප සිරින්සප සම්ඵස්සයෙන් වෙනස් වේ’. මේ නිසා රූපය නම් වේ.

‘රුප්පත’ යනු කිපීම යි. ගැටීම යි. පෙළීම යි. බිඳීම යි. 
 
සීතල නිසා වෙනස් වීම:-   

       සීතල හේතුවෙන් වෙනස් වීමයි. මෙහිදී ප්‍රධාන වශයෙන් ලෝකාන්තරික නරකය පිළිබඳව ගනු ලැබේ.සක්වල තුනෙන් තුනට ලෝකාන්තරික නරකයක් වේ. මෙම ලොකාන්තරීය නරකයෙහි යට පොළොවක් නැත. උඩ සඳ හිරු තාරකා මැණික් පහන් ආලෝකයන් නොමැත. නිරන්තරයෙන් අඳුරුය. එහි උපදනා සත්ත්වයින්ගේ ශරීරය ගවු 03 ක් පමණ වේ ( ගවුවක් යනු සැතපුම් 04 කි ) . මෙම සත්ත්වයෝ වවුලන් මෙන් දික් වූ ශරීරයන්ගෙන් යුක්තය. ඉතා විශාල වූ කඳුවල එල්ලීගෙන හිස පහතට දමාගෙන සිටින මොවුන් සමීපයට එවැනිම වූ තවත් සත්ත්වයෙක් පැමිණි විට එම සත්ත්වයා අල්ලා ගැනීමට පනිති. එවිට ඔවුන් එම ලොව දරන්නා වූ ජලය මතට ඇද වැටෙති. සීතල වායු පහරින් පැසුණු මී ගෙඩි මෙන් පැලී ජලයෙහි වැටෙති. එසේ වැටුණු විට පෙර පසු නොවී අතිශය සීතල වූ ලුණු වතුරින් ඉරුණු සම් මස් ඇට නහර බිඳෙන කල්හිදී ඉතා තදින් රත් වූ තෙල් මතට වැටුණු පිටි පිඩක් සේ පට පට යන ශබ්දය නගමින් විනාශ වෙති. මෙසේ සීතලෙන් වෙනස් වීම ලොකාන්තරීය නරකහිදී ප්‍රකටය. තවද , හිම පතිත වන රටවල ද මෙසේ සීතල නිසා රූපය වෙනස් වේ. ශරීරයේ සම ආදිය කැඩී වෙනස් ස්වභාවයකට පත්වනු දැකගත හැකිය. තොල්පට පැලීයාම් , නිය අග පැලීයාම , ශරීරය ඉදිමීම , පියවි ස්වභාවයෙන් ශරීරය වෙනස් වීම් ... ආදිය උදාහරණ ලෙස දැක්විය හැක. අධික සීතබව නිසා ඇතැම් සත්ත්වයෝ මරණයට ද පත් වෙති. 
 
උෂ්ණත්වය නිසා වෙනස් වීම:-

          උෂ්ණත්වය නිසා වෙනස්වීම අවීචි මහා නරකයෙහි ප්‍රකටය. එහි රත්වූ ලෝහමය පොළොවෙහි හොවවා පංචවිධ බන්ධනයන් සිදු කරන කල්හි දී සත්ත්වයෝ මහත් වූ දුකක් වින්දනය කරති. තවද , අධික උණුසුම් බව නිසාත් , ගින්දරට හසුවීම නිසාත් සත්ත්වයාගේ ශරීරය වෙනස් වේ. ඇතැම් සත්ත්වයෝ මරණයට ද පත් වෙති.

සාගින්නෙන් වෙනස් වීම:-      

ප්‍රේත ලෝකයෙහි හා දුර්භික්‍ෂ කාලයෙහි සාගින්නෙන් වෙනස් වීම ප්‍රකටය. ප්‍රේත ලෝකයෙහි වනාහි බුද්ධාන්තර දෙක තුනකින්වත් කිසිම ආහාරයක්‌ වත් නොලැබෙති.බඩ ඇතුලත ගිනි ඇවිලගත් සිදුරු සහිත ගසක මෙන් වෙයි. දුර්භික්‍ෂ කාලයෙහි කැඳ පමණකුත් නොලබා මරණයට පත්වන සත්වයෝ ද විශාල වෙති.

පිපාසයෙන් වෙනස් වීම:-

          කාලකඤ්ජිකාදී නරකයන්හි ප්‍රකටය. එහි සත්ත්වයෝ බුද්ධාන්තර දෙක තුනක්වත් දිය තෙමෙන පමණකටවත් ජලය නොලබති. ජලය පානය කරන අදහසින් ගංගා ආසන්නයට ගිය කල්හිදී එම ජලය හිස් වී වැලි මතු වේ. මහා සාගරයට ගියද එය මහා ගල්තලාවක්‌ මෙන් වේ.වියලීමට පත්වෙමින් මහත් වූ දුකකට පත වෙති.

මැසි මදුරු ... ස්පර්ශයෙන් වෙනස් වීම:-

          මැසි මදුරුවන් බහුල ප්‍රදේශවල බහුලය. ‘ ඩංස ’ යනු පිගුවන් මැස්සෝ ය. ‘ මකස ’ යනු මදුරුවෝ ය. ‘ වාත ’ යනු බඩේ පිටේ ඇතිවන වාතය යි. ශරීරයේ වාතවේගයන් මතුවී අත් පා ආදිය කණ කරයි. කුදු කරයි. ‘ ආතාප ’ යනු හිරු තාපය යි.වාලුකා කාන්තාර ආදියෙහි ප්‍රකටය. ‘ සිරිංසප ’ යනු දිගු ශරීර ඇති සත්ත්වයෝ ය.

          මෙසේ වෙනස් වන බැවින් රූපය ය යි කියනු ලැබේ.

11 ආකාර රූපය තවදුරටත් විස්තර කර දැක්වීම:-

          11 ආකාර රූපය බෙදා දක්වීමේදී අතීත - වර්තමාන - අනාගත .... ආදී වශයෙන් බෙදා දැක්වූවෙමු. විදර්ශනා භාවනා වඩනු ලබන තැනැත්තා මේ පිළිබඳව තවදුරටත් කරුණු වටහා ගැනීම භාවනාමය කටයුතු සඳහා වඩාත් උපකාරී වනු ඇත.

අතීත රූපය:-

මෙසේ බෙදා දැක්වීමේදී කාලයම සීමාව වශයෙන් ගත් අතර , ප්‍රධාන වශයෙන් සුත්‍රාන්ත ක්‍රමයට හා අභිධර්ම ක්‍රමයට බෙදා දක්වනු ලැබේ. සුත්‍රාන්ත ක්‍රමයට අනුව වර්ග කිරීමේදී භවයෙන් අතීත භේදය සීමා කොට ගන්නා ලදී. අභිධර්ම ක්‍රමයට අනුව ගැනීමේදී ක්‍ෂණයෙන් සීමා කොට ගන්නා ලදී. භවයෙන් වෙන්කර ගැනීමේදී ප්‍රධාන වශයෙන් මෙම උපතට පෙර තමා විසින් ලබන ලද එක් උපතක් හෝ උත්පත්තීන් 100 ක් හෝ ලක්‍ෂ ගණනක හෝ අනන්ත සසරම ගන්නා ලදී. මෙසේ මෙම භවයට පෙර ලබන ලද , නමුත් අතීතයට අයත්වන , නිරුද්ධව ගියාවූ යම් භවයක් වෙත් ද ඒ සියලුම භවයන්හි යම් ආකාරයක රූපයක් පැවත නිරුද්ධව ගියේ ද ඒ සියලුම රූපයන් අතීත රූපයන් වශයෙන් ගනු ලැබේ. ක්‍ෂණ වශයෙන් ගැනීමේදී චිත්තක්ෂණයම ගන්නා ලදී. ක්ෂණය වනාහි ඉතාමත් කුඩා කාල සීමාවකි. එය තත්පරයෙන් සොළොස් කලාවක්වත් නොගනී. එයද ඉතාමත් සියුම් ලෙස උප්පාද - ඨිති - භංග යනුවෙන් කොටස් 3 කට බෙදා දක්වා ඇත. උප්පාද නම් හටගන්නා කාලය යි. භංග නම් විනාශවන කාලය යි. ඒ උප්පාදය හා භංගය අතර විපරිණාමයට පත් වෙමින් පවත්නා කාලය ඨිතිය නම් වේ. මෙසේ නිරුද්ධව ගියා වූ ක්ෂණයක් පාසා වූ සියලු රූපයන් අතීත රූප වශයෙන් අභිධර්ම ක්‍රමයට ගනු ලැබේ.

අනාගත රූපය:-

          තවමත් නොපැමිණි භවයන් සියල්ලම , විපාක දීම පිණිස නොපැමිණි සියලුම  රූපයන් අනාගත රූපයන් වශයෙන් හඳුන්ව යි. එසේම තවමත් නොපැමිණි සියලුම චිත්තක්ෂණයන්හි පවත්වන් සියලු රූපයන් අනාගත රූපයන් වශයෙන් ගනු ලැබේ. ඉදිරි එක් භවයක හෝ අනන්ත අනාගත සසරෙහි හෝ තවමත් නොපැමිණි සියලුම රූපයන් මෙහිදී සංග්‍රහ කරනු ලැබේ.

වර්තමාන රුප:-

          මෙසේ ඉහතින් දක්වන ලද අතීතයට හෝ අතීතය සංග්‍රහයට අයත් නොවන , අනාගතයට හෝ අනාගතය සංග්‍රහයට අයත් නොවන , උප්පාද හෝ ක්‍ෂණ සංග්‍රහයට අයත් නොවන සියලුම රූපයන් මෙන්ම , එසේම වර්තමාන සංග්‍රහයට අයත් වන සියලුම රූපයන් වර්තමාන රුප නම් වේ.

ආධ්‍යාත්මික - බාහිර රූපය:-

          තමා විෂයෙහි පවත්නා සියලුම රුපයන් ය. Tute – 04 හි එන ආධ්‍යාත්මික සතරමහා ධාතුන් හා සතර මහා ධාතුන් නිසා පවත්නා රූපයන් ද මෙහිදී ගනු ලැබේ.         තමා විෂයෙහි අයත් නොවන සියලුම රුපයන් ය. Tute – 04 හි එන බාහිර  සතරමහා ධාතුන් හා සතර මහා ධාතුන් නිසා පවත්නා රූපයන් ද මෙහිදී ගනු ලැබේ.

ඕළාරික -සියුම්රුපය:-

          තද , ඝන ස්වරූපයක් ඇති සියලුම රූපයන් ඕළාරික රුප වශයෙන් ගනු ලැබේ. නමුත් ඇතැම් තැනකදී මෙහි සාපේක්‍ෂ බවක් ද වන්නේය. උදාහරණ ලෙස  චාතුර්මහාරාජික දෙවියන්ගේ කයට සාපේක්‍ෂව මිනිසුන්ගේ රූපය ඕළාරිකය. බ්‍රහ්ම නිකායික දෙවියන්ට සාපේක්‍ෂව සදිව්‍ය වාසී දෙවියන්ගේ රූපය ඕළාරිකය. තද , ඝන ස්වරූපයක් රහිත සියුම් ස්වභාවයක් ගනු ලබන සියලුම රූපයන් මේ යතටට ගනු ලැබේ. උදාහරණ ලෙස මිනිසුන්ගේ ශරීරයට වඩා චාතුර්මහාරාජික දෙවියන්ගේ ද චාතුර්මහාරාජික දෙවියන්ට වඩා බ්‍රහ්ම නිකායික දෙවියන්ගේ රූපය ද සියුම් වේ.

හීන - රූප ප්‍රණීත රූප :-

          යටත් පිරිසෙන් අවම වශයෙන් නිරය වාසී සත්ත්වයන්ගේ රූපය හීන වේ. එයට සාපේක්‍ෂව නාග ගුරුළු සත්ත්වයන්ගේ රූපය ප්‍රණීත වේ. නාග ගුරුළු සත්ත්වයන්ගේ රුපයට සාපේක්‍ෂව ප්‍රේතයන්ගේ රූපය ප්‍රණීතය. ප්‍රේතයන්ගේ රූපයට සාපේක්‍ෂව ජනපදිකයන්ගේ රූපය ප්‍රණීතය. ජනපදිකයන්ගේ රූපයට සාපේක්‍ෂව ප්‍රදේශ පාලකයන්ගේ රූපය ප්‍රණීතය. ප්‍රදේශ පාලකයන්ගේ රූපයට සාපේක්‍ෂව සක්විති රජවරුන්ගේ රූපය ප්‍රණීතය. සක්විති රජවරුන්ගේ රූපයට සාපේක්‍ෂව භූමාටු දෙවියන්ගේ රූපය ප්‍රණිතය. භූමාටු දෙවියන්ගේ රූපයට සාපේක්‍ෂව චාතුම්මහාරාජික දෙවියන්ගේ රූපය ප්‍රණීතය.....

දූර - සන්තික රූපය:-

          ශ්‍රවණ උපචාරයෙන් මෙපිට පිහිටි රූප සන්තික රූපය. ඉන් එපිට පිහිටි රූප දුර රූපය.ශ්‍රවණ උපචාරය නම් රියන් 12 ක හෙවත් අඩි 18 කි. අවකාශ වශයෙන් ගන්නා ලදී.


ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ.
sudhamma@buddhism.au.com