Powered By Blogger

Sunday, January 22, 2012





               මීට වසර 2600 කට පමණ පෙර අංගීරස වූ සියලු දෙවි මිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාව තුල අත්‍යුත්තම ස්වභාවයට පත් වූ අප තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ වහන්සේගේ බුද්ධත්ව මංගල්‍ය සිදු වූහ. දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබාගත් අවස්ථාවේ පටන් දාන, සීල, නෙක්ඛම්මාදී වශයෙන් පාරමී - උප පාරමී - පරමාර්ථ පාරමී වශයෙන් සම තින්සත් පාරමී සම්පූර්ණ කොට දඹදිව ගයා ශීර්ශයේදී වජිරාසනාරූඩව  සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. ජීවිත පරිත්‍යාගයෙන් පැමිණ ලබාගත් බුද්ධත්වයෙන් යුතු උන්වහන්සේ පුරා වසර 45 ක කාල පරාසයක් දෙවි මිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාවට මහත් සේ අනුකම්පාවෙන් චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කල සේක. 

              සත්වයා සසර ගමනින් මිදෙන්නට නොදී සසරට අල්වා තබාගන්නා වූ සියලු කෙලෙසුන්ගෙන් උන් වහන්සේ ප්‍රථමයෙන් ම මිදුණු සේක. පසුව තම ධර්මය ලොවට ප්‍රකාශ කිරීමට පිටත් කිරීමට නියමිත  ශ්‍රාවකයන් 60 නම අමතා මෙසේ දේශනා කල සේක. 

             '' මුත්තෝ'හං භික්ඛවේ , සබ්බපාසෙහි යේ දිබ්බා යේ ච මානුසා . තුම්හේ'පි භික්ඛවේ , මුත්තා සබ්බපාසෙහි යේ දිබ්බා යෙ ච මානුසා . චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පකාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං. මා ඒකෙන ද්වේ අගමිත්ථ . දෙසෙථ භික්ඛවේ , ධම්මං ආදිකල්‍යානං මජ්ඣෙ කල්‍යානං පරියෝසාන කල්‍යාණං සාත්ථං සබ්යන්ජනං කෙවලපරිපුණ්ණං බ්‍රහ්මචරියං පකාසෙථ. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා ; අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සති ධම්මස්ස අඤඤාතාරෝ...... ''

             මහණෙනි, මම දෙවියන් පිලිබඳ වූ යම් ක්ලේශ පායාසයෝ වෙත් ද , මිනිසුන් පිලිබඳ වූ යම් ක්ලේශ පායාසයෝ වෙත්ද , ඒ සියලු ක්ලේශපායාසයන්ගෙන් මිදුනෙමි. මහණෙනි , තෙපි ද දෙවියන් පිලිබඳ වූ යම් ක්ලේශපායාසයෝ වෙත් ද , මිනිසුන් පිලිබඳ වූ යම් ක්ලේශපායාසයොත් වෙත් ද , ඒ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහු ය. මහණෙනි , බොහෝ දෙනාට හිත පිණිස ද බොහෝ දෙනාට සැප  පිණිස ද ලොවට අනුකම්පා පිණිස ද දෙවි මිනිසුන්ට  හිත පිණිස ද සැප පිණිස ද චාරිකාවේ හැසිරෙව්. දෙනමක් එක මගින් නො යවූ. මහණෙනි , ආදියෙහි යහපත් වූ මධ්‍යයෙහි යහපත් වූ අවසානයෙහි යහපත් වූ අර්ථ සහිත වූ ව්‍යංජන සම්පත්තියෙන් යුක්ත වූ සියල්ලෙන් සම්පූර්ණ වූ ධර්මය දෙසවූ. පිරිසිඳු වූ බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරවූ.ස්වල්ප වූ රාගාදී රජස් ඇති සත්ත්වයෝ වෙති. ඔහු දහම් නො ඇසීමෙන් පිරිහෙත්. දහම් අවබෝධ කරන්නෝ වන්නාහ.
             ( විනය පිටකය.මහාවග්ග පාලිය -1. මාර කතා . 2550 බු.ජ.ත්‍රි.පිටුව - 42/43 ).   

             බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද මෙම දේශනාව දෙස බැලීමේදී කරුණු කිහිපයක් සානාථ කරගත හැක.

1. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත් වූ බව.
2. තම ශ්‍රාවකයන්  ද සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත් වූ බව.
3. තමන් වහන්සේත් ශ්‍රාවකයනුත් විසින් නසන ලද කෙලෙස් කවර ආකාරයක ස්වභාවයකින් යුක්ත වූවාද යන බව. 
4. ආර්ය ධර්මය සියලු සත්ත්වයින්ට බලපාන ආකාරය. 
5. සත්ත්වයන්ට  ධර්මය අවබෝධ කල හැකි  බව.
6. තමා විසින් අවබෝධ කරන ලද ධර්මය '' ස්වාක්ඛාත '' ධර්මයක් බව.
7. ධර්ම ප්‍රචාරයෙහි යෙදිය යුතු ආකාරය.

              මෙසේ ආරම්භ කරන ලද ධර්ම ප්‍රචාරක කටයුතු සමග දඹදිවත් දෙවි මිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාව තුලත් උන්වහන්සේ දෙසූ ධර්මය ප්‍රචලිත විය. මේ නිසාම භික්ෂු - භික්ෂුනී - උපාසක - උපාසිකා යන සතරවිධ ශ්‍රාවක පිරිසක් උන්වහන්සේ වටා එකතු වූහ. එම සිවුවනක් පිරිසෙන් ඇතැමෙක් විවිධ ධ්‍යාන සමාපත්තීන්ට සමවැදිය හැකි අය වූහ. ඇතැමෙක්  සෝතාපන්න වූහ. ඇතැමෙක් සකදාගාමී වූහ. ඇතැමෙක් අනාගාමී වූහ. තවත් පිරිසක් අරහත්වයට පත්ව සියලු සසර දුක් නිවා ලූහ. මෙසේ විවිධ ඵලයන් ලැබූ අය අප්‍රමාණ ය . අප ශාන්තිනායකයන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව ශ්‍රවනය කල දස දහසක් සක්වල සත්ත්වයන් අතරින් 18 කෝටියක් පමණ දෙනා එකවරම ධර්මය අවබෝධ කළහ. එසේ දම්සක් පැවතුම් සුත්‍ර දේශනාවෙන් තමන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ධර්මය දේශනා කිරීම ආරම්භ කල ශාන්තිනායකයන් වහන්සේ වසර 45 ක කාල පරාසයක් තුල විවිධ සත්ත්වයන් නිවන් සුවයෙන් සනසා ලුහ. ත්‍රිපිටක අටුවා ටීකා ආදී ධර්ම ග්‍රන්ථ අධ්‍යනය කිරීමෙන් මේ පිළිබඳව වඩාත් සාධක සොයාගත හැකිය. 

                බුද්ධ දේශනාව බෙදා දැක්වීම 

                 අතීත - වර්තමාන - අනාගත යන තුන් කාලයටම අයත් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසින් ලෝක සත්ත්වයාට මහත් අනුකම්පාවෙන් දේශනා කරන ලද ධර්මය ප්‍රධාන වශයෙන් ත්‍රිවිධාකාර වෙති.

1. පර්යාප්ති ශාසනය 
2. ප්‍රතිපත්ති ශාසනය
3. ප්‍රතිවේද  ශාසනය 

                                    යනුවෙනි.

             1. පර්යාප්ති ශාසනය 



                පර්යාප්තිය නම් ත්‍රිපිටක බුද්ධ වචනය යි. සමස්ත ත්‍රිපිටකයම මෙසේ බෙදා වෙන්කර දෙක්විය හැකි ය. 

                 කථං පිටකවසෙන තිවිධං? සබ්‌බම්‌පි හෙතං විනයපිටකං සුත්‌තන්‌තපිටකං අභිධම්‌මපිටකන්‌ති තිප්‌පභෙදමෙව හොති.
                                             සමන්තපාසාදිකා  අටුවාව. ග්‍රන්තාරම්භ කතාව .CSCD )
                කෙසේ පිටක වශයෙන් ත්‍රිවිධාකාර වේද සියල්ල ,
  • විනය පිටකය 
  • සුත්‍ර පිටකය
  • අභිධර්ම පිටකය
                              යනුවෙන් තුන් ආකාරයකට බෙදා දක්වා ඇත.

                    විනය පිටකය:-

                            තත්‌ථ පඨමසඞ්‌ගීතියං සඞ්‌ගීතඤ්‌ච අසඞ්‌ගීතඤ්‌ච සබ්‌බම්‌පි සමොධානෙත්‌වා උභයානි පාතිමොක්‌ඛානිද්‌වෙ විභඞ්‌ගානිද්‌වාවීසති ඛන්‌ධකානිසොළසපරිවාරාති ඉදංවිනයපිටකං නාම.
                         සමන්තපාසාදිකා  අටුවාව. ග්‍රන්තාරම්භ කතාව .CSCD )

                එහි ප්‍රථම ධර්ම සංඝායනා කාලයෙහි සංඝායනා  කරන ලද්දා වූ ද සංඝායනා නො කරන ලද්දා වූ ද උභය ප්‍රාතිමෝක්ෂය විභංගයන් දෙක ඛණ්ධයන් 22 , පරිවාරයන් 16 යන සියල්ලම විනය පිටකය නම් වේ.
      '' විනයනය '' කිරීම විනය නම් වේ. එනම් ධර්මාවබෝධයට පත් විය හැකි හෝ නො හැකි  හෝ සත්ත්වයින් ලෞකික - ලෝකෝත්තර ඵලාධිගමනයන් සඳහා සුදුසු ලෙසින් හික්මවීම යි. සංවරයට පත් කිරීම යි.මෙහි ඇති විශේෂත්වයනම් ආඥා බහුලත්වය යි. එනම් අණ දීම් බහුල කොට ඇති බවයි. මෙසේ කායික - මානසික - ෛචතසික සමාචාරයන්ගෙන් යුක්ත විය යුතු බව අණවා තිබීම මෙහි ඇති විශේෂත්වය යි. විනය පිටකය පහත දක්වන ලෙසින් කොටස් කර දැක්විය හැක.
      • පාරාජිකා පාලිය
      • පාචිත්තිය පාලිය
      • මහා වග්ග පාලිය
      • චුල්ල වග්ග පාලිය 
      • පරිවාර පාලිය 

              සුත්‍ර පිටකය:-

                 බ්‍රහ්‌මජාලාදි චතුත්‌තිංසසුත්‌තසඞ්‌ගහො දීඝනිකායොමූලපරියායසුත්‌තාදි දියඩ්‌ඪසතද්‌වෙසුත්‌තසඞ්‌ගහො මජ්‌ඣිමනිකායොඔඝතරණසුත්‌තාදි සත්‌තසුත්‌තසහස්‌ස සත්‌තසත ද්‌වාසට්‌ඨිසුත්‌තසඞ්‌ගහො සංයුත්‌තනිකායොචිත්‌තපරියාදානසුත්‌තාදි නවසුත්‌තසහස්‌ස පඤ්‌චසත සත්‌තපඤ්‌ඤාසසුත්‌තසඞ්‌ගහො අඞ්‌ගුත්‌තරනිකායොඛුද්‌දකපාඨ-ධම්‌මපද-උදාන-ඉතිවුත්‌තක-සුත්‌තනිපාත-විමානවත්‌ථු-පෙතවත්‌ථු-ථෙරගාථා-ථෙරීගාථා-ජාතකනිද්‌දෙස-පටිසම්‌භිදා-අපදාන-බුද්‌ධවංස-චරියාපිටකවසෙන පන්‌නරසප්‌පභෙදො ඛුද්‌දකනිකායොති ඉදං සුත්‌තන්‌තපිටකං නාම.    
                                                   ( සමන්තපාසාදිකා  අටුවාව. ග්‍රන්තාරම්භ කතාව .CSCD )

                    බ්‍රහ්මජාල සුත්‍රය ආදී කොට ඇති සූත්‍ර 34 දීඝ නිකාය නම් වේ. මූලපරියාය සූත්‍රය ආදීකොට ඇති සූත්‍ර 152 මජ්ඣිම නිකාය නම් වේ. ඕඝතරණ සූත්‍රය ආදී කොට ඇති සූත්‍ර 7762 සංයුත්ත නිකාය නම් වේ. චිත්තපරියාදාන සූත්‍රය ආදී කොට ඇති  සූත්‍ර 9557 සූත්‍ර අංගුත්තර නිකාය නම් වේ. ඛුද්දක පාඨ - ධම්මපද - උදාන - ඉතිවුත්තක - සුත්තනිපාත - විමානවත්ථු - පේතවත්ථු - ෙථ්රගාථා - ෙථ්රීගාථා - ජාතක - නිද්දේස - පටිසම්භිදා - අපදාන - බුද්ධවංස - චරියාපිටක ආදී කොට ඇති ග්‍රන්ථ 15 ඛුද්දක නිකාය නම් වේ. සූත්‍ර දේශනා සඳහා වෝහාර දේශනා යන නම භාවිතා කරයි. වෝහාර නම් ව්‍යවහාර ය යි. සම්මුතිය යි. මෙහිදී විශේෂයෙන් ව්‍යවහාරය තුල පිහිටා කරන දේශනා අඩංගුව ඇත. බොහෝවිට සත්ත්ව පුද්ගල සංඥාව තුල පිහිටා සූත්‍ර පිටකයට අඩංගු දේශනා සිදුකර ඇත. 

                අභිධම්ම පිටකය:-

        ධම්‌මසඞ්‌ගහොවිභඞ්‌ගොධාතුකථාපුග්‌ගලපඤ්‌ඤත්‌තිකථාවත්‌ථුයමකංපට්‌ඨානන්‌ති ඉදං අභිධම්‌මපිටකං නාම. 
                                     ( සමන්තපාසාදිකා  අටුවාව. ග්‍රන්තාරම්භ කතාව .CSCD )                          
      ධර්මසංගනීප්‍රකරණය - විභංගප්‍රකරණය - ධාතුකතා - පුද්ගලප්‍රඥප්ති - කතාවත්ථුප්‍රකරණය - යමකප්‍රකරණය - පට්ඨානප්‍රකරණය  යන සප්තප්‍රකරණයන් අභිධම්ම පිටකය නම් වේ.  කෙනට්ෙඨන අභිධම්මෝ ධම්මාතිරෙකාර්ථයෙන් ද ධර්මවිෂේශාර්තයෙන් ද අභිධර්මය නම් වේ. සම්මුතිය ඉක්මවා පරමාර්ථ ධර්මයන් තුල පිහිටා චිත්ත - චෛතසික - රුප - නිබ්බාන යන පරමාර්ථ ධර්මයෝ ඉතා ගාම්භීර ලෙස මෙහිදී විස්තර කර දී ඇත.
                             2.ප්‍රතිපත්ති ශාසනය 

                    ප්‍රතිපත්තිය නම් අනුගමනය කල යුතු ක්‍රියා පටිපාටිය යි. මෙහිදී විශේෂයෙන් විනය පිටකයේ එන ශික්ෂාපදයන් පිළිබඳව හා සූත්‍ර පිටකයේ එන දහම් කරුණු පිළිබඳව අවධානය යොමු කර තිබේ.
        
                3.ප්‍රතිවේධ ශාසනය
                
                    බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් අධිගමනය කල හැකි සෝවාන් - සකදාගාමී - අනාගාමී - අරහත්  යන ඵලයන්ට පත්වීමෙන් ලබන අධිගමනය යි.



    ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ.
    sudhamma_2009@yahoo.com





    No comments: