Powered By Blogger

Tuesday, February 7, 2012

      මුල් පරිච්ඡ්ද දෙකෙහිදී ම අප ඔබට කියාදුන්නේ ත්‍රිපිටකය පිළිබඳව හැදින්වීමක් සහ ධර්ම විනයට අනුව මුලා නොවී ධර්මය අධ්‍යනය කල යුතු ආකාරයත් ය. එසේම අප විසින් ඔබට ත්‍රිපිටකය අධ්‍යනය  කල යුතු , කියවිය යුතු ආකාරය නැතහොත් පිළිවෙල පිළිබඳවත් දැනුවත් කිරීමක් සිදු කළා. ඒ පිළිබඳව මේ වනවිට ඔබ ප්‍රමාණවත් දැනුමක ඇති කියා අප සිතනවා.මීට පෙර අප විසින් ඔබව දැනුවත් කළා ත්‍රිපිටකය කියවන අයෙකු එය ආරම්භ කලයුතු ආකාරය ගැන. දැන් අපි ඉගෙන ගන්න යන්නේ සූත්‍රයක් අධ්‍යනය කිරීමේදී අවධානය යොමු කළ යුතු මූලික අංගයන් පිළිබඳව යි. එහිදී පහත කරුණු පිළිබඳව ඔබ දැනුවත් විය යුතුයි.


1. සූත්‍රය හෝ අදාළ ධර්ම පරියාය කුමන ' පිටකයකට ' අයත් දැ යි සොයා බලන්න.
           සූත්‍ර පිටකයට හෝ විනය පිටකයට හෝ අභිධම්ම පිටකයට හෝ අයත් දැ යි බලන්න. නැතිනම් මෙම පිටකයන්ගෙන් ස්ථාන කිහිපයකට හෝ අයත් දැ යි සොයා බලන්න.
           උදා:-
                  මහා පරිනිබ්බාන සූත්‍රය - සූත්‍ර පිටකයට අයත් සූත්‍ර දේශනාවකි.
                  දම්සක්පවතුම් සූත්‍රය - සූත්‍ර පිටකයට හා විනය පිටකයට අයත් සූත්‍ර දේශනාවකි.
                  ධම්මහදය විභංගය - අභිධම්ම පිටකයට අයත් සූත්‍ර දේශනාවකි.

2. සූත්‍රය හෝ අදාළ ධර්ම පරියාය කවර ' නිකායකට' හෝ ' පාලියකට ' හෝ ' ප්‍රකරණයකට ' අයත් දැ යි සොයා බලන්න.
           නිකාය වශයෙන් ගනු ලබන්නේ සූත්‍ර පිටකයෙහි එන දේශනාවන් ය. පාලියක් වශයෙන් ගනු ලබන්නේ විනය පිටකයෙහි එන දේශනාවන් ය. ප්‍රකරණයක් වශයෙන් ගනු ලබන්නේ අභිධම්ම පිටකයෙහි එන දේශනාවන් ය. මෙම ස්ථානයන්ගෙන් කවර නම් ස්ථානයකට අයත් දැ යි සොයා බලන්න.
          උදා:-
                 මහා පරිනිබ්බාන සූත්‍රය - දීඝ නිකායට අයත් සූත්‍ර දේශනාවකි.
                 දම්සක් පැවතුම් සූත්‍රය - සංයුත්ත නිකායට හා මහාවග්ග පාලියට අයත් සූත්‍ර දේශනාවකි.
                 ධම්මහදය විභංගය - විභංගප්‍රකරණයට අයත් දේශනාවකි.

3. නිකායන් අනුව අධ්‍යනය කිරීමේදී කුඩා , අනු කුඩා කොටස් වලට වර්ගීකරණය කර අධ්‍යනය කල යුතුය.
                      සූත්‍ර පිටකය අධ්‍යනය කිරීමේදී නිපාතය , පණ්ණාසකය , සංයුත්තය , වර්ගය , නිද්දේසය , කතාව , නිදානය ........ ආදී කරුණු පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත යුතුය. විනය පිටකය අධ්‍යනය කිරීමේදී කාණ්ඩය , ශික්ෂාපදය , වස්තුව , ආපත්තිය , අනාපත්තිය , ආපත්ති - අනාපත්ති තරම හා පිළියම ...... ආදී කරුණු පිලිබදව මනා අවබෝධයක් ලබා ගත යුතුය. අභිධම්ම පිටකය අධ්‍යනය කිරීමේදී මාතිකා , කාණ්ඩය , විභංගය , පට්ඨානය , උද්දෙසය , නිද්දේසය ......... ආදී කරුණු පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත යුතුය.
              උදා:-
                     මහා පරිනිබ්බාන සූත්‍රය - සූත්‍ර පිටකයට අයත් ය. දීඝ නිකායෙහි  මහා වර්ගයට අයත් ( 02 පොත ) 03 වන සූත්‍රය යි.  
                     දම්සක්පවතුම් සූත්‍රය - සූත්‍ර පිටකයට අයත් ය. සංයුත්ත නිකායෙහි මහා වර්ගයට අයත් ( 05-2 පොත ) සච්ච සංයුත්තයෙහි එන ධම්මචක්කපවත්තන වර්ගයේ පළමු වන සූත්‍ර දේශනාව යි. මෙයම විනය පිටකයෙහි මහාවග්ග පාලියෙහි 01 ග්‍රන්ථය තුල යසකුලපුත්‍රයාගේ පැවිද්ද හා සම්භන්ධව ද හමුවේ.
                     ධම්මහදය විභංගය - අභිධම්ම පිටකයට අයත් ය. විභංගප්‍රකරණය - 02 වන ග්‍රන්ථයට අයත් ය. 18 වන පරිච්ෙඡ්දය යි.


4. මීලගට ඔබ අදාළ සූත්‍ර ධර්මයේ නම සැදී ඇති ආකාරය පිළිබඳව  ( මෙය විශේෂයෙන් සූත්‍ර පිටකය හා අදාළ වන කරුණකි )  අධ්‍යනය කල යුතුය. 

               බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනලද සියලුම සූත්‍ර දේශනා අධ්‍යනය කිරීමේදී , එම සූත්‍ර ධර්මයන්ට අදාළ නාමයන් ලබා දීමට යම් අනුපිළිවෙලක් භාවිතා කර ඇති ආකාරයක් දකින්නට ඇත. එහිදී ප්‍රධාන අංගයන් 5 කට අනුව කටයුතු කර ඇතිබව අටුවා ධර්ම ග්‍රන්ථ වල සඳහන් වේ. එනම් ,
  • දේස
  • දේසක
  • පටිග්ගාහක
  • අර්ථ 
  • ගුණ 
                    යන අංගයන් ය.

දේස :-
          මෙහිදී අදාළ ධර්ම දේශනාව සිදුකරන ලද ස්ථානයේ , භූමියේ , ප්‍රදේශයේ , රටේ..... නාමය යොදාගෙන ඇත. උදාහරණ ලෙස කාලකාරාම දේශයේදී කරන ලද දේශනාව කාලකාරාම සූත්‍රය ලෙසත් , අන්ධකවින්ද ප්‍රදේශයේදී කරන ලද දේශනාව අන්ධකවින්ද සූත්‍ර දේශනාව ලෙසත් නම් කර ඇත.
දේශක :-
          විශේෂයෙන් මෙහිදී බුදුරජාණන් වහන්සේට අමතරව වෙනත් ශ්‍රාවකයකු විසින් යම් සූත්‍ර දේශනාවක් සිදුකර ඇත්නම් එම දේශකයන් වහන්සේගේ නම ඒ සඳහා භාවිතා කර ඇත. උදාහරණ ලෙස කච්චාන මහරහතන් වහන්සේ විසින් කරන ලද දේශනාව කච්චාන භද්දේකරත්න  සූත්‍රය ලෙස නම් කර ඇත. බුදුරජාණන් වහන්සේගේ නිත්‍ය උපස්ථායකයන් වහන්සේ වන ආනන්ද මහා තෙරුන් වහන්සේ විසින් කරන ලද දේශනා බොහෝමයක් ආනන්ද සූත්‍රය යන නාමයෙන් හඳුන්වා ඇත. උපසේන මහා තෙරුන් වහන්සේ විසින් කරන ලද දේශනා උපසේන සූත්‍රය ලෙස නම් කර ඇත. 
පටිග්ගාහක :- 
           පටිග්ගාහක නම් දේශනා කරනු ලබන සූත්‍ර දේශනාව අසනු ලබන තැනැත්තා ය. උදාහරණ ලෙස සිගාලෝවාද සූත්‍රය , මහානාම සූත්‍රය , අම්බට්ඨ සූත්‍රය , සච්චක සූත්‍රය ..... ආදී සූත්‍ර දේශනා ගත හැක.
අර්ථ :-
           අදාළ සූත්‍ර දේශනාවට අදාළ යම් කිසි අර්ථයක් වෙත් ද එම අර්ථයට ගැලපෙන පරිද්දෙන් සූත්‍ර දේශනාව නම් කර ඇත. උදාහරණ ලෙස මහා මංගල සූත්‍රය , කරණීය මෙත්ත සූත්‍රය , මහා පරිනිබ්බාන සූත්‍රය .... ආදී සූත්‍ර පෙන්වාදිය හැක.
ගුණ :-
           ගුණ නම් සූත්‍ර දේශනාව තුල අන්තර්ගත වන කරුණු වලට අනුව අදාළ සූත්‍ර දේශනාවට නම් ලබා දීමයි. උදාහරණ ලෙස මධුපිණ්ඩික සූත්‍ර දේශනාව ගත හැක.
                                              ( සුත්ත සංගහට්ඨ කතාව. 01 පිටුව. )

5. අදාළ සූත්‍ර ධර්මය කවර ස්ථානයකදී , කවරෙකු උදෙසා , කවරනම් අරමුණක් අරභයා කරන ලද සූත්‍ර දේශනාවක් දැ යි අධ්‍යනය කල යුතුය.

6. පසුව එම සූත්‍ර ධර්මය පෙර අප විසින් කියාදී ඇති ආකාරයට ධර්ම විනයට ගලපා සසදා බැලිය යුතු ය.




ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ.
sudhamma_2009@yahoo.com

No comments: