Powered By Blogger

Saturday, February 25, 2012

                අප්පස්සුත සූත්‍රය. 
                                   ( අං:නි - චතුක්ක නිපාතය - 4.1.1.6. 2550 බු.ජ.ත්‍රි.පිටුව - 15 / 16 )

චත්තාරෝ'මේ  භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. කතමේ චත්තාරෝ ? 
1.අප්පස්සුතෝ සුතේන අනුප්පන්නෝ .
2.අප්පස්සුතෝ සුතේන උපපන්නෝ.
3.බහුස්සුතෝ සුතේන අනුප්පන්නෝ.
4.බහුස්සුතෝ සුතේන උපපන්නෝ.

          මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යාමාන වෙති. කවර සතර දෙනෙක් ද යත් :
1.ශ්‍රුැතයෙන් සිද්ධිප්‍රාප්ත නොවූ අල්පශ්‍රුැත තැනැත්තා.
2.ශ්‍රුැතයෙන් සිද්ධිප්‍රාප්ත වූ අල්පශ්‍රුැත තැනැත්තා.
3.ශ්‍රුැතයෙන් සිද්ධිප්‍රාප්ත නොවූ බහුශ්‍රුැත තැනැත්තා.
4.ශ්‍රුතයෙන් සිද්ධිප්‍රාප්ත වූ බහුශ්‍රුැත තැනැත්තා.

           මෙම සූත්‍ර ධර්මයෙන් සාකච්ඡා කරනු ලබන්නේ , ධර්මය පිළිබඳව අසා දැනගත් බව පිළිබඳව හා එම අසා දැනගත් ධර්මයෙහි අරුත් විමසීම පිළිබඳව දක්ෂ අදක්ෂ බව පිළිබඳව ය. එසේම එම ධර්මය දැන ඉගෙනගෙන එම ධර්මය තම තමන් කෙසේ පුරුදු පුහුණු කරන්නේ ද යන කාරණය පිළිබඳව ය. එසේ එම කාරණා මුලික කරගෙන සත්ත්ව ලෝකයේ වාසය කරනු ලබන සියලුම සත්ත්වයෝ ප්‍රධාන ආකාර සතරකට බෙදා වෙන්කර දක්වා තිබේ. ඒ බෙදා දැක්වීම ඉහත අප ඔබට දක්වා ඇත. 

ශ්‍රුතයෙන් සිද්ධිප්‍රාප්ත නොවූ අල්පශ්‍රුත තැනැත්තා.

           මේ සසුනෙහි යම් කිසි තැනැත්තෙක් සුත්ත - ගෙය්‍ය - වෙය්යාකරණ - ගාථා - උදාන - ඉතිවුත්තක - ජාතක - අබ්භූතධම්ම -වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය මදක් අසන ලද්දේ වෙයි. ඔහු එසේ අසන ලද මද වූ ධර්මයෙහි අර්ථය නො දනී. බුද්ධ භාෂිතය නො දැන ධම්මානුධම්ම සංඛ්‍යාත පූර්වභාග ප්‍රතිපදාවට බැස නො ගනී.
           මොහුගේ මූලික ස්වරූපය වන්නේ ධර්මය පිළිබඳව තමන් තුල පවත්නා දැනුම අවම මට්ටමක පැවතීම යි. ධර්මය දැන ඉගෙන ගත්තත් ඒ දැනුම ප්‍රමාණවත් මෙන්ම නිවැරදි මිනුම් දණ්ඩක් සේ භාවිතා කිරීමට තරම් දක්ෂ බවක් ඔහු තුල දක්නට නොමැත. එසේම ඔහු කෙරෙහි දක්නට ලැබෙන මීලග ස්වභාවය වන්නේ එසේ දැනගත් ධර්මය ලෞකික ලෝකෝත්තර සම්පත් ලබා ගැනීම පිණිස භාවිතා කිරීමට නො දන්නා බවයි. මේ නිසා ධර්මය මදක් අසන ලද එසේම ධර්මයෙහි හැසිරීමෙහි නො දන්නා තැනැත්තෙකු බවට ඔහු පත් වේ. 

ශ්‍රුතයෙන් සිද්ධිප්‍රාප්ත වූ අල්පශ්‍රුත තැනැත්තා.

           මේ සසුනෙහි යම්කිසි තැනැත්තෙක් සුත්ත - ගෙය්‍ය - වෙය්යාකරණ - ගාථා - උදාන - ඉතිවුත්තක - ජාතක - අබ්භූතධම්ම -වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය මදක් අසන ලද්දේ වෙයි. ඔහු එසේ අසන ලද මද වූ ධර්මයෙහි අර්ථය දනී. බුද්ධ භාෂිතය දැන ධම්මානුධම්ම සංඛ්‍යාත පූර්වභාග ප්‍රතිපදාවට බැස ගනී.
           මොහුගේ මුලික ස්වරූපය වන්නේ ධර්මය පිළිබඳව තමන් තුල පවත්නා දැනුම අවම මට්ටමක පැවතීම යි. ධර්මය දැන ඉගෙන ගත්තත් ඒ දැනුම ප්‍රමාණවත් මෙන්ම නිවැරදි මිනුම් දණ්ඩක් සේ භාවිතා කිරීමට තරම් දක්ෂ බවක් ඔහු තුල සමත් බවක් ඇත. නමුත් ඔහු දන්නා වූ එම ධර්ම කොට්ඨාසය ලෞකික ලෝකෝත්තර සම්පත් ලබා ගැනීම පිණිස භාවිතා කරයි. මේ නිසා ධර්මය මදක් අසන ලද එනමුත් ධර්මයෙහි හැසිරෙන පුද්ගලයෙකු බවට ඔහු පත් වේ.

ශ්‍රුතයෙන් සිද්ධිප්‍රාප්ත නොවූ බහුශ්‍රුත තැනැත්තා.  

             මේ සසුනෙහි යම්කිසි තැනැත්තෙක් සුත්ත - ගෙය්‍ය - වෙය්යාකරණ - ගාථා - උදාන - ඉතිවුත්තක - ජාතක - අබ්භූතධම්ම -වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය බොහෝ සේ අසන ලද්දේ වේ. ඔහු එසේ අසන ලද බොහෝ වූ ධර්මයෙහි අර්ථය නොදනී. බුද්ධ භාෂිතය නොදැන ධම්මානුධම්ම සංඛ්‍යාත පූර්වභාග ප්‍රතිපදාවට බැස නොගනී.
     මොහුගේ මූලික ස්වරූපය වන්නේ ධර්මය පිළිබඳව තමන් තුල පවත්නා දැනුම ඉතා ඉහල මට්ටමක පැවතීම යි. ධර්මය දැන ඉගෙන ගත් ඒ දැනුම ප්‍රමාණවත් මෙන්ම නිවැරදි මිනුම් දණ්ඩක් සේ භාවිතා කිරීමට තරම් දක්ෂ බවක් ඔහු තුල දක්නට ඇත. එසේම ඔහු කෙරෙහි දක්නට ලැබෙන මීලග ස්වභාවය වන්නේ එසේ දැනගත් ධර්මය ලෞකික ලෝකෝත්තර සම්පත් ලබා ගැනීම පිණිස භාවිතා කිරීමට නො දන්නා බවයි. මේ නිසා ධර්මය බොහෝ සේ අසන ලද එසේම ධර්මයෙහි හැසිරීමෙහි නො දන්නා තැනැත්තෙකු බවට ඔහු පත් වේ. 

ශ්‍රුතයෙන් සිද්ධිප්‍රාප්ත වූ බහුශ්‍රුැත තැනැත්තා.

              මේ සසුනෙහි යම්කිසි තැනැත්තෙක් සුත්ත - ගෙය්‍ය - වෙය්යාකරණ - ගාථා - උදාන - ඉතිවුත්තක - ජාතක - අබ්භූතධම්ම -වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය බොහෝ සේ අසන ලද්දේ වේ. ඔහු එසේ අසන ලද බොහෝ වූ ධර්මයෙහි අර්ථය දනී.බුද්ධ භාෂිතය දැන ධම්මානුධම්ම සංඛ්‍යාත පූර්වභාග ප්‍රතිපදාවට බැස ගනී. 
                මොහුගේ මූලික ස්වරූපය වන්නේ ධර්මය පිළිබඳව තමන් තුල පවත්නා දැනුම ඉතා ඉහල මට්ටමක පැවතීම යි. ධර්මය දැන ඉගෙන ගත් ඒ දැනුම ප්‍රමාණවත් මෙන්ම නිවැරදි මිනුම් දණ්ඩක් සේ භාවිතා කිරීමට තරම් දක්ෂ බවක් ඔහු තුල දක්නට ඇත. එසේම ඔහු කෙරෙහි දක්නට ලැබෙන මීලග ස්වභාවය වන්නේ එසේ දැනගත් ධර්මය ලෞකික ලෝකෝත්තර සම්පත් ලබා ගැනීම පිණිස භාවිතා කිරීමට දන්නා බවයි. මේ නිසා ධර්මය බොහෝ සේ අසන ලද එසේම ධර්මයෙහි හැසිරීමෙහි දන්නා තැනැත්තෙකු බවට ඔහු පත් වේ. 
බුදුරජාණන් වහන්සේ විසින් පසුව මෙසේ ද දේශනා කරන ලදී.......

          '' ඉදින් යමෙකුගේ සුතමය ඥානය අල්ප වේ ද , පරිපූර්ණ වූ සීලයක් නො රකින්නෙකු ද වන්නේ ද , මෙමෙ කරුණු දෙකෙන්ම ඔහු ගැරහීමට ලක් වේ. 
           ඉදින් යමෙකුගේ සුතමය ඥානය අල්ප වේ ද , පරිපූර්ණ වූ සීලයක් රකින්නෙකු ද වන්නේ ද , සීලය හේතුවෙන් ඔහු ප්‍රසංසාවට පත් වේ. ධර්මය බොහෝ සේ නොඇසූ බැවින් ගැරහීමට පත් වේ.
           ඉදින් යමෙක් බොහෝ සේ ධර්මය ඇසූ තැනැත්තෙකු වේ ද , පරිපූර්ණ වූ සීලයක් නො රකින්නෙකු ද වන්නේ ද , ඔහු සීලය හේතුවෙන් ගැරහීමට පත් වේ. ධර්මය බොහෝ සේ ඇසූ බැවින් ප්‍රසංසාවට පත් වේ.
           ඉදින් යමෙකු බොහෝ සේ ධර්මය ඇසූ තැනැත්තෙකු ද වේ ද , පරිපූර්ණ වූ සීලයක් රකින්නෙකුද වන්නේ ද , සීලය හා ධර්මය ඇසූ බැවින් දෙකරුණින්ම ඔහු ප්‍රසංසාවට පත් වේ.
ධර්මය බොහෝ සේ ඇසූ , අසන ලද ධර්මයන්ට ආධාර වූ මනා වූ ප්‍රඥාවෙන් යුක්ත වූ ඒ බුද්ධ ශ්‍රාවකයා හට නිග්‍රහ කරන්නට කවර නම් තැනැත්තෙකු නම් සමත් වේ ද ? ඔහු දෙවියන්ගේ පවා ප්‍රසංසාවට පත් වේ. බ්‍රහ්මයා විසින් ද ඔහු ප්‍රසංසාවට ලක් කරනු ලැබේ.''

පූර්වභාග ප්‍රතිපදාව යනු......

            පූර්වභාග ප්‍රතිපදාව යනු ආර්ය මාර්ගයට පිවිසෙනු කැමති යම් තැනැත්තෙකු විසින් අනුගමනය කල යුතු පූර්ව ප්‍රතිපදාවයි. මෙය ආර්ය මාර්ගයට පිවිසීම යැ යි වරදවා නොගත යුතුය. ආර්ය මාර්ගයට පිවිසීම නම් සෝතාපන්න ඵල ඥානයට පත් වීමයි. යමෙකු ආර්ය ශ්‍රාවකයෙකු බවට පත් වන්නේ එවිටය. දානාදී පින්කම් වල යෙදෙමින් , සීලාදී ගුණ ධර්ම වර්ධනය කරමින් , සමථ විදර්ශනා භාවනාවන් පුරුදු පුහුණු වෙමින් , ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කිරීමයි.එනම් අපණ්නක ප්‍රතිපදාවට අනුව කටයුතු කිරීමයි.එසේ කටයුතු කරනු ලබන තැනැත්තාට සෝතාපන්න මාර්ගය වැඩීම පිණිස අවතීර්ණ විය හැකිය.




ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ.

sudhamma_2009@yahoo.com

No comments: