Monday, April 30, 2012



පොසොන් පොහොයෙහි වැදගත්කම .


                                     සමණාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා
                                      තමේව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා

‘ මහරජ , ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ අප බෞද්ධ ශ්‍රමණයන්ය . ඔබට අනුකම්පා පිණිස ජම්බුද්වීපයෙන් මෙහි පැමිණියෙමු.’

මෙම ප්‍රකාශය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් සිදු කරන ලද කරුණාබර වූ දේශනාවයි. ශ්‍රී ලංකාවාසී සමස්ථ වැසියන් කෙරෙහි මහත් අනුකම්පාවෙන් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් මෙම ප්‍රකාශය සිදු කරන ලදී. පෙර බුදු බවට පත් වූ කකුසඳ , කෝණාගම , කාශ්‍යප යන ත්‍රිවිධ බුදුවරයන් වහන්සේලා ලක්දිවට වැඩම කල ස්ථානය වන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ද වැඩම කල අනුරපුරේ මිස්සක පර්වතය යි. මුටසීව රජුගේ පුතු වූ දේවානම් පියතිස්ස මහා නිරිදාණන් රාජ්ජ්‍ය කරන කාලයෙහිදී මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය නැවතත් රැගෙන දඹදිව වෙදිසා නුවර සිට ඉට්ඨිය,උත්තිය,සම්බල,භද්දසාල යන භික්ෂූන් ද සුමන සාමණේර ද භණ්ඩුක නම අනාගාමී උපාසකයා ද සමග  පැමිණියහ. මෙහි විශේෂත්වය වන්නේ ලංකා ඉතිහාසය තුල මහරහතන් වහන්සේ කෙනෙකුන් විසින් සිදු කල පැරණිම බුද්ධි පරීක්ෂණය සිදු කිරීමයි. ඒ   මිහිඳු  මහරහතන් වහන්සේ හා දේවානම්පියතිස්ස රජු අතර ඇති වූ අලංකාරවත් උපමා උපමෙයයන්ගෙන් යුක්ත වූ ‘අඹ ප්‍රශ්නය’ යි.  

මෙසේ රජතුමාගේ නුවණ පරීක්ෂාකර බැලූ උන්වහන්සේ රජ ඇතුළු රටවාසීන් මෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම ගැනීම සඳහා අවශ්‍ය බුද්ධියක් ඇති පිරිසක් බව වටහා ගත්තේ ය. පසුව රජු ඇතුළු පිරිසට චුල්ලහත්ථිපදොපම සූත්‍රය ,පෙත වත්ථු , විමාන වත්ථු ,සච්ච සංයුක්තයෙහි එන සුත්‍ර දේශනා , දේවදූත සුත්‍රය , බාල පණ්ඩිත සුත්‍රය , ආසිවිසෝපම සුත්‍රය , අනමතග්ගිය සුත්‍රය , ධම්මචක්කප්පවත්තන ආදී සුත්‍ර දේශනාවන්ගෙන් ධර්මය දේශනා කල සේක. මෙහිදී ලංකාද්වීපයේ ප්‍රථම ආරාම පූජාව වන මහමෙවුනා උයන පූජා කිරීමත් , මහා විහාර සම්ප්‍රදාය ආරම්භවීමත් සිදුවිය. පසුව මිහිඳු මහරහතන් වහන්සේ සමන් මල පූජා කිරීමෙන් අටමස්ථානය , සීමා මාලකය , ඡන්තාගාර පොකුණ , ජය ශ්‍රී මහා බොධිය , ලෝවාමහාපාය , රුවන්වැලි මහා සෑය , තිස්සමහාරාමය , ථූපාරාමය , මිරිසවැටිය , ඉසුරුමුණිය ආදී පූජනීය ස්ථානයන් පිහිටුවන ස්ථානයන් සලකුණු කර ඒ ඒ තැන් වල ශිලා හා රන් , තඹ පත් නිධන් කරන ලදී.

මිහිඳු හිමියන් රටට ඉගැන්වූ මෙම නව ධර්ම මාර්ගය අන්තගාමී නොවූ අර්ථාන්විත අවිහිංසා මාර්ගයක් වූ අතර මහා සඟ රුවනෙහි පිළිවෙත්  හා ඉගැන්වීම් නිසා රට තව තවත් දැහැමි විය. එසේම ලංකාවේ ප්‍රථම පැවිදි උපසම්පදාව වන භණ්ඩුක කුමාරයාගේ පැවිදි උපසම්පදාව ද  සුමන සාමණේරයන් වහන්සේ විසින් මිහිඳු හිමියන්ගේ ආරාධනාවෙන් කරන ලද ‘ ධම්මස්සවණ කාලෝ අයං භදන්තා ....’ යන ධර්ම ඝෝෂාව සමස්ථ ලංකාවටම ඇසීම ද සක්වල සියලු දෙවියන්ගේ රැස්වීම ද සමචිත්තපරියාය සුත්‍ර දේශනාව ද මෙහිදී දේශනා කරන ලදී.

මෙසේ විවිධ වූ ශාසනික වූත් රාජ්ජ්‍ය තාන්ත්‍රික වූත් ඓතිහාසික කරුණු රැසක පොසොන් මස සිදු වූ අතර එම සියලු කරුණු මෙම පොසොන් පුර පසළොස්වක පොහෝ දින සිහිපත් කරනු ලබයි. මෙසේ මෙම කාල පරාසය තුල අනන්ත සංඛ්‍යාත ශ්‍රද්ධාවන්ත පින්වතුන් සසර දුකින් එතෙර වනු පිණිස බොහෝ පින් කුසල් දහම් රැස් කර ගත්හ.

තෙරුවන් සරණයි !


ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ.
sudhamma_2009@yahoo.com


         

Saturday, April 21, 2012





තමෝ තම පරායන සුත්‍ර දේශනාව



චත්තාරෝ මේ භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. කතමේ චත්තාරෝතමෝ තම පරායනෝ තමෝ ජෝති පරායනෝ ජෝති තම පරායනෝ ජෝති ජෝති පරායනෝති .

මහණෙනි මෙලොව පුද්ගලයෝ සතර දෙනෙක් දක්නට ලැබෙති.කවර සතර දෙනෙක් ද යත් ?

1.   අඳුරෙන් අඳුරට යන පුද්ගලයා 
2.   අඳුරෙන් ආලෝකයට යන පුද්ගලයා
3.   ආලෝකයෙන් අඳුරට යන පුද්ගලයා
4.   ආලෝකයෙන් ආලෝකයට යන පුද්ගලයා


මෙම සුත්‍ර දේශනාව පසේනදී කොසොල් රජතුමා අරභයා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී. බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ප්‍රධාන වශයෙන් විනය පිටකය සුත්‍ර පිටකය හා අභිධම්ම පිටකය යනුවෙන් පිටකත්‍රයකට බෙදා වෙන්කර ඇත. බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම කොට්ඨාසය ස්ඛන්ධ වශයෙන් 82000 ක් වෙති.  විවිධ මහරහත්  රහතන් වහන්සේලා විසින් දේශනා කරන ලද ධර්ම කොට්ඨාසය ස්ඛන්ධ වශයෙන් 2000 ක් පමණ වෙති.  සියල්ල ස්ඛන්ධ වශයෙන් 84000 වෙති. සමස්ථ ධර්ම කොට්ඨාසයෙන් සතරෙන් එකක් විනය පිටකයට ද තවත් සතරෙන් එකක් සුත්‍ර පිටකයට ද ඉතිරි කොටස අභිධම්ම පිටකයට ද අයත් වෙතිඑසේ ගත්විට සූත්‍ර පිටකයට අයත් සුත්‍ර සංඛ්‍යාව ආසන්න වශයෙන් 21000 පමණ වෙති .  ප්‍රථම ධර්ම සංඝායනාවෙහිදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් විනයධර භික්ෂූන් අතර අග තැන්පත් වූ උපාලි මහරහතන් වහන්සේ හා ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ ඇතුළු තෝරාගත් 500 මහරහතන් වහන්සේලා සමග කරන ලද පංචසතික නම් ප්‍රථම ධර්ම සංඝායනාවෙහිදී මෙම පර්යාප්ති ධර්මය කොට්ඨාස තුනකට බෙදා දක්වන ලදී .  එසේ බෙදා දැක්වීමේදී අකුරු 8 ක් පදයකි .  පද සතරක් ගාථාවකිගාථාවකට අකුරු 32 කි .ගාථාවක් යනු ග්‍රන්ථයකිග්‍රන්ථ 250 ක් බණවරකි .  බණවරකට අකුරු 8000 කි......   සුත්‍ර දේශනා වල අඩංගුවන ධර්ම කාරණා අනුව බෙදා දක්වන්නේ නැතුව සුත්‍ර දේශනාවේ දිග අනුව බෙදා දක්වා තිබේ . එසේ බෙදා දැක්වීමේ දී සුත්‍රයේ ප්‍රමාණයෙන් දිගම සුත්‍ර දේශනා 34 ක් හමු වූ අතර එය දීඝ නිකාය  යනුවෙන් නම් කරන ලදී . මධ්‍යම ප්‍රමාණයේ සුත්‍ර 152 මජ්ඣිම නිකාය යනුවෙන් ද කෙටි සුත්‍ර සංයුක්ත නිකාය වශයෙන් 7762 ක් ද සුත්‍රයක් තුල අඩංගු ධර්ම කාරණා වැඩිවන පිළිවෙලට සුත්‍ර 9952 ක් සුත්‍ර අංගුත්තර නිකාය වශයෙන් ද සෙසු කොට්ඨාසය ඛුද්දක නිකාය ලෙසින් ද ගන්න ලදීඑය ධර්ම ග්‍රන්ථ 15 කි.  සංයුක්ත නිකාය ප්‍රධාන වශයෙන් කොටස් 05 කට බෙදා ඇත. සගාථ නිදාන ඛන්ධක සළායතන මහා වර්ගය යනුවෙන් වර්ග කර ඇත . බණවර 100 කි .එහි සගාථ වර්ගයට අයත් කෝසල සංයුක්තයේ එන ප්‍රථම සුත්‍ර දේශනාව  '' තමෝ තම පරායන '' සුත්‍ර දේශනාවයි.

මෙම සුත්‍ර දේශනාවෙහිදී බුදු රජාණන් වහන්සේ විසින් සම්මුති ධර්මයන් තුල පිහිටා සියලුම ලෝක සත්ත්වයා කොටස් 4 කට බෙදා දක්වා තිබේ. 

1. තමෝ තම පරායන පුද්ගලයා.

  තමෝ තම පරායන පුද්ගලයා නම් අඳුරෙන් අඳුරට යන පුද්ගලයා ය. මෙහි අඳුර යනු හිරු සඳු යන දෙදෙනාගේ හෝ වෙනත්යම් කිසි කෘතීම ආලෝකයක්  නොමැති අන්ධකාර ස්වභාවයකින් අන්ධකාර ස්වභාවයකට යාම නොවේ . මෙහි අඳුර යනු දුක උරුම කොට පැවැත්ම යිඑනම් මෙලොව යම් කිසි තැනැත්තෙක් ඉතා දුක සේ ආහාරපාන ඉදුම් හිටුම් වස්ත්‍රාභරණ හා බෙහෙත් හේත් ආදිය ලබන තැනැත්තෙක් වෙයිමුලික මනුෂ්‍ය   උවමනාවන්  හරි හැටි ලබා ගැනීම ඔහුට ඉතාමත් දුෂ්කර කටයුත්තක් වෙයි .  මෙසේ දුක සේ තම ජීවිතය ගත කරන ඔහු ඉතා පහත ය යි සම්මතයෙහි පවත්නා සැඩොල් කුලයක හෝ වැදි කුලයක හෝ කසල ශෝදක කුලයක උත්පත්තිය ලබයිසමාජය තුල ඔහු නිරන්තරයෙන්ම කොන් කරන ලද පුද්ගලයෙකු වෙයිහින ය යි සම්මත කොට දුක් සහිත දිවි පැවතුම් ඇත්තෙකු බවට පත් වෙයිරුප සම්පත්තියෙන් ද හෙතෙම අවමානයට පාත්‍ර වූ තැනැත්තෙකු වෙයිඅවලස්සන රූපයකට හිමිකම් කීම බොහෝවිට මොහුගේ ලක්ෂණය යිබොහෝ දෙනා දකින්නට පවා අකමැති ආකාරයේ රුපයකින් යුක්ත අයෙකු වේ. 

එසේම ඔහු ලෝකය තුල යම් සැපතක් ය යි සම්මත පංචකාමයක් වෙත් ද එම    පංචකාමයන් ලබා ගැනීම පිණිස සිත - කය - වචනය යන තුන් දොර මෙහෙයවා විවිධ වූ පාපයන් / අකුසලයන් සිදු කරන්නා වූ පුද්ගලයෙකු වේ. එසේ සිත - කය - වචනය යන තුන්දොරින් අකුසල් සිදු කොට මරණින් මතු දුකින් යුක්ත වූ විවසව පතිත වන්නාවූ සතර අපාය ආදී නපුරු ස්ථානයන්හි උපත ලබයි. මෙසේ දුකට පත්ව නැවතත් භයංකර වූ තවත් දුකකට පත්වන පුද්ගලයෙකු බවට පත් වේ.

2. තමෝ ජෝති පරායන පුද්ගලයා.

තමෝ ජෝති පරායන පුද්ගලයා නම් අඳුරෙන් ආලෝකයට යන පුද්ගලයා ය. එනම් මෙලොව යම්කිසි තැනැත්තෙක් ඉතා දුක සේ ආහාරපාන - ඉදුම් හිටුම් - වස්ත්‍රාභරණ හා බෙහෙත් හේත් ආදිය ලබන තැනැත්තෙක් වෙයි. මුලික මනුෂ්‍ය අවශ්‍යතාවත්  හරි හැටි ලබා ගැනීම ඔහුට ඉතාමත් දුෂ්කර කටයුත්තක් වෙයි. මෙසේ දුක සේ තම ජීවිතය ගත කරන ඔහු ඉතා පහත් ය යි සම්මතයෙහි පවත්නා සැඩොල් කුලයක හෝ වැදි කුලයක හෝ කසල ශෝදක කුලයක උත්පත්තිය ලබයි. සමාජය තුල ඔහු නිරන්තරයෙන්ම කොන් කරන ලද පුද්ගලයෙකු වෙයි. හින ය යි සම්මත කොට දුක් සහිත දිවි පැවතුම් ඇත්තෙකු බවට පත් වෙයි. රුප සම්පත්තියෙන් ද හෙතෙම අවමානයට පාත්‍ර වූ තැනැත්තෙකු වෙයි. අවලස්සන රූපයකට හිමිකම් කීම බොහෝවිට මොහුගේ ලක්ෂණය යි. බොහෝ දෙනා දකින්නට පවා අකමැති ආකාරයේ රුපයකින් යුක්ත අයෙකු වේ.

ඉතා දුකසේ තම ජීවිකාව ගතකරන ඔහු එනමුත් දුකසේ නමුත් තමා සන්තක දෙයින් දන් දෙයි. දන් දීම පිණිස තම සිත තුල නිරන්තර කැමැත්ත ඇතිකර ගනී. එහි යහපත් බවම කියයි. අගය කරයි. නැවත නැවත එහි සමාදන් වීම හෝ ගුණ කීම සිදු කරයි. සීලාදී ගුණධර්ම ආරක්ෂා කරයි. සීලාදී ගුණධර්ම ආරක්ෂා කිරීම පිණිස නිරන්තර කැමැත්ත ඇතිකර ගනී.  එහි යහපත් බවම කියයි. අගය කරයි. නැවත නැවත එහි සමාදන් වීම හෝ ගුණ කීම සිදු කරයි. නිතර නිතර භාවනාමය කටයුතු සිදු කිරීම පිණිස  තම සිත තුල නිරන්තර කැමැත්ත ඇතිකර ගනී. එහි යහපත් බවම කියයි. අගය කරයි. නැවත නැවත එහි සමාදන් වීම හෝ ගුණ කීම සිදු කරයි. මෙසේ දුක සේ නමුත් තමන්ට හැකි පරිද්දෙන්  පින් / කුසල් සිදු කොට සැපයෙන් යුක්ත වූ ස්වර්ග සම්පත් ලබන්නෙකු බවට පත් වේ.  

3. ජෝති තම පරායන පුද්ගලයා.

ජෝති තම පරායන පුද්ගලයා නම්  ආලෝකයෙන් අඳුරට  යන පුද්ගලයා ය. එනම් මෙලොව යම්කිසි තැනැත්තෙක් පොහොසත් මහත් ධනය ඇති -  ආහාරපාන - ඉදුම් හිටුම් - වස්ත්‍රාභරණ හා බෙහෙත් හේත් ආදිය සුලභව ලබන තැනැත්තෙක් වෙයි. මහත් භව භෝග සම්පත් ඇති - බොහෝ රන් රිදී ඇති - බොහෝ දේපල ඇති - ධන ධාන්‍ය ඇති මහාසාර කුලයක හෝ උපදී. ඔහු සුරූපී දැකුම්කලු පහදින්නා වූ උතුම් වූ රුප සම්පත්තියකින් යුක්ත වූ තැනැත්තෙකු වේ.

එසේම ඔහු ලෝකය තුල යම් සැපතක් ය යි සම්මත පංචකාමයක් වෙත් ද එම පංචකාමයන් තව තවත් ලබා ගැනීම පිණිස සිත - කය - වචනය යන තුන් දොර මෙහෙයවා විවිධ වූ පාපයන් / අකුසලයන් සිදු කරන්නා වූ පුද්ගලයෙකු වේ. එසේ සිත - කය - වචනය යන තුන්දොරින් අකුසල් සිදු කොට මරණින් මතු දුකින් යුක්ත වූ විවසව පතිත වන්නාවූ සතර අපාය ආදී නපුරු ස්ථානයන්හි උපත ලබයි. මෙසේ සැපට  පත්ව නැවතත් භයංකර වූ තවත් දුකකට පත්වන පුද්ගලයෙකු බවට පත් වේ.

4. ජෝති ජෝති පරායන පුද්ගලයා.

ජෝති තම පරායන පුද්ගලයා නම්  ආලෝකයෙන් අඳුරට  යන පුද්ගලයා ය. එනම් මෙලොව යම්කිසි තැනැත්තෙක් පොහොසත් මහත් ධනය ඇති -  ආහාරපාන - ඉදුම් හිටුම් - වස්ත්‍රාභරණ හා බෙහෙත් හේත් ආදිය සුලභව ලබන තැනැත්තෙක් වෙයි. මහත් භව භෝග සම්පත් ඇති - බොහෝ රන් රිදී ඇති - බොහෝ දේපල ඇති - ධන ධාන්‍ය ඇති මහාසාර කුලයක හෝ උපදී. ඔහු සුරූපී දැකුම්කලු පහදින්නා වූ උතුම් වූ රුප සම්පත්තියකින් යුක්ත වූ තැනැත්තෙකු වේ.

ඉතා සැපසේ තම ජීවිකාව ගතකරන ඔහු සැපසේ නමුත් තමා සන්තක දෙයින් දන් දෙයි. දන් දීම පිණිස තම සිත තුල නිරන්තර කැමැත්ත ඇතිකර ගනී. එහි යහපත් බවම කියයි. අගය කරයි. නැවත නැවත එහි සමාදන් වීම හෝ ගුණ කීම සිදු කරයි. සීලාදී ගුණධර්ම ආරක්ෂා කරයි. සීලාදී ගුණධර්ම ආරක්ෂා කිරීම පිණිස නිරන්තර කැමැත්ත ඇතිකර ගනී.  එහි යහපත් බවම කියයි. අගය කරයි. නැවත නැවත එහි සමාදන් වීම හෝ ගුණ කීම සිදු කරයි. නිතර නිතර භාවනාමය කටයුතු සිදු කිරීම පිණිස  තම සිත තුල නිරන්තර කැමැත්ත ඇතිකර ගනී. එහි යහපත් බවම කියයි. අගය කරයි. නැවත නැවත එහි සමාදන් වීම හෝ ගුණ කීම සිදු කරයි. මෙසේ සැප  සේ නමුත් තව තවත්   පින් / කුසල් සිදු කොට සැපයෙන් යුක්ත වූ ස්වර්ග සම්පත් ලබන්නෙකු බවට පත් වේ.  

මෙසේ බුදු රජාණන් වහන්සේ විසින් මෙලොව පුද්ගලයන් සතර දෙනෙකු දක්නට ලැබෙන බව දේශනා කොට තිබේ.

මෙයින් තමෝ ජෝති පරායන හා ජෝති ජෝති පරායන පුද්ගලයන් අගය කොට තිබේ. 





ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ.
sudhamma_2009@yahoo.com

Wednesday, April 18, 2012


  වෙසක් පෝයෙහි වැදගත්කම.
වෙසක් පුන් පොහෝ දිනය සමස්ත විශ්වයටම ඉතා වැදගත් දිනයක් ලෙස හැදින්විය හැක. එය හුදෙක් ලංකා වාසීන්ට පමණක් නොව, සියලුම සත්ත්ව ප්‍රජාවටම ඉතා වැදගත් දිනයකි. ලොව අතිශය දුර්ලභ වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුන්ගේ බුද්ධත්වය අපේක්ෂාවෙන් ලබනු ලබන අවසන් ජන්මොත්සවයත්, සම්මා සම්බුද්ධත්වයට පත් වීමත්, ස්ඛන්ධ පරිනිර්වාණයට පත්වීමත් යන කරුණු තුන විශේෂයෙන් මෙම පුර පසලොස්වල පුන් පොහෝ දින සිහිපත් කෙරේ. මීට අමතරව,
  • බෝ සතුන්ගේ ශ්‍රේෂ්ට සිංහනාදය සිදු කිරීම.
  • කිසාගෝතමියගේ නිබ්බුත පද ඇසීම.
  • රාහුල කුමරුන්ගේ උපත.
  • ගිහිගෙය හැරයාම.
  • යමාමහ පෙළහර පෑම.
  • බුදුරජානන් වහන්සේ කැලණියට වැඩම කිරීම.
  • විජයාගමනය.
  • දෙවන පෑතිස් රජුන්ගේ දෙවන රාජාභිෂේකය.
  • රුවන්වැලි මහා සෑය තැනීම ආරම්භ කිරීම.
  • ආනන්ද මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වීම.
  • සිංහල බෞද්ධ අභිෂේක දිනය.
  • මහාවිහාර උපසම්පදාව.
                                          යන කරුණු සියල්ලම සිදු වූයේ වෙසක් මාසය තුලය.

වසරකට යෙදෙන පොහොය 12 අතරින් ඉතාම වැදගත් ම  පොහොය ලෙස වෙසක් පුර පසළොස්වක පොහොය හැදින්විය හැකිය. විශේෂයෙන් බුදුරජානන් වහන්සේගේ ජිවිතයේ වැදගත් ම මංගල කරුණු තුනක් සිහිපත් කෙරෙන මෙම දිනය '' සක්වල වයිශාක්‍ය  මංගල්‍ය '' ලෙස හැදින්විය හැකිය. පරිසරහි පවා මහත් වෙනස්කම් රාශියක් දැකිය හැකි මෙම කාල පරාසය තුල ගහකොළ පලබරින් යුක්තව මලින් අලංකාරවත්වී බබලනු දැකිය හැකිය. සතා සිවුපාවා පවා තම අලුත ලොව එලිය දුටු පැටවුන් සමග ඉතා සතුටින් කල්ගත කරනු දැකගත හැකිය. ඉතා ශීතල හා ඉතා උණුසුම් නොවූ කාලගුණික තත්වයකින් යුක්ත, මද්‍යස්ථ කාලගුණික තත්වයක් මෙම කාල පරිච්චේදය තුල දැකගත හැකිය. මේ සියලු දෙනාගේම උත්සාහය බෝධිසත්ත්වයින් වහන්සේගේ ජන්මෝත්සවය සැමරීම බව නම් විශේෂයෙන් ම කිව යුතුම ය. 

ඇතැම් ශාස්තෘවරුන්ගේ ජීවිතයෙහි විශේෂ අවසථා සිහිපත් කිරීමේදී බොහෝවිට අපට දැකගත හැකිවන්නේ ලක්ෂ සංඛ්‍යාත සත්ත්ව කොට්ඨාසයකට තම තමන්ගේ ජීවිතය පූජා කිරීමට සිදුවන බවයි. නමුත් බුදුරජානන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරනවිට මීට හාත්පසින්ම වෙනස් වූ ස්වභාවයක් දැකගත හැකිය. අර්ථාන්විත වූ අවිහිංසාවාදයක් පදනම් කරගත් බුදුදහම තුල දහස් සංඛ්‍යාත සත්ත්වයන්ගේ ජිවිත අභය දානය ලැබීමෙන් සැනසීමට පත් වෙති. සමස්ථ බෞද්ධ ජනතාවම දන් දෙති , සීලාදී ගුණධර්ම ආරක්ෂා කරති , භාවනාමය පුණ්‍ය කර්ම වල යෙදෙති.... මෙසේ සමස්ථ ලෝකයාම බිය වෙනුවට සැනසීම ලබති. මෙත්තා , කරුණා , මුදිතා , උපේක්ෂා යන ශ්‍රේෂ්ට වූ විහරණයන් වඩාත් වර්ධනය කරන කාල පරාසයක් ලෙසින් මෙම කාල පරාසය හැදින්විය හැකිය.

මෙම මහා භද්‍ර කල්පයට අසංඛේය්ය කල්ප සතරකුත් කල්ප ලක්ෂයකට පෙර දීපන්කර නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙකුන් ලොව පහල වුහ. ලෝක සත්ත්වයාට මහත් අනුකම්පාවෙන් ලෝක සත්ත්වයා සසර දුකින් මුදවාලීමේ එකම බලාපොරොත්තුවෙන් යුක්තව උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය ලොවට දේශනා කරමින් ගම් දනවු සිසාරා වැඩම කරමින් ලෝක සත්ත්වයා සසර දුකින් මුදවාලූහ. එකල්හිදී සුමේධ නම් මහා පණ්ඩිතයෙක් හිමවත් පව්ව අසුරුකරමින් ධ්‍යාන වඩමින් කල්ගත කළේය. දිනක් එතුමා රම්‍ය නම් නගරය ඉහල ආකාසයෙන් ගමන් කරන විට ඒ නගරයේ සියලුම මිනිසුන් එකතු වී ඉතා අලංකාරවත් ලෙසින් එම නගරය සරසනු දුටුවේය. එසේ දැක එම නගරයට පැමිණ මේ සඳහා කාරනා කුමක් දැ යි විමසා දැනගෙන '' බුද්ධ '' යන නමත් ඇසීමට ඉතා දුර්ලභය යැ යි කියා තමන්ටත් යම් වැඩක් කරන්නට හැකි දැ යි විමසා සිටියේය. එවිට එම නුවරුන් කතිකා කොට නිම කිරීමට අපහසු හාත්පස මඩින් ගැවසුණු ප්‍රදේශයක් සරසන ලෙස භාර දුන්නේය.

තමන්ගේ ධ්‍යාන සමාපත්ති සුවයෙන් දිව්‍ය ලෝකයන්ගෙන් පවා දිව්‍යමය රතනයන් රැගෙනවිත් හෝ හිමවත් පව්වෙන් අනර්ඝ මල් ගෙනවිත් තමන්ට ලැබුණු කොටසෙහි කටයුතු අවසන් කල හැකි වුවත් අද මම කය ම වෙහෙසා බුදුරජානන් වහන්සේට පූජාවක් කලයුතු යැ යි සිතා වෙහෙස මහන්සි වී එම කොටස පිළිසකර කරන්නට විය. නමුත් ඒ වනවිට හාර ලක්ෂයක් මහා රහතුන් වහන්සේලා පිරිවරාගෙන දීපංකර දසබලයන් වහන්සේ පිඩු පිණිස රම්‍ය නගරයට පිවිසියහ. තමන් ලත් බිමෙහි වැඩ අවසන් කරගත නො හැකි වූ සුමේධ පණ්ඩිතයන් වහන්සේ තමන් ඇද සිටි අඳුන් දිවි සම්කඩ බිම අතුරා දසබලයන් වහන්සේ ඇතුළු හාර ලක්ෂයක් මහරහතන් වහන්සේලා බිමෙහි ඇති මඩ නො පාගා මාගේ ශරීරය මත පා තබා මෙයින් ඔබ්බට වැඩම කරත්වා යි සිතා, අද දින මම මගේ ජීවිතය බුදු පාමොක් මහා සඟ රුවනට පූජා කරනවා යැ යි සිතා බිම වැද හොත්තේය. මෙම ස්ථානයට පැමිණි බුදුරජාණන් වහන්සේ මොහුගේ සිතුවිලි බලා මම මෙන් මොහුත් බුද්ධත්වය ම ප්‍රර්ථනා කොට මෙහි වැතිර සිටින බව දැන නියත විවරණ දී වදාළහ. එතැන් පටන් සසර සැරිසරන්නා වූ මුන් වහන්සේ දාන , සීල , නෙක්ඛම්මාදී වශයෙන් සම තින්සත් පාරමිතා පූරණය කොට වෙස්සන්තර ආත්ම භාවයෙන් මිදී '' සන්තුසිත '' නම් දිව්‍ය පුත්‍රයාව ඉපිද තුසිත දිව්‍ය ලෝකයෙහි වාසය කළේය. දිනක් සන්තුසිත දිව්‍ය පුත්‍රයා වෙත පැමිණි දස දහසක් සක්වල දෙවි බඹුන් '' මහා වීරයන් වහන්ස... ඔබ වහන්සේ සක්විති රජකමක් හෝ සක්‍ර පදවියක් .... ප්‍රර්ථනා කරමින් පාරමී දහම් නො පිරුවෙමු. හුදෙක් බුදුබව ම ප්‍රර්ථනා කරමින් ම සියලු දුක් කම්කටොලු විදිමින් භයානක සසරෙහි පැමිණියෙමු. දැන් එම කටයුත්ත සඳහා කාලය පැමිණ ඇත. මහා වීරයාණන් වහන්ස බුදු බව ලැබීම සඳහා මවුකුස පිළිසිඳ ගන්නා මැනවි '' යැ යි ආරාධනා කළහ. පසුව එම ආරාධනාව භාරගත් සන්තුසිත දිව්‍ය පුත්‍රයා කාලය , දීපය , දේශය , කුලය , මව යන පංච විලෝකනයන් සම්පූර්ණ කොට මහාමායා නම් උතුම් ගුණැති බෝධිසත්ව මාතාව කුස පිළිසිඳ ගත්හ. රන් ගුහාවක වෙසෙන කේසර සිංහරාජයෙකු සේ පූර්ණ දස මසක් කුස තුල සිටි බෝධිසත්ත්වයින් වහන්සේ වෙසක් පුර පසළොස්වක පොහෝ  දින ලුම්බිණි සල් උයනේහිදී මිනිසත් ලොව උපත ලැබුවේය. මවු කුසින් ලොව එලිය දුටු උන්වහන්සේ ප්‍රථමයෙන් ම බ්‍රහ්මයන් විසින් ද දෙවනුව සතරවරම් දෙවියන් විසින් ද අනතුරුව මිනිසුන් විසින්ද ඉතා ආදරයෙන් හා ගෞරවයෙන් පිළිගන්නා ලදී. එසේ පිළිගන්නා ලද බෝධිසත්ත්වයින් වහන්සේ උතුරු දිශාභිමුඛව පියවර සතක් ගමන් කොට '' අග්ගෝ හමස්මි ලෝකස්ස...... '' මම ලොවට අග්‍ර වෙමි ..... යනුවෙන් අභීත සිංහ නාදය පැතිර වූහ. මෙය උන්වහන්සේගේ ප්‍රථම සිංහ නාදය විය.

සියලු කුමාර සම්පත්තියෙන් යුක්තව පෝෂණය වන සිදුහත් කුමරුවන් නම් තැබීමේ උත්සවයට සහභාගී වූ බමුණන්ගේ අනාවැකියට අනුව ගිහිගෙදරින් නික්මයාවී යන බිය නිසා සුද්ධෝදන රජු විසින් නිතර දැඩි මුරකාවල් මැද රම්‍ය , සුරම්‍ය , සුභ යන මාලිගාවන්හි ආරක්ෂා  කරන්නට විය. ක්‍රමයෙන් තුරුණු වියට පැමිණි සිදුහත් කුමරුවෝ තම නෑදෑයන්ගේ සැක දුරුකර සියලු ශිල්පයන් දක්වා යශෝදරාවන් සමග සරණ මංගල්ලයට පත් විය. දිනක් උයන් ක්‍රීඩා සඳහා යන අතරතුරදී දෙවියන් විසින් දක්වන ලද ලෙඩෙක් , මහල්ලෙක් , මළකඳක් , පැවිදිරුවක් යන සතර පෙර නිමිති දැක ගිහිගෙය පිළිබඳව කලකිරී තමන් ද සසර විමුක්තිය සොයා යා යුතු යැ යි සිතා නැවතත් තමා සිටින මාලිගයට පැමිණියේය. එසේ එන අතර තුරදී කිසාගෝතමිය විසින් කියන ලද '' නිබ්බුතා නූන සා මාතා..... '' මෙවැනි පුතෙකු ලද යම් මවක් වේ නම් ඇය ඒකාන්ත වශයෙන් ම නිවුණේ වේ ...... යන ප්‍රකාශය අසා තමන්ගේ ගෙල පැලදී ලක්ෂයක් වටිනා මාලය ඇයට තෑගිකොට යවා රජ මාලිගයට පැමිණියේය. මෙම නිබ්බුත පද අසන ලද්දේ අභිනිෂ්ක්‍රමණය කිරීමට ප්‍රථම දිනහිදී ය.

සිදුහත් කුමරුන් උයනෙහි සිටියදී රාජ්‍ය සේවකයෙක් විසින් ගෙන එන ලද හසුනකට අනුව යශෝදරා කුමරියට පුත් කුමාරයෙකු උපන් බව දැන ගත්තේය. '' රාහුලෝ ජාතෝ - බන්ධනං ජාතං '' රාහුලයෙක් උපන්නේය, බන්ධනයක් ඇතිවිය .... යන ප්‍රකාශනය සිදු කිරීමත් ගිහිගෙන් නික්ම යාමේ දැඩි උවමනාවත් සිදුහත් කුමරුවන්ට විය. රාත්‍රියෙහි දී තමන්ට නැටුම් දැක්වීමට පැමිණි නාට්‍යාංගනාවන්ගේ විප්‍රකාර දැක ඡන්න ඇමතියාත් සමග කන්ථක අසු පිටින් අභිනිෂ්ක්‍රමණය සිදු කළේය. එසේ අභිනිෂ්ක්‍රමණය සිදු කොට අනෝමා ගන්තෙරදී ඝටීකාර නම් මහා බ්‍රහ්මයා විසින් පිලිගන්වන ලද අට පිරිකර ගෙන පැවිදි බිමට පත් විය

සත්‍ය කුමක් දැ යි ගවේෂණය කරන සිදුහත් තාපසතුමා ක්‍රමයෙන් පැමිණ ආලාරකාලාම හා උද්දකරාමපුත්ත යන ගුරුවරුන් දෙදෙනෙකු යටතේ ධ්‍යාන වැඩීම පුරුදු පුහුණු විය. නමුත් එය හුදෙක් ධ්‍යාන වැඩීමක් පමණක් වන බවත් සර්වප්‍රකාරයෙන් කෙලෙස් නැසීමක් නො වන බවත් දැනගත් බෝධිසත්ත්වයන් වහන්සේ තනිව සත්‍ය සොයා යන්නට විය. එහිදී විශේෂයෙන් අත්තකිලමථානුයෝගයට අනුව තම ශරීරයට දැඩි දුක් දෙමින් පස්වග මහණුන්ගේ උපස්ථානය ලබමින් වීර්ය වඩන්නට විය. නමුත් පසුව එය නිවන් ලබන මග නො වන බව දැනගත් උන්වහන්සේ කුඩාකල වප් මගුල් උත්සවහිදී වඩන ලද ආනාපානසති භාවනාව සිහිපත් කොට ක්‍රමයෙන් ආහාය අනුභව කරන්නට පටන් ගත්තේය. ඒ බව දැනගත් පස්වග මහණුන් බෝධිසත්ත්වයන් නිවන් මගෙන් වෙන් වූ බව කියමින් උන්වහන්සේ අතහැර යන්නට වූහ. පසු කලෙක මෙම ආනාපානසති භාවනාව ම විදසුන් වශයෙන් වඩා වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දින සියලු කෙලෙසුන් නසා පුබ්බේ නිවාසානුස්සති ඥානය , චුතුපපාත ඥානය හා ආසවක්ඛය ඥානය යන ත්‍රිවිද්‍යා පසක් කොට ලොව යමෙකුට ලැබිය හැකි උතුම් ම පදවිය වූ සම්මා සම්බුද්ධත්වයට පත්ව බුද්ධ රාජ්ජ්‍යයෙහි අභිෂේක වූ සේක.

පුරා දින 49 ක් හෙවත් සති 7 විවේක සුවයෙන් සත්සතිය ගතකල බුදුරජාණන් වහන්සේ තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් විසින් පිළිගන්වන ලද විලද මීපැණි වළදා පසුව පස්වග මහනුන් නිවන් සුවයෙන් සනසා තමන් වහන්සේ ඇතුළු රහතුන් 61 නමක් ලොවට දායාද කොට දෙවි බඹුන් සහිත සත්ත්ව ප්‍රජාවට අමා දම් වැසි වැස්ස වූ සේක. තමන්ගේ පුතනුවන් සම්මා සම්බුද්ධත්වයට පත් වූ බව දැනගත සුද්ධෝදන රජතුමා අවස්ථා නවයකදී එක් එක් ඇමතියකු සමග 1000 දෙනා බුදුරජාණන් වහන්සේ සමීපයට කිඹුල්වත් පුරයට වැඩමකිරීමට ආරාධනා කර යැවුවත්, ඒ අය බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදිව බණ අසා අර්හත්වයට පත් වුහ. එ නමුත් බුදුරජාණන් වහන්සේට වෙහෙසක් යැ යි සිතා රජුගේ ආරාධනාව ඉදිරිපත් නො කළහ. පසුව පැවිදිවීමට අවසර ලබා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි කාලුදායි ඇමතියා ඇතුළු 1000 දෙන ද අරහත්වයට පැමිණ සුදුසු අවස්ථාවේදී  කාලුදායි මහරහතන් වහන්සේ විසින් කරන ලද ආරාධනය පිළිගත් බුදුරජාණන් වහන්සේ 10010 ක් මහරහතන් වහන්සේලා සමගින් තම ජාත නගරය වන කිඹුල්වතට වැඩම කල සේක. තමන් වහන්සේගේ බුද්ධත්වයෙන් වසරකට පසුව එසේ තම ඥාතින් දැකීමට වැඩම කලත් , බුදු කෙනෙකුන් හට දැක්විය යුතු නිසි ගෞරවය තම ඥාතීන්ගෙන් නො ලැබීමත් ඥාතීන්ගේ සැක දුරුකිරීමත් යන කරුණු දෙක නිමිති කොටගෙන බුදුරජාණන් වහන්සේට බුදුවරයෙකුට පමණක් ආවේනික යමාමහ පෙළහර පෑමට සිදු වූ සේක. එසේ යමාමහ පෙළහර පෑම සිදු කලේ ද වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දිනයකදී ය. 


මෙසේ සමස්ත ලෝක සත්ත්වයාම අමා දම් සිසිලෙන් සැනසූ අප ශාන්ති නායකයානෝ ස්ඛන්ධ පරිනිර්වාණයෙන් සසර ගමන සර්වප්‍රකාරයෙන්ම නවතා දැමුවේ ද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදීය.ආයුෂ වසර 80 පමණ වන විට ආනන්ද හිමියන් අමතා '' ආනන්ද , මාගේ ශරීරය දැන් දිරාගිය අබලන් ස්වභාවයට පත් වූ කරත්තයක් මෙනි '' යැ යි කියමින් ලෝක සත්ත්වයාට හිමි ජරා , ව්‍යාධි ..... ආදී සියලුම දුක් තමන් වහන්සේට ද උරුම බව කියමින් මාරයා විසින් කරන ලද පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවීමේ ආරාධනාවත් පිළිගනිමින් කුසිනාරා නුවර උපවර්තන නම් සල් උයනට වැඩම කල සේක. එහිදී තමන් වහන්සේ පිරිනිවී වදාරන බව දැන්විය යුතු සියලු දෙනාටමත් දන්වා තථාගත ශ්‍රී දේහයට කෙසේනම් අවසන් බුහුමන් දැක්විය යුතුද කියා දෙමින් සියලුම දෙනා ආමන්ත්‍රණය කරමින් යම් හෝ සක කරුණක් මෙම ධර්මය පිළිබඳව ඇත්නම් විමසන ලෙසත කියා සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය ලොවට ප්‍රකාශ කරමින් අනෙක වාරයක් ප්‍රථම ධ්‍යානයටත් ක්‍රමයෙන් නිරෝධ සමාපත්තියටත් සම වදිමින් අවසානයේ පරිනිර්වාණ ධාතුවෙන් නිවී සැනසී වදාළ සේක. මෙම මහා පරිනිර්වාණය සිදු වූයේ ද  වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදී ය.

එසේම බුද්ධත්වයෙන් 8 වන වසරේදී මණි අක්ඛිත නම් නා රජුගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කලේ ද සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් සමනොළ ගිරෙහි වම් සිරි පා සටහන තබන ලද්දේ ද වෙසක් පුර පසළොස්වක දිනයකදී ය. එසේම අටමස්ථාන , සොලොස්මස්තානයන් , දෙතිස්ඵල බෝඩින් වහන්සේලා වැඩසිටින ස්ථානයන්හි නිරෝධ සමාපත්තියෙන් සුළු කාල පරාසයක් වැඩවිසීම ද සිදු කලේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදී ය. 

සිංහබාහු රජුගේ දෙටු පුතු වන විජය කුමරු 700 ක් දඹදිවින් නෙරපන ලද තම සේනාව සමග අප රටට පැමිණියේ ද වෙසක් පොහෝ දිනකදී ය. 

සිංහල ජාතිය තුල සදා අමරණීය රජ කෙනෙකුන් වන දේවානම් පියතිස්ස රජු දෙවන වරට අශෝක අධිරාජ්ජ්‍යා විසින් පරිත්‍යාග කරන ලද පන්චකකුධ භාණ්ඩයන්ගෙන් යුක්තව දෙවන වරට රාජාභිෂේකය සිදු කරන ලද්දේ ද වෙසක් පුර පසළොස්වක දිනකදීය.

 එළාර රජුන් ඇතුළු සියලු දමිල කැරලිකරුවන්  මර්ධනය කොට ලංකාද්වීපයම එක්සේසත් කරන ලද දුටුගැමුණු මහා නිරිදුන් විසින් ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා රුවන්වැලි මහා සෑ රජුන් පිහිටුවීම ආරම්භ කරන ලද්දේත් වෙසක් පුර පසළොස්වක දිනයක දී ය.
  
බුදු රජාණන් වහන්සේගේ නිත්‍ය උපස්ථායක වූ ආනන්ද මහරහතන් වහන්සේ වසර 120 ක් ආයු වින්දනය කොට තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 40 කට පසුව රෝහිනී නදිය ඉහල ආකාසයෙහි දී  සතර ඉරියව්වෙන් තොරවම ස්ඛන්ධ පරිනිර්වාණ ධාතුවෙන් නිවී සැනසී වදාළේ ද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයකදී ය.

එසේම පුරාණ රජවරුන්ගේ රාජාභිෂේක දිනය වන්නේ ද වෙසක් මස පුර පසළොස්වක පොහෝ දිනය යි.

අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ ආරම්භකළ මහාවිහාර වංශික මහා සඟ රුවනෙහි උපසම්පදා විනය ක්‍රමය සිදු කරනු ලබන්නේ ද වෙසක් පුන් පොහෝ දිනහිදී ය.

මෙසේ තෙමගුල සිහිපත් කිරීම මුලික කරගෙන ඒ හා සහ සම්භන්ධ බොහෝ කරුණු ද වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දා අනුස්මරණය කරනු ලැබීම බෞද්ධ කාහටත් විශේෂ කරුණක් වනු ඇත.


වඩමු දන් දී ගුණදහම් වෙසක් පුන් පොහෝ දා !!! 



ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ.
sudhamma_2009@yahoo.com


  

Sunday, April 1, 2012

අග්ගපඤ්ඤත්ති සූත්‍රය.
                         ( අංගුත්තර නිකාය. චතුක්ක නිපාතය. චර වර්ගය. බු.ජ.ත්‍රි.පිටුව - 34/35 )


චත්තසෝ ඉමා භික්ඛවේ අග්ගපඤ්ඤත්තියෝ. කතමා චත්තසෝ?

එතදග්ගං භික්ඛවේ අත්තභාවිනං යදිදං රාහු අසුරින්දෝ.
එතදග්ගං භික්ඛවේ කාමභෝගීනං යදිදං රාජා මන්ධාතා.
එතදග්ගං භික්ඛවේ ආධිපතෙයියානං යදිදං මාරෝ පාපිමා.
සදෙවකේ භික්ඛවේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමණබ්‍රහ්මනියා පජාය සදෙවමනුස්සාය තථාගතෝ අග්ගමක්ඛායති අරහං සම්මාසම්බුද්ධෝ.

ඉමා ඛෝ භික්ඛවේ චත්තසෝ  අග්ගපඤ්ඤත්තියෝ'ති.

රාහුග්ගං අත්තභාවීනං මන්ධාතා කාමභෝගීනං ,
මාරෝ ආධිපතෙයියානං ඉද්ධියා යසසා ජලං.

උද්ධං තිරියං අපාවිනං යාචතා ජගතෝ ගති ,
සදෙවකස්ස ලෝකස්ස බුද්ධෝ අග්ගං පවුච්චතී'ති.


         මහණෙනි, මේ අග්‍රප්‍රඥප්තීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක් ද යත්:

මහණෙනි, ආත්මභාවීන් අතුරින් යම් මේ රාහු අසුරයෙක් වේ ද, මේ තෙමේ අග්‍රය.
මහණෙනි, කාමභෝගීන් අතුරින් යම් මේ මන්ධාතු නම් රජෙක් වේ ද, මේ තෙමේ අග්‍රය.
මහණෙනි, ආධිපත්‍යය කරනුවන් අතුරින් යම් මේ පාපී මාරයෙක් වේ ද, මේ තෙමේ අග්‍රය.
මහණෙනි, මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාවෙහි අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ අග්‍ර යි කියනු ලැබේ.

මහණෙනි, මේ සතර  අග්‍රප්‍රප්තීහු ය.

ආත්මභාවීන් අතුරින් රාහු අසුරිඳු අග්‍ර වේ. කාම භෝගීන් අතුරින් මන්ධාතා සක්විති රජ අග්‍ර වේ.ආධිපත්‍යය කරනුවන් අතුරින් , දිව්‍යසම්පත්ති සමුද්ධියෙනුදු පරිවාර සංඛ්‍යාත යසසිනුදු බබලනුවන් අතුරින් මාරදෙවී පුතු අග්‍ර වේ.

ය මැදය යටය යන ලෝක නිෂ්පත්තිය තෙක් දෙවියන් සහිත ලෝකයාට බුදුරජානන් වහන්සේ අග්‍ර ය යි කියනු ලැබේ.


අග්ගපඤ්ඤතියෝ -  අග්‍ර පැනවීමයි. උතුම්ම පැනවීමයි. මෙයින් ඉහල කිසිවෙකුත් පෙන්වාදීමට නොහැකි බව මෙහිදී කියවේ.

රාහු අසුරින්දෝ - අසුර දිව්‍ය ලෝකයෙහි වාසය කරනු ලබන රාහු නම් අසුර දෙවතාවා ය. ආත්ම භාවය, තම ශරීර විශාලත්වය පිළිබඳව සැලකීමේදී රාහු නම් අසුරයා ඒ ඒ ලෝක ධාතු වල විශාලම දේහයක් ඇති සත්ත්වයා වෙයි. දේහ ප්‍රමාණයෙන් ඔහුට වඩා විශාල අයෙක් නැත. මොහු යොදුන් ( යොදුනක් = සැතපුම් 16 ) 4800 ක් උස ය. ඔහුගේ බාහු අතරත යොදුන් 1200 කි. අත්ල පාද තලයන්ගේ මහතා යොදුන් 300 කි. ඇගිලි පුරුක් යොදුන් 50 කි. ඇහි බැම අතර දුර යොදුන් 50 කි. නළල යොදුන් 500 කි. හිස යොදුන් 900 කි. 

මන්ධාතා - මන්ධාතු නම් සක්විති රජුය. මොහු දිව්‍යය හා මානුෂීය කාමයන් පරිහරණය කරන්නවුන් අතරින් අග්‍ර වේ. මොහු අසංඛ්‍යයක් ආයුෂ ඇති මිනිසුන් අතර ඉපිද තමන්ට රිසි රිසි අවස්තාවන්හිදී අහස බලා 3 වරක් අත්පුඩි ගැසූ විට සප්ත රතනයන්ගෙන් යුතු වැසි ලැබේ. දෙවිලොව ඉන්ද්‍රයන් ( සක්‍රයන් ) 37 කගේ ආයුෂ වින්දනය කර කාමයන් පරිහරණය කර කාමභෝගීන් අතරින් අග්‍ර විය.

ආධිපතෙයියානං - අධිපති බව පතුරුවන , තම බලය පතුරුවන ය අතර අග්‍ර වේ. මාරයා වනාහි සියලු කාම ලෝකයන්ට තම බලය පතුරුවන පුද්ගලයා වේ. එබැවින් එසේ කියනු ලැබේ. පරනිම්මිත වසවත්තී දිව්‍ය ලෝකයෙහි වාසය කරන ඔහු රාගාදියෙන් සියලු සත්වයන් බන්ධනය කරගෙන සිටී.නමුත් රහතුන් , පසේ බුදුවරු,බුදුවරු ඔහුගේ බලයට යටත් ය නොවේ.

තථාගතෝ - මෙයින් බුදුරජානන් වහන්සේ පිළිබඳව කියවේ. පාරමිතා - උප පාරමිතා - පරමාර්ථ පාරමිතා පූරණය කොට අතීත බෝසත්වරු යම්සේ බුද්ධත්වයට පැමිණුනේ ද , අනාගත බෝසත්වරු යම්සේ බුද්ධත්වයට පැමිණෙන්නේ ද, එලෙසම වර්තමානයේ දී තමන් වහන්සේ ද බුද්ධත්වයට පැමිණි බැවින් තථාගත නම් වේ. 



ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ.
sudhamma_2009@yahoo.com