Powered By Blogger

Friday, May 11, 2012


සුත්‍ර සාකච්ඡාව - කැන්බරා . ASLBV.                                                                                                            Tute – 01.
                                                                        පිවිසුම
ප්‍රථම ධර්ම සංඝායනාව.

සාරාසංඛේය කල්ප ලක්ෂයක් පාරමිතා ධර්මයන් පූරණය කරන ලද අප බෝධි සත්ත්වයින් වහන්සේ දඹදිව ගයාශීර්ෂහි දී අති උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පැමිණ වදාළ සේක. එසේ සම්මා සම්බුද්ධත්වයට පත්  වූ උන්වහන්සේ පුරා වසර 45 ක කාල පරාසයක් තුල දෙවියන් , බඹුන් , මිනිසුන් .... ආදී සියලු ලෝක සත්ත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කරමින් ලෝකය සිසාරා වැඩම කල සේක. එසේ වැඩම කරමින් උන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මෙම ශාසනයෙහි 3 වන මහා ශ්‍රාවකයන් වහන්සේ වූ ධූතධාරී භික්ෂූන් අතර අග්‍ර වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් ප්‍රථම ධර්ම සංඝායනාවේ දී තෝරාගත් 500 මහරහතන් වහන්සේලා අතර ධර්ම විනය පිළිබඳව අග්‍ර වූ ධර්මභාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ හා විනයධරයින් අතර අග්‍ර වූ උපාලි මහරහතන් වහන්සේ මුල් තැන්හි තබාගෙන ධර්ම සංඝායනාව සිදු කල සේක. එසේ සිදු කරන ලද ධර්ම සංඝායනාවට පාදක වූ මූලික කාරණාව වන්නේ සුභද්‍ර නම් එක්තරා භික්ෂුවකගේ ප්‍රකාශය යි. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ අවස්ථාව වන විට කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයනට 700,000 ක පමණ භික්ෂූන් වහන්සේලා රැස් වූහ. එහි වැඩම කල සංඝරත්නය අතුරින් සියල්ලන්ගෙන්ම වැඩිමල් භික්ෂුව වූයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ය. සුභද්‍ර නම් මහලු පාපී භික්ෂුව විසින් කරන ලද ශාසන විලෝපී ප්‍රකාශනය නිසා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මෙසේ තීරණය කරන ලදී.

සුභද්‍රගේ ප්‍රකාශය :-

          “ ඇවැත්නි , කම් නැත , ශෝක නොකරවු , විලාප නොකියවු , තොපට මේ කැපය , තොපට මේ නොකැපය යි යමෙක් කියත් නම් අප ඒ මහා ශ්‍රමණයාගෙන් උවදුරු ලද්දේය , දැන් අප ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුනාහු ය. අපි දැන් යමක් කැමති වන්නෝ නම් , එය කරන්නෙමු , යමක් අකමැති වන්නමෝ නම් එය නොකරන්නෙමු..... ”
         
මෙසේ බුද්ධ පරිනිර්වාණයෙන් සත් දිනකට පසුව මෙම ප්‍රකාශය සිහිපත් කල මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මෙසේ සිතීය. 

1.පාපී භික්ෂූහු , යම් කරුණක් හේතුකොටගෙන , ඉක්මගිය ශාස්තෲන් ඇති ධර්ම විනයක් ය යි සිතන්නෝ අලජ්ජී පක්ෂය ලැබ , නොබෝ කලකින්ම සද්ධර්මය අතුරුදහන් කරන්නේ ය.. යන මෙය සිදුවිය හැක. යම්තාක් කල් මෙම ධර්ම විනය ලජ්ජී පුද්ගලයන් කෙරෙහි පවත්නේ නම් , ඒ තාක් ධර්ම විනය නොඉක්ම ගිය ශාස්තෘන් ඇත්තේම ය.

2.ආනන්ද , තොපට මා විසින් යම් ධර්ම විනයක් දේශනා කරන ලද්දේ ද , පණවන ලද්දේ ද , ඒ ධර්ම විනය මාගේ ඇවෑමෙන් තොපගේ ශාස්තෘ වන්නේය.

3. කාශ්‍යපය , තොප දිරාගිය හණ වැහැරියෙන් කල පංසුකූල සිවුර දරන්නාහු ය..... මෙසේ තමන් වහන්සේගේ චීවරය දෙවතාවක් හුවමාරු කිරීමෙන් මට අනුග්‍රහ කල සේක.

4.තවද, තමන් වහන්සේ සමගින් උත්තරීතර මනුෂ්‍ය ධර්මයන්ගෙන් සම තැන්හි තබා කතා කිරීමෙන් මට අනුග්‍රහ කල සේක.

මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රකාශය :-

          මෙසේ කල්පනා කිරීමෙන් පසුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් සංඝයා අමතා මෙසේ ප්‍රකාශ කළේය.

“ ඇවැත්නි , ඉදිරියෙහිදී අධර්මය බබලන්නේය , ධර්මය යටපත් කරනු ලබන්නේය , අවිනය බබලන්නේය , විනය යටපත් කරනු ලබන්නේය , ඉදිරියෙහි දී අවිනයවාදීහු බලවත් වන්නාහ , ධර්මවාදීහු දුර්වල වන්නාහ , අවිනයවාදීහු බලවත් වන්නාහ , විනයවාදීහු දුර්වල වන්නාහුය , එබැවින් අපි ධර්මයත් විනයත් සංඝායනා කරන්නෝ නම් මැනවි  ”යැ යි භික්ෂූන්ට දන්වා සිටියහ.

පසුව එම භික්ෂූන් වහන්සේලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට සුදුසු පරිද්දෙන් භික්ෂූන් වහන්සේලා තෝරා ගන්න ලෙස දන්වා සිටියහ.


භික්ෂූන් තෝරා ගැනීම :-

එම භික්ෂූන් වහන්සේලාගේ ආරාධනාවෙන් පසුව නොයෙක් රහත් , මහරහත් භික්ෂූන් වහන්සේලා අතුරින් නවාංගශාස්තෘ ශාසනය කෙරෙහි පරතෙරට පත් මනා දැනුමකින් යුතු සතර පටිසම්භිදාලාභී මහරහතන් වහන්සේලා 499 නමක් තෝරාගන්නා ලදී. මෙසේ තෝරා ගැනීමේදී නොයෙක් ධ්‍යානලාභී , සොතාපන්නතාදී විවිධ මාර්ග ඵලයන්ට පත් වූ රහත් වූ ශුෂ්ක විදර්ශක භික්ෂූන් හැර සතර පටිසම්භිදාලභී මහරහතන් වහන්සේලාම තෝරා ගන්නා ලදී. ආනන්ද මහා තෙරුන් වහන්සේ තවමත් අරහත්වයට පත් නොවූ බැවින් ද උන්වහන්සේ රහිතව මෙම සංඝායනාව කල නොහැකි බැවින් ද උන්වහන්සේට පැමිණීමට ඉඩ තබමින් මහරහතන් වහන්සේලා 499 නමක් තෝරා ගන්නා ලදී. ආනන්ද මහතෙරුන් වහන්සේ නැතුව ද ඇතුව ද මෙම සංඝායනාව කල නොහැක. ආනන්ද මහතෙරුන් වහන්සේ රහිතව කල නොහැක්කේ උන්වහන්සේ සියලුම පර්යාප්ති ධර්මයම ( නවාංග ශාසනයම ) බුදුරජාණන් වහන්සේ හමුවෙහි මනාව අසා ධාරණය කරගත් බැවිනි. ආනන්ද මහතෙරුන් වහන්සේ ඇතුව කල නොහැක්කේ තවමත් උන්වහන්සේට අර්හත්වය පිණිස කල යුතු කටයුතු ඉතිරිව ඇති බැවිනි. මේ වනවිට උන්වහන්සේ හුදෙක් සතර පටිසම්භිදා ලාභී සෝතාපන්න ඵලයට පමණක් පැමිණ සිටි බැවින් ද තෝරාගත් සියලු මහ රහතන් වහන්සේලා සතර පටිසම්භිදා ලාභී භික්ෂූන් වූ බැවින්ද උන්වහන්සේ ඇතිව මෙම සංඝායනාව සිදු කල නොහැක. එසේ තෝරාගත යුතුව තිබියදී තෝරා නොගත්තේ අන්‍ය අයගෙන් චෝදනා නොලබනු පිණිස ය. එසේම සංඝ සම්මුතියෙන් සෝතාපන්න වූ ආනන්ද මහතෙරුන් වහන්සේ තෝරාගනු පිණිස ය. ඉක්බිති මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආනන්ද මහතෙරුන් වහන්සේව තෝරා ගත්හ. මෙසේ මෙම සංඝායනාවට 500 දෙනා සහභාගී වීම නිසා ‘ පංචසතික මහා සංඝායනාව ’ යන නාමය මෙයට ලැබීය.

ඥප්ති ද්වීතීය කර්මය :-

පසුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේට කවර නම් ස්ථානයකදී මෙම ධර්ම විනය සංඝායනා කරන්නෝ නම් මැනවි දැ යි අදහසක් පහල විය. පසුව එම මහා සංඝයා හට ‘ රජගහ නුවර , භික්ෂාව පිණිස හැසිරීමට ඉඩ පහසුකම් ඇති මහත් තැනක් වන්නේ ය. බොහෝ සෙනසුන් ද ඇත්තේ ය. එහෙයින් අපි රජගහ නුවර වස් වසන්නමෝ නම් , ධර්මයත් විනයත් සංඝායනා කරන්නෙමු. අන්‍ය භික්ෂූහු රජගහ නුවර වස් නොවසන්නාහු නම් මැනවි...’ යන අදහස පහල විය. මෙම අදහස උන්වහන්සේලාට ඇති වූයේ කවර කාරණයක් නිසා ද යත් , අපගේ මෙම උත්සාහය සම්බුදු සසුන බොහෝ කාලයක් පැවැත්වීම සඳහාය. සුභද්‍ර වැනි විසභාග පුද්ගලයන්ගේ බලපෑමක් සිදු වුවහොත් මෙම කටයුත්ත අඩාල විය හැක. මෙය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් ඥාප්ති ද්විතීය කර්මයෙන් සම්මත කරගන්නා ලදී.  

බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් සාධු ක්‍රීඩා දින 7 ක් ද ධාතු පූජා දින 7 ක් ද වශයෙන් අඩ මසක් ගෙවී ගියේ ය. වස් එළඹෙන දිනය ආසන්න බැවින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සංඝයාගෙන් පිරිසක් ගෙන රජගහ නුවරට වැඩම කළේය. අනුරුද්ධ මහරහතන් වහන්සේ තවත් පෙදෙසකට ද , ආනන්ද මහා තෙරුන් වහන්සේ ද පිරිසක් සමග බුදුරජාණන් වහන්සේගේ පා සිවුරු රැගෙන රජගහ නුවරට යනු කැමැත්තෙන් සැවත් නුවර වාසය කළහ. ආනන්ද මහා තෙරුන් වහන්සේ එහි වැඩම කල පසු බුදුරජාණන් වහන්සේ පිළිබඳව විමසා මහත් විලාපයක් එම නුවර ඇති විය. ආනන්ද මහා තෙරුන් වහන්සේ යන යන තැන මහත් විලාපයක් හට ගත්තේය. ආනන්ද මහා තෙරුන් වහන්සේ එම සියල්ලන් හට අනිත්‍ය ප්‍රතිසංයුක්ත දහම් කතා පවත්වා මහා ජනයා සනසා ජේතවනාරාමයට පැමිණ බුදුරජාණන් වහන්සේ පරිහරණය කරන ලද ඇඳ පුටු ආදිය පිටතට ගෙන ඒවා පිරිසිඳු කොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේදී මෙන් වත් පිළිවෙත් කළේය.

විහාර ප්‍රතිසංස්කරණය :-

බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ දිනයෙහි පටන් මහත් ලෙස විඩාවට පත් ආනන්ද මහ තෙරුන් වහන්සේ ශරීරය සංසිඳවනු පිණිස ක්‍ෂීර විරේචනය වළදා විහාරයෙහි වැඩ හුන් සේක. පසුව තෝදෙය්‍ය පුත් සුභ මානවකයාගේ එදින කල ආරාධනය පසුවදාට පිළිගෙන එහි වැඩම කොට දීඝ නිකායෙහි එන 10 වන සූත්‍රය වන ‘ සුභ සූත්‍රය ’ දේශනා කල සේක. ආනන්ද මහ තෙරුන් වහන්සේ එහිම වාසය කරමින් විහාරස්ථානයෙහි පිළිසකර කල යුතු සියල්ල පිළිසකර කර අවසන් කර පසුව වස් එළඹෙන දිනය ආසන්න වන විට රජගහ නුවරට වැඩම කල සේක. අනුරුද්ධ මහරහතන් වහන්සේ ද , මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ද ඒ වන විට රජගහ නුවරට වැඩම කර සිටියහ. ඒ වන විට රජගහ නුවර මහා විහාරයන් 18 ක් විය. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ඒ සියල්ලම අත්හැර දමන ලද්දාහු ය. පසුව එහි විසූ මහා සංඝයා තීර්ථක අපවාදයෙන් මිදෙනු සඳහාත් , විහාර ආරක්ෂා කරනු සඳහාත් වර්ෂා කාලයෙහි ප්‍රථම මාසයෙහි දී සියලුම විහාරයන් ප්‍රතිසංස්කරණය කිරීමටත් , දෙවන මාසයෙහි දී සංඝායනා කරනු පිණිස ස්ථානයක් සකස් කරගනු පිණිසත් අජාතසත්තු රජතුමා හමුවීමට ගියහ. සංඝයා වහන්සේලාගේ ආරාධනාවෙන් රජතුමා විසින් සංඝාවාස පිළිසකර කිරීම සඳහා අවශ්‍ය මිනිසුන් ලබා දුන්හ. වෙහෙර පිළිසකර කිරීමෙන් පසුව නැවතත් පැමිණ ධර්මය සංඝායනා කිරීමේ උවමනාව දන්වා සිටියේ ය. එවිට රජතුමා විසින් ‘ ස්වාමිනී , මැනවි. සැකයෙන් තොරව ඔබවහන්සේලා විසින් එය කරනු මැනව , මෙම කටයුත්ත සඳහා මාගේ අණ  සක වේවා ! ඔබ වහන්සේලාගේ දම්සක වේවා ! මා විසින් කල යුතු යමක් වේ නම් මා හට අණ දුන මැනව  ’ යැ යි දන්වා සිටි කල්හි සංඝායනා කිරීම සඳහා වේභාර පර්වතයෙහි සප්ත පර්ණී ගුහා ද්වාරය සුදුසු ය යි දන්වා සිටියහ. රජතුමා විසින් දිව්‍ය විමානයක් මෙන් එය සරසා දකුණු දිග ඇසුරුකොටගෙන උතුරු දිශාවට මුහුණ ලා ස්ථවීරාසනය ද මණ්ඩප මද්‍යයෙහි පෙරදිගට මුහුණ ලා බුදුරජාණන් වහන්සේට වැඩහිදීමට සුදුසු සේ ධර්මාසනයක් ද සකස් කර , ඇත්දලින් කරන ලද විජිනි පතක් ද සකස් කොට කටයුතු අවසන් බව මහා සංඝයාට දැන්වීය.

ආනන්ද මහා තෙරුන් වහන්සේ රහත් වීම :-

          පසුව භික්ෂුන් වෙත හෙට දිනයෙහි දී සංඝායනාව ආරම්භ කරන බව දන්වා සිටියහ. සේඛ වූ මම මේ ආකාරයෙන් සංඝායනාවට යාම නුසුදුසු බව සිතූ ආනන්ද මහා තෙරුන් වහන්සේ පරිනිර්වාණ අවස්ථාවෙහි දී බුදුන් වහන්සේ විසින් තමන් වහන්සේ අගය කර ආනන්ද හිමියන් වහා අරහත්වයට වත්වන බවට කල ප්‍රකාශය ද සිහිපත් කර රාත්‍රියෙහි බොහෝ වේලාවක් කායගතාසතිය වඩා මදක් විවේක ගනිමියි සිතා සැතපීමට පාද දෙක ද පොළොවෙන් ඉහලට ගත්තේ ය. හිස ද කොට්ටයට නොපැමිණියේ ය. ආනන්ද මහරහතන් වහන්සේ මෙසේ සතර ඉරියව්වෙන් එකම ඉරියව්වකින් තොරව සියලු කෙලෙස් නසා මහරහත් භාවයට පත් වූ සේක. සංඝායනා අවස්ථාවේ දී උන්වහන්සේ අනෙකුත් මහා සංඝයා සමග වැඩම නොකොට තමන් වහන්සේව විචාරනු ලබන අවස්ථාවේ දී පොළොවෙන් ගැලී තමන් වහන්සේගේ ආසනය මත හුන්නේ ය.


උපාලි මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න කිරීම :-

            භික්ෂු සංඝයා රැස්වූ කල්හි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ‘ ඇවැත්නි , ප්‍රථමයෙන් ධර්මය සංඝායනා කරමුද , නැතහොත් විනය සංඝායනා කරමුද  ’ කියා සංඝයාගෙන් විමසන ලදී. එහිදී මහා සංඝයා විසින් ‘ ස්වාමිනි , මහා කාශ්‍යප මහරහතන් වහන්ස , විනය බුද්ධ සාසනයෙහි ආයුෂ වෙයි. විනය සිටිකල්හි සාසනය ද සිටියේ වේ . එහෙයින් ප්‍රථමයෙන් විනය සංඝායනා කරමු යැ ’ යි දන්වා සිටි කල්හි ‘ කවරෙකු දෙටු කොට විනය සංඝායනා කරන්නෙමු දැ යි ’ විමසා සිටියේ ය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහිදීම උපාලි මහරහතන් වහන්සේ විනයධර භික්ෂූන් අතරින් අග්‍රස්ථානයට පත් කල බැවින් උන්වහන්සේ දෙටු කොට විනය සංඝායනා කරමු යැ යි කීහ.

සම්මත  කිරීම :-
         
අනතුරුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් තමන් වහන්සේ විසින්ම උපාලි මහරහතන් වහන්සේ මෙසේ සම්මත කල සේක.

“ සුනාතු මේ ආවුසෝ සංඝෝ , යදි සංඝස්ස පත්තකල්ලං අහං උපාලිං විනයං පුච්චේයියං ” - ආයුෂ්මත් මහා සංඝයා මෙසේ අසත්වා ! පැමිණි කාලය වේ නම් මම උපාලි ආයුෂ්මතුන්ගෙන් විනය පිළිබඳව විචාරන්නෙමි.

          ඊට පිළිතුරු වශයෙන් උපාලි මහරහතන් වහන්සේ මහා සංඝයා වෙත මෙසේ දන්වන ලදී.

“ සුනාතු මේ භන්තේ සංඝෝ , යදි සංඝස්ස පත්තකල්ලං අහං ආයස්මතෝ මහා කස්සපේන විනයං පුට්ඨෝ විසජ්ජෙයියං ” - ආයුෂ්මත් මහා සංඝයා මෙසේ අසත්වා ! පැමිණි කාලය වේ නම් ආයුෂ්මත් මහා කාශ්‍යප මහා තෙරුන් වහන්සේ විසින් විනය පිළිබඳව විචාරනු ලබන ප්‍රශ්ණ මම විසදන්නෙමි.
         
 පසුව උපාලි මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ ආසනයෙන් නැගී සිට සිවුර එකංස කොට ස්ථවීර භික්ෂූන් වැඳ විජිනිපත ගෙන ධර්මාසනයෙහි වැඩ හුන් සේක. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ස්ථවීරාසනයෙහි  වැඩ හිඳිමින් විනය පිළිබඳව ප්‍රශ්ණ කල සේක.


විමසුම් ආකාරය :-

1.වස්තුව විචාරීම
2.නිදානය විචාරීම
3. පුද්ගලයා විචාරීම
4.ප්‍රඥප්තිය විචාරීම
5.අනුප්‍රඥප්තිය විචාරීම
6.ආපත්තිය විචාරීම
7.අනාපත්තිය විචාරීම
         
 අනතුරුව 4 පාරාජිකාවන් පාරාජිකා කාණ්ඩය ලෙස ද , ශික්ෂාපද 13 ක් සංඝාදිසේස ලෙස ද , 2 ක් අනියත ලෙස ද , 30 ක් නිසගි ලෙස ද , 92 පාචිත්තිය ලෙස ද , 4 ක් පාටිදේසනීය ලෙස ද , 75 ක් සේඛියා ලෙස ද , 7 ක් අධිකරණ සමථ ලෙස ද නම් කරන ලදී. ( භික්ඛු විභංගය )

          පසුව භික්ෂුණියන් විෂයෙහි ශික්ෂාපද 8 ක් පාරාජිකා ලෙස ද , 10 ක් සත්තරසක ලෙස ද , 30 ක් නිසගි පචිති ලෙස ද , 166 ක් පාචිත්තිය ලෙස ද , 8 ක් පාටිදේසනීය ලෙස ද , 75 ක් සේඛියා ලෙස ද , 7 ක් අධිකරණ සමථ ලෙස ද නම් කරන ලදී.

          මෙසේ ඉහත දක්වන ලද ආකාරයට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් අසන ලද ප්‍රශ්ණ වලට උපාලි මහරහතන් වහන්සේ විසින් පිළිතුරු සපයන ලදී. පසුව සියලුම විමසීම් අවසානයෙහිදී 500 මහරහතන් වහන්සේලා එක්ව ඒ සියලු කොටස් සංඝායනා කරන ලදී.

          විනය සංඝායනා කොට ධර්මය සංඝායනා කරනු කැමති වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ , ‘ධර්මය සංඝායනා කරන්නා වූ අප කවර නම් තැනැත්තෙකු  දෙටු කොට ධර්මය සංඝායනා කරමු දැ ’ යි විමසූ විට ආනන්ද මහරහතන් වහන්සේ දෙටු කොට ධර්මය සංඝායනා කරමු යැ යි මහා සංඝයා විසින් කියන ලද්දාහ.

සම්මත කිරීම :-
         
අනතුරුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් ආනන්ද මහරහතන් වහන්සේ මෙසේ සම්මත කරන ලදී .
       
   “ සුනාතු මේ ආවුසෝ සංඝෝ , යදි සංඝස්ස පත්තකල්ලං අහං ආනන්ද ධම්මං පුච්චේයියං ” - ආයුෂ්මත් මහා සංඝයා මෙසේ අසත්වා ! පැමිණි කාලය වේ නම් මම  ආනන්ද ආයුෂ්මතුන්ගෙන් ධර්මය පිළිබඳව විචාරන්නෙමි.

                   ඊට පිළිතුරු වශයෙන් ආනන්ද මහරහතන් වහන්සේ මහා සංඝයා වෙත මෙසේ දන්වන ලදී.

“ සුනාතු මේ භන්තේ සංඝෝ , යදි සංඝස්ස පත්තකල්ලං අහං ආයස්මතෝ මහා කස්සපේන විනයං පුට්ඨෝ විසජ්ජෙයියං ” - ආයුෂ්මත් මහා සංඝයා මෙසේ අසත්වා ! පැමිණි කාලය වේ නම් ආයුෂ්මත් මහා කාශ්‍යප මහා තෙරුන් වහන්සේ විසින් ධර්මය පිළිබඳව විචාරනු ලබන ප්‍රශ්ණ මම විසදන්නෙමි.

          පසුව ආනන්ද මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ ආසනයෙන් නැගී සිට සිවුර එකංස කොට ස්ථවීර භික්ෂූන් වැඳ විජිනිපත ගෙන ධර්මාසනයෙහි වැඩ හුන් සේක. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ස්ථවීරාසනයෙහි  වැඩ හිඳිමින් ධර්මය පිළිබඳව ප්‍රශ්ණ කල සේක.

විමසුම් ආකාරය :-

1.සූත්‍රය දේශනා කල ස්ථානය
2.කවරෙක් අරභයා දේශනා කරන ලද්දේද ?
3.සුත්‍ර දේශනාවෙන් කවරෙක් කියවේද ?
4.කවර නිකාය ග්‍රන්ථයකට මෙම දේශනාව අයත් වේද ?


සුත්‍රයක දිග ප්‍රමාණය ගණනය කිරීම :-

අකුරු 8 ක පදයකි. පද සතරක් ගාථාවකි. ගාථාවකට ග්‍රන්ථයක් යැ යි කියනු ලැබේ. එවිට ගාථාවකට අකුරු 32 කි. අකුරු 32 කින් යුක්ත ග්‍රන්ථ 250 ක් බණවරකි. බණවරකට අකුරු 8000 කි. සතර බණවරෙහි අකුරු 32000 කි.

මෙසේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් 5 නිකායක් පිළිබඳව විමසන ලදී. එනම්  දීඝ නිකාය , මජ්ඣිම නිකාය , සංයුක්ත නිකාය , අංගුත්තර නිකාය , ඛුද්දක නිකාය යනුවෙනි.

බුද්ධ වචනය බෙදා දැක්වීම :-

1.     රස වශයෙන් එක් වැදෑරුම් ය.( විමුක්ති රසයෙන් )
2.     ධර්ම විනය වශයෙන් දෙවැදෑරුම් ය.
3.     ප්‍රථම මද්ධ්‍යම පශ්චිම වශයෙන් තෙවැදෑරුම් ය.
4.     පිටක වශයෙන් ද තෙවැදෑරුම් ය.
5.     නිකාය වශයෙන්  පස් වැදෑරුම් ය.
6.     අංග වශයෙන් නව වැදෑරුම් ය. ( නවාංග ශාසනය )
7.     ධර්මස්කන්ධ වශයෙන් 84000 වැදෑරුම් ය.

Ø ‘ අනේකජාතිසංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ...... ’ යනුවෙන් බෝ මැඩ දී කී පරිද්දෙන් මේ වනාහි ප්‍රථම බුද්ධ වචනය යි.
Ø පරිනිර්වාණ අවස්ථාවෙහිදී ‘ හන්දදානි භික්ඛවේ ! ආමන්තයාමි වෝ , වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදේථ  ’ යනුවෙන් අවසාන බුද්ධ වචනය කි සේක.
Ø ඒ අතරතුර දේශනා කරන ලද සියල්ලම මජ්ඣිම බුද්ධ වචනය යි.
Ø විනය - සූත්‍ර - අභිධම්ම පිටක වශයෙන් 3 ආකාර වෙති.
Ø දීඝ නිකාය , මජ්ඣිම නිකාය , අංගුත්තර නිකාය , සංයුක්ත නිකාය , ඛුද්දක නිකාය යනුවෙන් 5 ආකාර වේ.
Ø සුත්ත , ගෙය්‍ය , වෙය්‍යාකරණ , ගාථා , උදාන , ඉතිවුත්තක , ජාතක , අබ්භූත , වේදල්ල යනුවෙන් නවාංග සසුන වේ.

ත්‍රිපිටකය වර්ගීකරණය :-

විනය පිටකය

1.     පාරාජිකා පාළිය
2.     පාචිත්තිය පාළිය
3.     චුල්ලවග්ග පාළිය
4.     මහාවග්ග පාළිය
5.     පරිවාර පාළිය

සූත්‍ර පිටකය

1.     දීඝ නිකාය -සූත්‍ර දේශනා 34 කි.
2.     මජ්ඣිම නිකාය - සූත්‍ර දේශනා 152 කි.
3.     සංයුක්ත නිකාය - සූත්‍ර දේශනා 6672 කි.
4.     අංගුත්තර නිකාය - සූත්‍ර දේශනා 9557 කි.
5.     ඛුද්දක නිකාය

                                i.            ඛුද්දක පාඨ
                              ii.            ධම්මපද පාළිය
                            iii.            උදාන පාළිය
                           iv.            ඉතිවුත්තක පාළිය
                             v.            සුත්ත නිපාතය
                           vi.            විමාන වත්ථු
                         vii.            පේත වත්ථු
                       viii.            ථේර ගාථා
                            ix.            ථේරී ගාථා
                              x.            ජාතක පාළිය
                            xi.            නිද්දේස  ( මහා නිද්දේස,චුල්ල නිද්දේස )
                          xii.            අපදාන පාළිය ( ථේර , ථේරී  )
                        xiii.            පටිසම්භිදාමග්ගප්පකරණය 
                       xiv.            බුද්ධ වංශය
                         xv.            චරියා පිටකය


අභිධම්ම පිටකය

1. ධම්මසංගනීප්‍රකරණය
2. විභංගප්‍රකරණය
3.කථාවත්ථුප්‍රකරණය
4.පුද්ගලප්‍රඥප්තිප්‍රකරණය
5.ධාතුකථාප්පකරණය
6.යමකප්පකරණය
7.පට්ඨානප්පකරණය

සංග්‍රහ ග්‍රන්ථ

1 .            නෙත්තිප්පකරණ 
2 .            පේටකෝපදේසය


සමස්ථ බුද්ධ දේශනාව නවාංග ශාස්තෘ සාසනයට බෙදීම :-

1.     සුත්ත
උභතෝවිභංගය , චුල්ල නිද්දේස , මහා නිද්දේස , ඛන්ධක , පරිවාර යන සියල්ල ද සූත්‍ර නිපාතයෙහි මංගල සූත්‍රය , රතන සූත්‍රය , නාලක සූත්‍රය , තුවටක සූත්‍රය යන සූත්‍රයන්ද සූත්‍ර නාමයෙන් ගැනෙන අන්‍ය වූ සියලු බුද්ධ වචනය ද මේ යටතට අයත් ය.

2.     ගෙය්‍ය
සියලුම ගාථාවන් අයත් ය. විශේෂයෙන් සංයුක්ත නිකායේ එන සගාථ වර්ගය මීට අයත්ය.

3.     වෙය්‍යාකරණ
අභිධම්ම පිටකය අයත්ය.

4.     ගාථා
ධම්මපදය , ථේර - ථේරී ගාථා , සූත්‍ර නිපාතයෙහි සුත්ත යටතට නොගත් ගාථා සියල්ලම අයත්ය.

5.     උදාන
සොම්නස් සහගත නුවනින් කරන ලද ප්‍රීතිමත් ප්‍රකාශනයන් අයත්ය.

6.     ඉතිවුත්තක
‘ වුත්තං හේතං භගවතා ... ’ යනුවෙන් දේශනා කරන ලද සූත්‍ර දේශනා 112 මේ යටතට අයත්ය.

7.     ජාතක
ජාතක කථා පොතේ එන සියලුම ජාතකයන් මීට අයත්ය.

8.     අබ්භූතධම්ම
‘ චත්තාරෝ මේ භික්ඛවේ අච්ඡරියා අබ්භුතා ධම්මා .... ’ යනුවෙන් කල සියලුම දේශනා මීට අයත්ය.

9.     වේදල්ල
චුල්ලවේදල්ල , මහාවේදල්ල , සම්මා දිට්ඨී , සක්ඛපඤ්හ , සංඛාරභාජනීය , මහාපුණ්ණම ආදී නුවණත් සතුටත් ලබමින් විචාරමින් කල සූත්‍ර දේශනා මීට අයත්ය.

සමස්ථ බුද්ධ වචනය :-

          “ ද්වාසිතිං  බුද්ධතෝ ගන්හී - ද්වේසහස්සානි භික්ඛුනෝ
             චතුරාසීති සහස්සානී - යේ මේ ධම්මාපවත්තිතෝ ”

82000 ක ධර්මස්කන්ධයන් බුදුන් වෙතින් ද 2000 ක් ධර්මස්කන්ධයක් දම්සෙනවි ආදී මහතෙරුන්ගෙන් ද උගෙන යම් ධර්මයක් මාගේ හදෙහි පවතී ද ඒ 84000 ධර්මස්කන්ධයන්ගේ ප්‍රභේධ වශයෙන් 84000 කි.

එහි එක් අනුසන්ධියක් ඇති සූත්‍රයක් එක් ධර්මස්කන්ධයක් වේ. නොයෙක් අනුසන්ධි ඇති සුත්‍රයන් වේ ද ඒ ඒ අනුව ධර්මස්කන්ධ ඒ ඒ ගණනින් වේ. ගාථාවන්හි ‘ කති ඡින්දේ කති ජහේ ..’ යනාදී වශයෙන් ප්‍රශ්න ඇසීම් එක් ධර්මස්කන්ධයක් වේ. ‘පඤ්ච ඡින්දේ පඤ්ච ජහේ ....’ යනාදී වශයෙන් විසදීම් ද එක් ධර්මස්කන්ධයක් වේ. අභිධර්මයෙහි එක් එක් වශයෙන් ධර්මස්කන්ධ වේ. විනයෙහි වස්තු , මාතෘකා , පදභාජනීය , ආපත්ති , අනාපත්ති ..... යනුවෙන් ධර්මස්කන්ධයන් ගණනය කෙරේ.

          මෙසේ මෙම සංඝායනාව අවසන් වන විට ඉතාමත් මහත් ලෙසින් මහ පොලොව කම්පා වන්නට විය.


ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ. 
Sudhamma_2009@yahoo.com.

No comments: