Powered By Blogger

Monday, April 30, 2012



පොසොන් පොහොයෙහි වැදගත්කම .


                                     සමණාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා
                                      තමේව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා

‘ මහරජ , ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ අප බෞද්ධ ශ්‍රමණයන්ය . ඔබට අනුකම්පා පිණිස ජම්බුද්වීපයෙන් මෙහි පැමිණියෙමු.’

මෙම ප්‍රකාශය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් සිදු කරන ලද කරුණාබර වූ දේශනාවයි. ශ්‍රී ලංකාවාසී සමස්ථ වැසියන් කෙරෙහි මහත් අනුකම්පාවෙන් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් මෙම ප්‍රකාශය සිදු කරන ලදී. පෙර බුදු බවට පත් වූ කකුසඳ , කෝණාගම , කාශ්‍යප යන ත්‍රිවිධ බුදුවරයන් වහන්සේලා ලක්දිවට වැඩම කල ස්ථානය වන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ද වැඩම කල අනුරපුරේ මිස්සක පර්වතය යි. මුටසීව රජුගේ පුතු වූ දේවානම් පියතිස්ස මහා නිරිදාණන් රාජ්ජ්‍ය කරන කාලයෙහිදී මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය නැවතත් රැගෙන දඹදිව වෙදිසා නුවර සිට ඉට්ඨිය,උත්තිය,සම්බල,භද්දසාල යන භික්ෂූන් ද සුමන සාමණේර ද භණ්ඩුක නම අනාගාමී උපාසකයා ද සමග  පැමිණියහ. මෙහි විශේෂත්වය වන්නේ ලංකා ඉතිහාසය තුල මහරහතන් වහන්සේ කෙනෙකුන් විසින් සිදු කල පැරණිම බුද්ධි පරීක්ෂණය සිදු කිරීමයි. ඒ   මිහිඳු  මහරහතන් වහන්සේ හා දේවානම්පියතිස්ස රජු අතර ඇති වූ අලංකාරවත් උපමා උපමෙයයන්ගෙන් යුක්ත වූ ‘අඹ ප්‍රශ්නය’ යි.  

මෙසේ රජතුමාගේ නුවණ පරීක්ෂාකර බැලූ උන්වහන්සේ රජ ඇතුළු රටවාසීන් මෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම ගැනීම සඳහා අවශ්‍ය බුද්ධියක් ඇති පිරිසක් බව වටහා ගත්තේ ය. පසුව රජු ඇතුළු පිරිසට චුල්ලහත්ථිපදොපම සූත්‍රය ,පෙත වත්ථු , විමාන වත්ථු ,සච්ච සංයුක්තයෙහි එන සුත්‍ර දේශනා , දේවදූත සුත්‍රය , බාල පණ්ඩිත සුත්‍රය , ආසිවිසෝපම සුත්‍රය , අනමතග්ගිය සුත්‍රය , ධම්මචක්කප්පවත්තන ආදී සුත්‍ර දේශනාවන්ගෙන් ධර්මය දේශනා කල සේක. මෙහිදී ලංකාද්වීපයේ ප්‍රථම ආරාම පූජාව වන මහමෙවුනා උයන පූජා කිරීමත් , මහා විහාර සම්ප්‍රදාය ආරම්භවීමත් සිදුවිය. පසුව මිහිඳු මහරහතන් වහන්සේ සමන් මල පූජා කිරීමෙන් අටමස්ථානය , සීමා මාලකය , ඡන්තාගාර පොකුණ , ජය ශ්‍රී මහා බොධිය , ලෝවාමහාපාය , රුවන්වැලි මහා සෑය , තිස්සමහාරාමය , ථූපාරාමය , මිරිසවැටිය , ඉසුරුමුණිය ආදී පූජනීය ස්ථානයන් පිහිටුවන ස්ථානයන් සලකුණු කර ඒ ඒ තැන් වල ශිලා හා රන් , තඹ පත් නිධන් කරන ලදී.

මිහිඳු හිමියන් රටට ඉගැන්වූ මෙම නව ධර්ම මාර්ගය අන්තගාමී නොවූ අර්ථාන්විත අවිහිංසා මාර්ගයක් වූ අතර මහා සඟ රුවනෙහි පිළිවෙත්  හා ඉගැන්වීම් නිසා රට තව තවත් දැහැමි විය. එසේම ලංකාවේ ප්‍රථම පැවිදි උපසම්පදාව වන භණ්ඩුක කුමාරයාගේ පැවිදි උපසම්පදාව ද  සුමන සාමණේරයන් වහන්සේ විසින් මිහිඳු හිමියන්ගේ ආරාධනාවෙන් කරන ලද ‘ ධම්මස්සවණ කාලෝ අයං භදන්තා ....’ යන ධර්ම ඝෝෂාව සමස්ථ ලංකාවටම ඇසීම ද සක්වල සියලු දෙවියන්ගේ රැස්වීම ද සමචිත්තපරියාය සුත්‍ර දේශනාව ද මෙහිදී දේශනා කරන ලදී.

මෙසේ විවිධ වූ ශාසනික වූත් රාජ්ජ්‍ය තාන්ත්‍රික වූත් ඓතිහාසික කරුණු රැසක පොසොන් මස සිදු වූ අතර එම සියලු කරුණු මෙම පොසොන් පුර පසළොස්වක පොහෝ දින සිහිපත් කරනු ලබයි. මෙසේ මෙම කාල පරාසය තුල අනන්ත සංඛ්‍යාත ශ්‍රද්ධාවන්ත පින්වතුන් සසර දුකින් එතෙර වනු පිණිස බොහෝ පින් කුසල් දහම් රැස් කර ගත්හ.

තෙරුවන් සරණයි !


ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ.
sudhamma_2009@yahoo.com


         

No comments: