Powered By Blogger

Monday, August 6, 2012



සූත්‍ර සාකච්ඡාව -ASLBV                                                                                           tute – 07.


ඉත්ථි රූප පරියාදාය සූත්‍රය - 07 කොටස

රූපයෙහි ආදීනවය විමසා බැලීම

          ආශ්වාදය පිළිබඳව අධ්‍යනය කිරීමෙන් පසුව ඔබ විසින් ආදීනවය පිළිබඳව දේශණා කර ඇති දහම් කරුණු ඉගෙනගැනීම වඩාත් උචිතය. ආශ්වාදය පිළිබඳව ඉගෙන ගැනීමෙන් සසර ගමනට සත්ත්වයා බැඳෙන ආකාරය පිළිබඳව දැනගත හැක.ආදීනවයන් පිළිබඳව ඉගෙන ගැනීමෙන් සසරෙහි වින්දනය කරන්නට වන දුක් ස්වභාවය පිළිබඳව ඉගෙන ගැනීමට හැක. එමනිසා ආදීනවයන් පිළිබඳව දැනගැනීම විරාග සිතුවිලි ඇතිකර ගැනීම සඳහා මහත් පිටිවහලක් වනු ඇත.

ආදීනවය යනු කුමක්ද?

          ආදීනවය පිළිබඳව විමසා බැලීමේදී ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව විමසා බැලිය යුතුය. එවිට මෙම ආදීනවය ඒ ඒ අරමුණු විෂයෙහි පවත්නා ආකාරය පිළිබඳව වටහා ගත හැකිය.

1.     අර්ථකථනය කිරීම
2.     උපදනා / නූපදනා ස්ථානයන් අනුව බෙදීම
3.     කාලය අනුව බෙදීම
4.     වස්තු භේදය අනුව බෙදීම
5.     සත්ත්ව පුද්ගල භේදය අනුව බෙදීම
6.     කුසල / අකුසල කර්ම විපාක අනුව බෙදීම
7.     මේ පිළිබඳව ඇති බුද්ධ දේශනාවන්
8.     දැකගත යුත්තේ ඇයි?
9.     දැක ගන්නා පිළිවෙත
යන කරුණු පිළිබඳව දැනගත යුතුය.



01.                         අර්ථකථනය කිරීම

          ආදීනවය යනු ‘ හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියල්ල තුල පවත්නා දුක් ස්වභාවය’ යි.

 ඇස - කණ - නාසය - දිව - ශරීරය - මනස යන ආයතනයන්ට ගෝචර වන රූප - ශබ්ද - ගන්ධ - රස - ස්පර්ශ - ධම්ම යන අරමුණු කිසිම අවස්ථාවකදී නිත්‍ය - සුඛ - ආත්මීය ස්වභාවයක් නොගනී. එහි සත්‍ය ස්වභාවය නම් අනිත්‍ය - දුක්ඛ - අනාත්ම ස්වභාවය යි. එයට හේතුව වන්නේ ඒ සියලුම අරමුණු හේතු ප්‍රත්‍යයෙන් (සංඛත ධාතුවෙන් ) හටගෙන තිබීමයි.ඒ සියලුම හේතු ප්‍රත්‍යයන් නිසා හටගත් දේ තුල ප්‍රධාන ලක්ෂණයන් තුනක් දක්නට ලැබේ. එය මෙසේ දේශණා කර තිබේ.

‘ තීණි’මානි භික්ඛවේ සංඛතස්ස සංඛතලක්ඛනානි. කතමානි තීණි: උප්පාදෝ පඤ්ඤායති , වයෝ පඤ්ඤායති , ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. ඉමානි ඛෝ භික්ඛවේ තීණි සංඛතස්ස සංඛතලක්ඛනානි’.

මහණෙනි , හේතුප්‍රත්‍යයන්ගෙන් සකස් කරන ලද සියලුම සංඛතයන් කෙරෙහි දක්නට ලැබෙන ලක්ෂණ තුනකි. කවර තුනක් ද යත්: ඉපදීම දක්නට ලැබෙයි , විනාශවීම දක්නට ලැබෙයි , (වෙනස් වෙමින් ) විපරිණාමයට පැමිණීම දක්නට ලැබෙයි. මහණෙනි , මේ  හේතුප්‍රත්‍යයන්ගෙන් සකස් කරන ලද සියලුම සංඛතයන් කෙරෙහි දක්නට ලැබෙන ලක්ෂණ තුනකි.

( අංගුත්තර නිකාය. තික නිපාතය. පඨම පණ්ණාසකය. චූල වර්ගය. 3:1:5:7. 2550 බු.ජ.ත්‍රි.පිටුව )

          ලොව හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත් කිසිවක් ( සංස්කාර ) නිත්‍ය නොවේ. එයට හේතුව වන්නේ හේතු ධර්මතාවයන් සම්මුඛ වන කල්හිදී ඵලයන් දක්නට ලැබීමත්  , හේතු ධර්මතාවයන් බිදී යන කල්හිදී එම ඵලයන් විනාශ වීමත්ය. නිත්‍ය ස්වභාවය නම් යමක සදාකාලිකව පවත්නා වෙනස් නොවන බවයි. නමුත් සංඛතයන් එසේ නොවේ. එහි ස්වභාවය හටගෙන වෙනස්ව විනාශ වීමයි. මේ නිසා සියලුම සංඛතයන් අනිත්‍ය වේ. මෙසේ හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත් සියල්ල වෙනස්වන කල්හිදී එය වෙනස්වන්නට නොදී තමන් විෂයෙහි බලය පතුරුවමින් එම වෙනස්වීම තමන්ට පාලනය කිරීමට උත්සහ ගත්තද එය කළ නොහැක. එසේ පාලනය කල හැකිනම් සියලුම සංඛත ධාතූන් ආත්ම විය යුතුය. එසේ නොවන බැවින් ඒ සියල්ලම අනාත්ම වේ. යමක් වෙනස් වන්නේ නම් එය තමා කැමති පරිද්දෙන් පාලනය කරගත නොහැකිනම් එහි අවසාන ඵලය වන්නේ කාය චිත්ත පීඩාවයි. එම කාය චිත්ත පීඩාව වනාහි සුවයක් නොවේ. දුකකි. මෙසේ තමන් කැමති කැමති ලෙස ඉන්ද්‍රියන් පිනවන්නට ඇති නොහැකියාව දුක නම් වේ.දුකෙහි ලක්ෂණය නම් පීලනයට පත් කිරීම යි.

දුක පිළිබඳව පටිසම්භිදාමග්ගප්පකරණයෙහි මෙසේ දේශණා කර තිබේ.

‘ ඉදං දුක්ඛ’න්ති භික්ඛවේ තථමේතං අවිතථමේතං අනඤ්ඤථමේතං.

මහණෙනි , දුක යැ යි යන මෙය යථාස්වභාවයෙන් යුක්ත බැවින් තථ නම් වේ. විපරීතභාවයෙන් යුක්ත නොවන බැවින් අවිතථ නම් වේ. අන්‍ය ස්වභාවයක් රහිත බැවින් අනඤ්ඤථ නම් වේ.

( සූත්‍ර පිටකය. ඛුද්දක නිකාය. පටිසම්භිදාමග්ගප්පකරණය - 2. යුගනද්ධ වර්ගය. සත්‍ය කථා. 2550 බු.ජ.ත්‍රි.පිටුව - 20 /21 )

          චත්තාරෝ දුක්ඛස්ස දුක්ඛට්ඨා තථා අවිතථා අනඤ්ඤථා: දුක්ඛස්ස පීලනට්ඨෝ සංඛතට්ඨෝ සන්තාපනට්ඨෝ විපරිනාමට්ඨෝ .

          දුකෙහි තථ වූ  අවිතථ වූ අනඤ්ඤථ වූ දුඃඛාර්ථයෝ සතර දෙනෙක් වෙති. එනම් , දුකෙහි පීඩනාර්ථය යි. ආයූහනාර්ථය යි. සන්තාපනාර්ථය යි. විපරිනාමාර්ථය යි.

          පීඩනාර්ථය නම් සිත කය පීඩාවටපත් කිරීමයි. ආයූහනාර්ථය නම් රැස්කිරීම යි. සන්තාපනාර්ථය නම් දවන බවයි. විපරිනාමාර්ථය නම් වෙනස් වන බවයි.

( සූත්‍ර පිටකය. ඛුද්දක නිකාය. පටිසම්භිදාමග්ගප්පකරණය - 2. යුගනද්ධ වර්ගය. සත්‍ය කථා. 2550 බු.ජ.ත්‍රි.පිටුව - 22 /23 )

 තවද , දුක වනාහි ,
                            I.            දුක්ඛ දුක්ඛ
                          II.            විපරිනාම දුක්ඛ
                       III.            සංස්කාර දුක්ඛ
                       IV.            පටිච්ඡන්න දුක්ඛ ( වැසුණු දුක )
                         V.            අප්පටිච්ඡන්න දුක්ඛ ( නොවැසුණු දුක )
                       VI.            පරියාය දුක්ඛ
                    VII.            නිෂ්පරියාය දුක්ඛ
යනුවෙන් වර්ගීකරණය කර තිබේ.

දුක්ඛ දුක්ඛ නම් ශරීරයෙහි හටගන්නා සියලුම දුක් ද සිතෙහි හටගන්නා දෝමනස්සයන් ද ( දුක්ඛ වේදනාව ) යන සියල්ල ය. විපරිනාම දුක නම් සුඛ වේදනාවගේ වෙනස් වීම නිසා ඇතිවන දුකයි. සංස්කාර දුක නම් උපේක්ෂා වේදනාව හා සියලු සංස්කාර ධර්මයන්ගේ වෙනස්වීම නිසා හටගන්නා දුකය. පටිච්ඡන්න දුක නම් නොපෙනෙන දුකය. එනම් රාග - ද්වේශ - මෝහාදී අකුසලයන් නිසා හටගන්නා දුක් ය. අප්පටිච්ඡන්න දුක නම් අතින් පයින් පහරදීම් , කැපීම් , කෙටීම් ආදියෙන් ඇතිවන දුකය. පරියාය දුක නම් ජාති , ජරා , ව්‍යාධි , මරණ , සෝක , පරිදේව , උපයාසයන් නිසා හටගන්නා දුකය. නිෂ්පරියාය දුක නම් දුක්ඛ දුක්ඛය යි.

02.                         උපදනා / නූපදනා ස්ථානයන් අනුව බෙදීම

ආදීනවය වනාහි සංඛත ධාතුවෙහි පමණක් උපදී. අසංඛත ධාතුවෙහි නූපදී. සංඛත ධාතුව නම් සියලුම සංස්කාර ධර්මයන් ය. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සියල්ලම ය. අසංඛත ධාතුව නම් නිවන යි. නිවන තුල හේතු ප්‍රත්‍යයන්ගේ සමාවායයක් නොමැත. එබැවින් නිවන පරම සුවය ය යි කියනු ලැබේ.

03.                        කාලය අනුව බෙදීම

යම් කිසි අයෙක් අතීත රූපය අරමුණු කරගෙන එම රූපය නිසා යම් දුකක් දොම්නසක් උපදවාද එම දුක ඔහුට අතීත රූපය නිරුද්ධ බව නොදැනීම නිසාම උපදී. තවමත් නොපැමිණි අනාගත රූපය කෙරෙහි යම් අයෙක් දුකක් දොම්නසක් උපදවාද එම දුක ඔහුට තවමත් නොපැමිණි අනාගත රූපය නිසාම ඉපදුනේ වේ. වර්තමාන රූපය හේතුප්‍රත්‍යන්ගෙන් හටගත් බව නොදන්නා නිසාත් හේතු ඇතිවිට ඇතිවන බවත් හේතු නිරුද්ධ වන විට නිරුද්ධ වන බවත් නොදන්නා අවිද්‍යාව නිසා දුක උපදී.

04.                        වස්තු භේදය අනුව බෙදීම

ඇතැමෙකුට ප්‍රිය දෙයක් තවත් අයෙකුට අප්‍රිය විය හැක. එසේම එයම තවත් අයෙකුට මධ්‍යස්ථ විය හැක. මේ නිසා එකම අරමුණ නමුත් එකිනෙකාගේ රුචි අරුචිය අනුව එකම වස්තුව නමුත් ප්‍රතිඵලය වෙනස් වේ. කෙනෙකුට අතිශය රාග දාහයක් උපදනා රුපයක් තවත් අයෙකුට මධ්‍යස්ථ හෝ උපේක්ෂා සහගත විය හැක.

05.                        සත්ත්ව පුද්ගල භේදය අනුව බෙදීම

සත්ත්ව පුද්ගල භේදය ද මේ සඳහා බලපායි. මිනිසාට ප්‍රිය බව ඇති කරන රූපය දෙවියන්ට අප්‍රිය දුක ගෙනදෙන දෙයක් විය හැක. තිරිසන්ගත සත්ත්වයාට සැප ගෙන දෙන රූපය මිනිසාට දුක ගෙන දෙන්නක් විය හැක.

06.                        කුසල / අකුසල කර්ම විපාක අනුව බෙදීම

දෙවියන්ට තමන්ගේ රූපය නිසා යම් දුකක් විදින්නට වේ ද ඊට සාපේක්ෂව දැඩි දුකක් මිනිසුන්ට හා තිරිසන්ගත සත්ත්වයන්ට විදින්නට සිදු වේ. රූපය නිසා විදින දුකට වඩා ඔවුන්ට සංස්කාර විපරිනාමය නිසා විඳින්නට වන දුක වැඩිය.

07.                        මේ පිළිබඳව ඇති බුද්ධ දේශනාවන්

                               I.            මහා දුක්ඛක්ඛන්ධෝපම සූත්‍රය

මහණෙනි , රූපයෙහි ආදීනවය කවරෙක්ද? මහණෙනි , මෙහි පසුකලෙකදී , ඉපදීමෙන් 80 හැවිරිදි වූ හෝ 90 හැවිරිදි වූ හෝ 100 හැවිරිදි වූ හෝ ජරාවෙන් ජීර්ණ වූ ගොනැස්සක් සේ වක් වූ සැරයටිය පිහිට කොට ඇති වෙවුලමින් යන රෝගී වූ පහ වූ යොවුන් බව ඇති කඩ දත් ඇති පැසුණු වැටුණු කෙහෙ ඇති හටගත් ඇග රැලි ඇති තලකැලැල් ගැවසුණු ශරීර ඇති යමෙක් දක්නට ලැබේද , මහණෙනි , කීම සිතන්නෙහුද පෙර වූ යම් සුභ වර්ණයක් වේ ද , එය අතුරුදහන් වේ ද , ආදීනවය පහල වීද? වහන්ස , එසේමය. මහණෙනි , මෙය රුපයේ ආදීනවය යි.

නැවත ද අනිකක් වෙයි. මහණෙනි , රෝගී වූ දුක්ඛිත වූ දැඩිව ගිලන් වූ තමාගේම මල මුත්‍ර ගොඩෙහි ගැලී හොවින අනුන් විසින් නැගිටවනු ලැබිය යුතු අත් පා මෙහෙවර කළ  යුතු යමෙක් දකින්නේ ද , මහණෙනි , කීම සිතන්නේහුද පෙර වූ යම් සුභ වර්ණයක් වේ ද , එය අතුරුදහන් වේ ද , ආදීනවය පහල වීද? වහන්ස , එසේමය. මහණෙනි , මෙය රුපයේ ආදීනවය යි.
නැවත ද අනෙකක් වෙයි. මැරී එක දවසක් ගියා වූ දින දෙකක් තුනක් ගියා වූ ඉදිමුණු නිල් වූ හටගත් පිළිකුල් සැරව ඇති සොහොනෙහි දැමූ යම් සිරුරක් දකින්නේ ද , මහණෙනි , කීම සිතන්නේහුද පෙර වූ යම් සුභ වර්ණයක් වේ ද , එය අතුරුදහන් වේ ද , ආදීනවය පහල වීද? වහන්ස , එසේමය. මහණෙනි , මෙය රුපයේ ආදීනවය යි.

නැවත ද අනිකක් වෙයි. කවුඩන් විසින් කණු ලබන්න වූ හෝ උකුස්සන් විසින් කණු ලබන්න වූ හෝ ගිජුලිහිණියන් විසින් කණු ලබන්නා වූ හෝ බල්ලන් සිවලුන් විසින් කණු ලබන්නා වූ හෝ විවිධ ප්‍රාණීන් විසින් කණු ලබන්නා වූ හෝ සොහොනෙහි දමන ලද යම් සිරුරක් දකින්නේ ද , මහණෙනි , කීම සිතන්නේහුද පෙර වූ යම් සුභ වර්ණයක් වේ ද , එය අතුරුදහන් වේ ද , ආදීනවය පහල වීද? වහන්ස , එසේමය. මහණෙනි , මෙය රුපයේ ආදීනවය යි.
නැවත ද අනෙකක් වෙයි. ඇටසැකිල්ලක් වූ මස් ලේ සහිත වූ නහරින් බැඳුණු ..... ඇටසැකිල්ලක් වූ මස් නැති ලේ තැවරුණු නහරින් බැඳුණු ..... ඇටසැකිල්ලක් වූ මස් ලේ නැති නහරින් බැඳුණු ..... අන් තැනක අත් ඇටය , අන් තැනක පා ඇටය , අන් තැනක දන ඇටය , අන් තැනක කලවා ඇටය , අන් තැනක උකුළු ඇටය , අන් තැනක පිට කටුවය , අන් තැනක හිස කබලය යැ යි පහ වූ බැඳුම ඇති විවිධ දිශාවන්ට විසිරුණු ඇට ඇති සොහොනක දමන ලද යම් සිරුරක් දකින්නේ ද , මහණෙනි , කීම සිතන්නෙහුද පෙර වූ යම් සුභ වර්ණයක් වේ ද , එය අතුරුදහන් වේ ද , ආදීනවය පහල වීද? වහන්ස , එසේමය. මහණෙනි , මෙය රුපයේ ආදීනවය යි.
නැවත ද අනෙකක් වෙයි. මහණෙනි , සුදු වූ සක් පැහැ ඇති ඇට ඇති ..... අවුරුදු ගණන් ඉක්ම ගියා වූ රැස් වූ ඇට ඇති ..... කුණු වූ සුණු වූ ඇට ඇති සොහොනෙහි දමන ලද යම් සිරුරක් දකින්නේ ද , මහණෙනි , කීම සිතන්නේහුද පෙර වූ යම් සුභ වර්ණයක් වේ ද , එය අතුරුදහන් වේ ද , ආදීනවය පහල වීද? වහන්ස , එසේමය. මහණෙනි , මෙය රුපයේ ආදීනවය යි.

( සූත්‍ර පිටකය. මජ්ඣිම නිකාය-1. මූල පණ්ණාසකය . සීහනාද වර්ගය. මහා දුක්ඛක්ඛන්ධෝපම සූත්‍රය. 1:2:3. 2550 බු.ජ.ත්‍රි.පිටුව )

                             II.            සමාධි භාවනා සූත්‍රය

මහණෙනි , මේ සස්නෙහි මහණ පතයි. මැනවි යි ලෝභ වශයෙන් කියයි. බැසගෙන සිටී. කුමක් පතාද: මැනවි යි කියාද: බැසගෙන සිටීද: රූපය පතයි. මැනවි කියයි. එහි බැසගෙන සිටී. රූපය පතන මැනවි කියන බැසගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. රූපයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය ඔහුට උපාදානය යි. උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවය වේ. භව ප්‍රත්‍යයෙන් ජාතිය වේ. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හට ගනිත්. මෙසේ මේ හුදු දුක් රැසෙහි සමුදය වේ.

( සූත්‍ර පිටකය. සංයුක්ත නිකාය.ඛන්ධ සංයුක්තය. මූල පණ්ණාසකය. නකුලපිතු වර්ගය. 1:1:1:5. 2550 බු.ජ.ත්‍රි.පිටුව - 22 / 25 )

                          III.            අභිජාන සූත්‍රය

මහණෙනි , රූපය ඥාත පරිඥා වශයෙන් නො දන්නේ තීරණ පරිඥා වශයෙන් නො දන්නේ පහාන පරිඥා වශයෙන් නො ඉක්මවනුයේ දුක්ඛක්ෂය පිණිස අභවය ය...

( සූත්‍ර පිටකය. සංයුක්ත නිකාය.ඛන්ධ සංයුක්තය. මූල පණ්ණාසකය. භාර වර්ගය. 1:1:3:3. 2550 බු.ජ.ත්‍රි.පිටුව - 48 / 49 )
                          IV.            පඨම අස්සාද සූත්‍රය

‘යං රූපං අනිච්චං දුක්ඛං විපරිනාම ධම්මං , අයං රුපස්ස ආදීනාවෝ’.

යම් රුපයක අනිත්‍ය බවක් හෝ දුක් සහගත බවක් හෝ වෙනස්වන බවක් හෝ වේ ද , එය රූපයෙහි ආදීනවය යි.

( සූත්‍ර පිටකය. සංයුක්ත නිකාය.ඛන්ධ සංයුක්තය. මූල පණ්ණාසකය. භාර වර්ගය. 1:1:3:5. 2550 බු.ජ.ත්‍රි.පිටුව - 50 / 51 )


08.                        දැකගත යුත්තේ ඇයි?

සත්ත්වයා සසරට අද බැඳ තබා ගැනීමට හේතුවන ප්‍රධානම හේතුවක් වන්නේ පංචස්ඛන්ධය පිළිබඳව පවත්නා උපාදානය යි. මෙම උපාදානය හේතුකොටගෙන සසර ගමනක  යෙදෙන සත්ත්වයා සතර අපායාදී දුක් සහිත ස්ථානයන්හි ඉපදීමට කරුණු සකස් කරයි. ජාති ජරා... ආදී බොහෝ දුක්ඛයන්ට පාත්‍ර කරයි. මෙ නිසා සසර දුකින් මිදීම පිණිස එහි වැදගත්කම පිළිබඳව දැනගැනීමටත් ආදීනවය පිළිබඳව දැනගත යුතුය.

                               I.            තතිය අස්සාද සූත්‍රය

මහණෙනි , රූපයෙහි ආදීනවයක් නොවේ නම් , සත්ත්වයා රූපය කෙරෙහි කළකිරීමක් ඇති කර නොගන්නේ ය.

( සූත්‍ර පිටකය. සංයුක්ත නිකාය.ඛන්ධ සංයුක්තය. මූල පණ්ණාසකය. භාර වර්ගය. 1:1:3:7. 2550 බු.ජ.ත්‍රි.පිටුව - 52 / 53 )

09.                        දැක ගන්නා පිළිවෙත

                               I.            සමාධි භාවනා සූත්‍රය

මහණෙනි , මේ සස්නෙහි මහණ නො පතයි. මැනවි යි ලෝභ වශයෙන් නො කියයි. බැසගෙන නො සිටී. කුමක් නොපතාද: නොමැනවි යි කියාද: නොබැසගෙන සිටීද: රූපය නොපතයි. නොමැනවි කියයි. එහි බැසගෙන නොසිටී. රූපය නොපතන මැනවි නොකියන බැසගෙන නොසිටින ඔහුට තෘෂ්ණාව නිරුද්ධ වේ. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ. භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ. ජාති නිරෝධයෙන් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන් නිරුද්ධ වේ. මෙසේ එ හුදු දුක් රැසෙහි නිරෝධය වේ.

( සූත්‍ර පිටකය. සංයුක්ත නිකාය.ඛන්ධ සංයුක්තය. මූල පණ්ණාසකය. නකුලපිතු වර්ගය. 1:1:1:5. 2550 බු.ජ.ත්‍රි.පිටුව - 22 / 25 )



ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ
Sudhamma@buddhism.au.com