Powered By Blogger

Saturday, June 16, 2012


සූත්‍ර සාකච්චාව - ASLBV                                                                     tute – 04


ඉත්ථිරූප පරියාදාය සුත්‍රය - 04 කොටස.

මෙකල විදසුන් වඩා මගඵල ලැබිය හැකිද?

          වර්තමානය වනවිට විවිධ අයගේ විවිධ මතිමතාන්තර නිසා බුදුදහම පිළිබඳව දුර්මතයන් ඇතිවී ඇත. නිවැරදිව බුදුදහම පිළිබඳව අධ්‍යනය නොකිරීම නිසාත් මදක් නමුත් දැනගෙන මහත් සේ කතාකිරීමට යාම නිසාත් බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ වචනය හා පුරාණ ආචාර්ය මතයන් පසෙකලා තම තමන්ට රිසි රිසි පරිද්දෙන් අර්ථ ලබාදීමට යාම නිසාත් මෙසේ වැරදි මතයන් එක් වී තිබේ. එසේම තමන් පමණක් සියල්ල දන්නා බවත් අනුන් කිසිවක් නොදන්නේය යන මාන්නය නිසාත් තමන් කියනා දේ පමණක්ම නිවැරදි බවත් අනුන් කියනා සියල්ලම අසත්‍ය බවත් අටුවා , ටීකා , පුරාණ ධර්ම ග්‍රන්ථ හා ආචාර්ය මත අසත්‍ය බවත් සියල්ල දන්නා අය සේ කියන්නට යාම මෙම තත්වය වඩාත් උත්සන්න වී ඇත. මේ නිසා විශේෂයෙන් ධර්මය අධ්‍යනය කරන්නන් හා දේශනා කරනු ලබන්නන් විමසිලිමත් වීම වඩාත් වටී.       අද වන විට බොහෝ දෙනාගේ මතයක් වනුයේ නිවන් දැකීම සඳහා දානාදී පින්කම් සිදු කරමින් සීලාදී ගුණධර්ම වඩමින් යම් ම හෝ භාවනා ක්‍රමයක් වර්ධනය කිරීම ම පමණක් මාර්ගඵල ලැබීම සඳහා ප්‍රමාණවත් වන බවයි. මෙය බුදුරජාණන් වහන්සේලාගේ ඉගැන්වීම ඉක්මවායන වැරදි මතයකි. මෙසේ ධර්මය වැරදි ලෙස අල්ලා ගැනීම නිසාත් සීලයෙන් පමණක් නිවන් දැකිය හැකිය යන මතයට අනුව සීලබ්බතපරාමාසයෙන් යුක්තව දහම  අල්වා ගනිමින් මාර්ගය වරදා ගත්තවුන් ද දැකගත හැක. එසේම දන් දීම් ආදී විවිධ පුණ්‍යමය කටයුතු වල පමණක් යෙදීමෙන් ම පමණක් ධර්මය අවබෝධවන බව කියමින් මග වරදවා ගත්තවුන් ද බහුලව දැකිය හැකිය.

          තවද සමහරෙක් විසින් කෝ අද මාර්ගඵල ලාභීන් සිටිනවානම් පෙන්වන්න කියා විකට බස් කියමින් තමන්ගේ මෝඩකම් පණ්ඩිතකම් සේ පෙන්වා සැනසෙන්නට යන ස්වභාවය නිසාත් මෙම තත්වය වඩාත් භයානක වී ඇත. අප විසින් පිලිගත යුත්තේ අපගේ දැනුම මෙම විශ්වීය දැනුම හා සසදන විට අංශුමාත්‍ර පමණකටවත් නැති බවය. එසේම අප නොදන්නා බව හෝ දන්නා දේ අල්ප බව හෝ බුදුවරුන් සියල්ල දන්නා බවත් මේ විශ්වයේ සියල්ලම අපට විෂය නොවන බවත් අවංකව පිළිගැනීමට තරම් නිහතමානි වීම ධර්මය හදාරන්නෙකු සමීපයෙහි විශේෂයෙන්ම තිබිය යුතු ගුණයකි. අතීතයේ ලක්දිව සිතුල්පව්ව විහාරයෙහි වාසය කල එක්තරා බුඩ්ඩ පබ්බජිත කෙනෙකුන් ( ඉතා වයස්ගතව පැවිදි වූවකු ) එම විහාරයෙහි වාසය කරනු ලබන එක්තරා රහතුන් වහන්සේ කෙනෙකුන් හට උපස්ථායක විය. දිනක් පිණ්ඩපාතය වැඩම කරනු ලබන විටෙකදී මෙම මහළු පැවිද්දා විසින් ස්වාමිනි, ආර්යන් වහන්සේලා නම් කෙබදුවේ දැ යි විමසීය. එයට රහතන් වහන්සේ විසින් සමහරුන් ආර්යන් වහන්සේලා සමගින් එක්ව විසුවද ආර්යන් නොහඳුනති යි කීහ. එයද ඔහුට නොවැටහුනේය.

          මගඵල ලැබීම වනාහි හතු පිපෙන්නාක්සේ වන කටයුත්තක් නොවේ. ඒ සඳහා පුරාණ බුදුවරයන් හමුවේ පාරමිතාවන් සම්පූර්ණ කරමින් මහත් වීර්යකින් පැමිණිය යුතුය. තමන් විසින් ප්‍රර්ථනා කරන්නා වූ බෝධියෙන් සසර දුක නිවීම පිණිසම අරමුණු කරමින් එම ගමන පැමිණිය යුතුය. එසේ පැමිණි අය හට මේ බුදු සසුනෙහිදී මග ඵල ලැබීම දුෂ්කර නොවේ. එනමුත් ඔවුන්ට පවා කල්‍යාන මිත්‍ර සම්පත්තිය , සද්ධම්ම ශ්‍රවනය , යෝනිසෝ මනසිකාරය හා ධම්මානුධම්මපටිපන්න බව ලැබිය යුතුම ය. මගඵල ලැබීමේ වාසනා ගුණය තිබූ පමණින් සියල්ල සම්පූර්ණ නොවේ. උදාහරණයක් ලෙස මගඵල ලැබියහැකි වුවත් බුද්ධ ශාසනයක් නොමැති කාලයකදී නම් ඔහුට කිසිවිටෙකත් මගඵල නොලැබේ.

          එසේම යම් අයෙකු හට මගඵල ලැබීමේ උවමනාවක් වේ නම් ඔහු අනිවාර්යෙන්ම විදර්ශනා භාවනාවම වැඩිය යුතුම ය.

භාවනාව යනු:-

          ‘කුසලාරම්මනේ චිත්තං භාවෙතී’ති භාවනා.

          කුසල අරමුණක සිත වර්ධනය කිරීම භාවනාව යි. කුසලය නම් රාග , ද්වේශ , මෝහ ... ආදී අකුසල පාර්ශ්වික ධර්මයන් නසනු ලබන එසේම ඊට විරුද්ධව ක්‍රියාත්මක වනු ලබන ධර්ම සමුහයෝ ය.

          ප්‍රධාන වශයෙන් භාවනා ක්‍රමයන් 02 ක් වෙති.

1.     සමථ භාවනාව
2.     විදර්ශනා භාවනාව.

සමථ භාවනාව:-

          පංචනීවරණ යටපත් කරමින් ධ්‍යානාංග උපදවමින් සිතේ හටගත් කෙලෙසුන් යටපත් කිරීම සඳහා අනුගමනය කරනු ලබන භාවනා ක්‍රමය වන්නේ සමථ භාවනාවයි. මෙම ක්‍රමයෙන් කෙලෙසුන් නසා මාර්ගඵලාදියට පත්වීම කිසිවිටෙකත් සිදු නොවේ.

විදර්ශනා භාවනාව:-

          විශේෂ ඥානයෙන් දැකීම විදර්ශනාව යි. ස්ඛන්ධ , ධාතු , ආයතන , පටිච්චසමුප්පාද ආදී වශයෙන් සංස්කාර ධර්මයන් පිළිබඳව විශේෂයෙන් නුවනින් යුතුව සලකා බැලීම මෙහිදී සිදු කෙරේ. නිවන් දැකීම සඳහා බලාපොරොත්තු වන යමෙකු වේ නම් ඔහු විසින් අනිවාර්යෙන්ම විදර්ශනා භාවනාව වර්ධනය කල යුතුය.

          භාවනා කිරීමට ප්‍රථම ‘පූර්ව කෘත්‍ය’ සිදුකර ආරම්භ කිරීම වඩාත් සුදුසු බව මතක තබා ගන්නේ මැනවි.( tute – 03 බලන්න.)

ඉත්ථිරූප පරියාදාය සූත්‍රයට අනුව විදසුන් වැඩීම:-

          මෙම සූත්‍රයෙන් විග්‍රහ කරනු ලබන්නේ රූපය පිළිබඳවය. එබැවින් ප්‍රථමයෙන්ම රූපය පිළිබඳව යම් පමණකට හෝ අවබෝධයක් ලබා ගැනීම සුදුසුය. මෙහිදී රූපය පිළිබඳව පහත මාතෘකාවන්ට අනුව ආරම්භක වශයෙන් සලකා බැලීම කළ යුතුය.

1.     රූපය පිළිබඳව ඇති අර්ථකථන කුමක්ද?
2.     රූපයෙහි ආශ්වාදය කුමක්ද?
3.     රූපයෙහි ආදීනවය කුමක්ද?
4.     රූපයෙහි නිස්සරණය කුමක්ද?
5.     රූපයෙහි හටගැනීම් ස්වභාවය ( උදය ස්වභාවය ) කුමකද ?
6.     රූපයෙහි නැතිවීම් ( වැය ස්වභාවය ) කුමක්ද?

මෙසේ බැලීමේ ඇති වැදගත්කම:-

          රූපේ ඛෝ ආවුසෝ , අවිගතරාගස්ස අවිගතඡන්දස්ස අවිගතපෙමස්ස අවිගතපිපාසස්ස අවිගතතණ්හස්ස තස්ස රුපස්ස විපරිමඤ්ඤතාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසා. - පෙ -

          ඇවැත්නි , රූපය පිළිබඳව රාගය දුරු නොකලා වූ ඡන්දය දුරු නොකලා වූ ප්‍රේමය දුරු නොකලා වූ පිපාසය දුරු නොකලා වූ තණ්හාව දුරු නොකලා වූ ඔහු හට එම රූපයෙහි වෙනස්වීම අන් ස්වරූපයකට පැමිණීම නිසා ශෝකය , පරිදේවය , කායික දුක , මානසික දොම්නස , උපයාසයන් උපදී.

( සූත්‍ර පිටකය. සංයුක්ත නිකාය. ඛන්ධ සංයුක්තය. මූල පණ්ණාසකය. නකුලපිතු වර්ගය. 02 සුත්‍රය. 2550 බු.ජ.ත්‍රි.පිටුව - 08 )

          ස්කන්ධ පංචකය පිළිබඳවත් , ඒ හේතුවෙන් හටගන්නා සොක පරිදෙව දුක්‌ඛ දොමනස්‌ස උපායාසයන් දුරු කිරීම පිණිස පිණිස මෙසේ ස්කන්ධ පංචකය පිළිබඳව විදර්ශනාමය නුවණින් සලකා බලනු ලැබේ.

රූපය පිළිබඳව ඇති අර්ථකථන කුමක්ද?

          රූපය අරමුණු කරගෙන යම් කිසි අයෙක් විදර්ශනා භාවනාවන් වඩන්නේ නම් ඔහු විසින් ප්‍රථමයෙන්ම ඒ පිළිබඳව කර ඇති අර්ථකථනයන් පිළිබඳව යම් පමණකට හෝ දැනුවත් වීම ප්‍රයෝජනවත් ය. මෙහිදී ඔහු විසින් අනිවාර්යෙන්ම බුදුරජාණන් වහන්සේ විසින් එම අර්ථකථනයන් සිදුකර ඇති ආකාරය දැනගත යුතුය. තවද අටුවා , ටීකා හා පුරාණ කම්මට්ඨානාචාර්යවරයන් වහන්සේලා විසින් තම භාවනානුයෝගී අත්දැකීම් වලට අනුව කරන ලද යම් විග්‍රහයක් වේ නම් ඒ පිළිබඳව ද යම් පමණකට හෝ දැනගෙන සිටීම වඩාත් පහසුවක් වනු ඇත. නවකයෙකුට මාර්ගය වැරදීමේ හැකියාව වැඩි බැවින් මේ පිළිබඳව වඩාත් අවධානය යොමු කිරීම වටී.

රූපය පිළිබඳව කර ඇති අර්ථකථනයන්:-

          රූපය පිළිබඳව සුත්‍රාන්ත ක්‍රමයට හා අභිධර්මාර්ථ ක්‍රමයට අර්ථකථන 02 ක් ලබා දී තිබේ.

සුත්‍රාන්තික ක්‍රමයට අර්ථ කථනය කිරීම :-

          මෙහිදී ස්කන්ධාදී වශයෙන් ප්‍රථමයෙන් බැලීම සිදුකරනු ලැබේ. ධාතු , ආයතන , පටිච්චසමුප්පාද ක්‍රමයට මෙතැන්හිදී විස්තර කරනු නොලැබේ.

          රුපස්කන්ධය වනාහි ස්කන්ධ පංචකයෙහි ප්‍රථම ස්කන්ධය යි. ප්‍රධාන වශයෙන් ස්කන්ධයෝ 05 ක් වේ. රුපස්කන්ධය , වේදනාස්කන්ධය , සංඥාස්කන්ධය , සංස්කාරස්කන්ධය , විඤ්ඤානස්කන්ධය යනුවෙනි.

          රූප රාශියම රුපස්කන්ධය වශයෙන් හැදින්වේ. එනම් රූප කොට්ඨාසය යි. මෙලෙසම වේදනා රාශියම වේදනාස්කන්ධය වශයෙන් ගත යුතුය... සුත්‍රාන්ත ක්‍රමයට අනුව ‘සතර මහා ධාතුන් ( පඨවි , ආපෝ , තේජෝ , වායෝ ) / භූතයන් ද සතර මහා ධාතූන් නිසා ද පවත්නා රූප ( උපාදාය රූප ) ද අතීත අනාගත වර්තමාන ආදී වශයෙන් 11 ආකාරයකින් බෙදන ලද රූප රාශියම රුපස්කන්ධය’ යනුවෙන් හදුන්වයි.

පඨවි ධාතුව :-

          පඨවි යනු පස නම් වේ. එනම් පෘතුවිය යි. තද , ඝනකම් , ඕලාරික  ස්වභාවය මෙහි ලක්ෂණය යි. මෙහිදී ප්‍රධාන වශයෙන් පඨවි ධාතුව ආකාර දෙකකට බෙදා වෙන්කර දක්වනු ලැබේ. එනම් ආධ්‍යාත්මික පඨවි ධාතුව හා බාහිර පඨවි ධාතුව යනුවෙනි.

ආධ්‍යාත්මික පඨවි ධාතුව:-

තමා කෙරෙහි පවත්නා ආධ්‍යාත්මික පඨවි ධාතුවට කොටස් 20 ක අයත් ය.

          කේසා ( හිසකෙස් ), ලෝමා ( රෝම කූප ), නඛා ( නියපොතු ), දන්තා ( දත් ), තචෝ      ( සම ), මංසං ( මාංශය ), නහාරු ( නහර වැල් ), අට්ඨි ( අස්ථි ), අට්ඨිමිඤ්ජා  ( ඇටමිදුලු ), වක්කං ( වකුගඩු ), හදයං ( හදවත ), යකනං ( අක්මාව ),කිලෝමකං ( දලබුව ), පිහකං ( බඩදිව ) , පප්ඵාසං ( පෙනහල්ල ), අන්තං ( බඩවැල් ), අන්තගුනං ( අතුණුබහන් ), උදරියං ( නොපැසුණු ආහාර ), කරීසං ( මල ),මත්තලුංගං ( මොළය ).

බාහිර පඨවි ධාතුව :-

          තමන්ගේ ශරීරය හා සම්භන්ධ නොවන තමන්ගෙන් පිටත පවතින ඝන , තද , ඕලාරික ස්වරූපයක් ගන්නා යම්තාක් දේ වෙත් ද ඒ සියල්ලම බාහිර පඨවි ධාතුව වේ.

උදා :- ගස්වැල් , ගේදොර, පස් , මේස , වස්ත්‍ර , අන්‍ය සත්ත්වයින්ගේ ශරීරගත පඨවි ධාතූන්...

ආපෝ ධාතුව :-

          ආපෝ යනු ගලායන , වැගිරෙන , දියරමය ස්වභාවය යි. එකට එක් කොට බන්ධනය කර තබා ගන්නා ආකාරය මෙහි ස්වභාවය යි. මෙහිදී ප්‍රධාන වශයෙන් ආපෝ  ධාතුව ආකාර දෙකකට බෙදා වෙන්කර දක්වනු ලැබේ. එනම් ආධ්‍යාත්මික ආපෝ  ධාතුව හා බාහිර ආපෝ  ධාතුව යනුවෙනි.

ආධ්‍යාත්මික ආපෝ ධාතුව :-

          තමා කෙරෙහි පවත්නා ආධ්‍යාත්මික ආපෝ ධාතුවට කොටස් 12 අයත් ය.

          පිත්තං ( පිත ), සෙම්හං ( සෙම ), පුබ්බෝ ( සැරව ), ලෝහිතං ( ලේ ), සේදෝ  ( දහදිය ), මේදෝ ( මේද තෙල ), අස්සු ( කඳුලු ), වසා ( වුරුණු තෙල ), ඛෙලෝ ( කෙළ ), සිංඝානිකා        ( සොටු ), ලසිකා ( සදමිදුලු ), මුත්තං ( මූත්‍ර ).

බාහිර ආපෝ ධාතුව:-

          තමන්ගේ ශරීරය හා සම්භන්ධ නොවන තමන්ගෙන් පිටත පවතින ගලායන , වැගිරෙන , දියරමය ස්වභාවයක් ගන්නා යම්තාක් දේ ඇත්ද ඒ සියල්ලම බාහිර ආපෝ ධාතුව යි.
උදා :- ගංගා ජලය , සමුද්‍ර ජලය , ජලාශවල ඇති ජලය , වැස්ස , අන්‍ය සත්වයින්ගේ ශරීරගත ආපෝ ධාතු....

තේජෝ ධාතුව :-

          තේජෝ යනු ගින්නට යෙදෙන පරියාය නමකි. උෂ්ණ බවයි. මෙය වැඩි වූ විට උණුසුම යනුවෙන් ද අඩු වූ විට සීතල යනුවෙන් ද හඳුන්වනු ලැබේ. ආධ්‍යාත්මික තේජෝ ධාතුව හා බාහිර තේජෝ ධාතුව යනුවෙන් මෙය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.

ආධ්‍යාත්මික තේජෝ ධාතුව:-

          තමා කෙරෙහි පවත්නා ආධ්‍යාත්මික තේජෝ ධාතුව ප්‍රධාන කොටස් 04 කට බෙදා දැක්විය හැකිය.

·        සන්තාපන තේජෝ ධාතුව
ශරීරයේ පවත්නා උණුසුම් ස්වභාවය යි.
·        ජිරාපන තේජෝ ධාතුව
ශරීරය දිරායාම සඳහා උපකාරීවන ජරා ජීරන ස්වභාවයට පත්කිරීමට උපකාරවන තේජෝ ධාතුව යි.
·        පරිදහන තේජෝ ධාතුව
ශරීරයේ අත් පා පපුව ඇස ආදිය තවන දාහය ඇති කරවන තේජෝ ධාතුව යි.
·        පාචක තේජෝ ධාතුව
ගනු ලබන ආහාර දවන පැසවන තේජෝ ධාතුව යි.

බාහිර තේජෝ ධාතුව:-

          තමන්ගේ ශරීරය හා සම්බන්ධ නොවන තමන්ගෙන් පිටත පවතින උණුසුම් හෝ ශීත ස්වභාවය යි.

උදා:- හිරු තාපය, ගින්නෙන් නැගෙන තාපය, අන්‍යයන්ගේ ශරීරයෙන් නැගෙන උණුසුම.....

වායෝ ධාතුව:-

          වායෝ යනු සුළඟ සඳහා පරියාය නාමයකි. සංසරණය වන පිම්බෙන ලක්‍ෂණය කොට ඇත. ආධ්‍යාත්මික වායෝ ධාතුව හා බාහිර වායෝ ධාතුව යනුවෙන් මෙය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.

ආධ්‍යාත්මික වායෝ ධාතුව:-

          තමා කෙරෙහි පවත්නා වායෝ ධාතුව ප්‍රධාන කොටස් 06 කට බෙදා දැක්විය හැක.

·        ආශ්වාස ප්‍රාස්වාස වාතය
·        උද්ධංගම වාතය - හික්කාව , වමනය ස්වරූපයෙන් ඇතිවන වාතය
·        අධෝගම වාතය - මල මූත්‍රා පිටකිරීමේදී ඇතිවන වාතය
·        කුච්චිසය වාතය - කුස තුල බඩවැල් පිටත ඇති වාතය
·        කොට්ඨාස වාතය - බඩවැල් ඇතුලත ඇති වාතය
·        අන්ගමංගානුසාරී වාතය - ශරීරය ක්‍රියාකරවන වාතය

බාහිර වායෝ ධාතුව:-

          තමන්ගේ ශරීරය හා සම්බන්ධ නොවන තමන්ගෙන් පිටත පවතින වායුව යි.

උදා:- සුළඟ , සුළි සුළඟ , පංකා ආදියෙන් හමනා සුළඟ ......

ද්වාචත්තාලීසාකාර ධාතු:-

          සියල්ලම ගත් විට පඨවි ධාතු 20 , ආපෝ ධාතු 12 , වායෝ ධාතු 04 , තේජෝ ධාතු 06 කි.මුළු එකතුව 42 කි. මේ ධාතු 42 ද්වාචත්තාලීසාකාර ධාතු යනුවෙන් හැදින්වේ.

උපාදාය රූප 24:-

          සතර මහා ධාතුන් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමත් සමගම ඔබ විසින් අනතුරුව උපාදාය රූප පිළිබඳව යම පමණකට හෝ දැනගත යුතුය. උපාදාය රූප යනු සතර මහා ධාතුන් ඇසුරු කොටගෙන පවත්නා ධාතු කොට්ඨාසයකි. උපාදාය රූපයන් සියල්ලම 24 ක පවතී. චක්ඛු , සෝත , ඝාණ , ජිව්හා , කාය , රූප , ශබ්ද , ගන්ධ , රස , ඉත්ථීන්ද්‍රිය , පුරිසින්ද්‍රිය , ජීවිතීන්ද්‍රිය , හදයවත්ථු , කායවිඤ්ඤත්ති , වචීවිඤ්ඤත්ති , ආකාස ධාතු , රූපස්ස ලහුතා , රූපස්ස මුදුතා , කම්මඤ්ඤතා , උපචය , සන්තති , ජරතා , අනිච්චතා , කබලීකාර ආහාරය යන කොටස් 24 උපාදාය රූප වේ.

11 ආකාර රූපය අභිධර්ම ක්‍රමයට අර්ථ කථනය කිරීම:-

          තත්ථ කතමං රූපක්ඛන්ධෝ : යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා තදේකජ්ඣං අභිසඤ්ඤූහිත්වා අභිසංඛිපිත්වා , අයං වුච්චති රූපක්ඛන්ධෝ.

          එහි රූපස්ඛන්ධය කවරෙක් ද යත් : ආධ්‍යාත්මික වේවා බාහිර වේවා ඕළාරික වේවා සියුම් වේවා හීන වේවා ප්‍රණීත වේවා දුර වේවා ළඟ වේවා අතීත අනාගත වර්තමාන වූ යම් රූපයක් වේ ද , ඒ හැම රූපයක්ම එක්පරිද්දෙකින් කැටි කොට හකුළුවා ගෙන මේ රුපස්ඛන්ධය යැ යි කියනු ලැබේ.

( අභිධම්ම පිටකය. විභංගප්පකරණ -1. ස්කන්ධ විභංගය , 2550 බු.ජ.ත්‍රි.පිටුව- 02/03 )

1.     අතීත රූපය

භව වශයෙන් හෝ ක්‍ෂණ වශයෙන් හෝ ඉක්ම ගිය නිරුද්ධ වූ වෙන්ව ගියා වූ පෙරළීමට ගියා වූ අස්තයට ගියා වූ වෙසෙසින් අස්තයට ගියා වූ ඉපිද වෙන්ව ගියා වූ ඉක්ම ගියා වූ අතීතාංශයෙන් සංග්‍රහයට ගියා වූ යම් රූපයක් වේ ද , සතරමහා භූතයෝ ද සතර මහා භූතයන් නිසා පවත්නා රූපය ද යන මේ සියල්ල ‘ අතීත රූප ’ යි කියනු ලැබේ.

2.     අනාගත රූපය

භව වශයෙන් හෝ ක්‍ෂණ වශයෙන් හෝ නො හටගත් නො වූ ප්‍රත්‍යසමවායයෙන් නූපන් හෝ නො නිපන් වෙසෙසින් නො නිපන් නො පහළ වූ නූපන් ප්‍රත්‍යසමවායයෙන් නූපන් නොනැගුණු අනාගත වූ අනාගතාංශයෙන් සන්ගෘහිත  වූ යම් රූපයක් වේ ද , සතරමහා භූතයෝ ද සතර මහා භූතයන් නිසා පවත්නා රූපය ද යන මේ සියල්ල ‘ අනාගත රූප ’ යි කියනු ලැබේ.

3.     ප්‍රත්‍යුත්පන්න රූපය

හටගත් උපන් ප්‍රත්‍යසමවායෙහි උපන් නිපන් වෙසෙසින් උපන් පහළ වූ උපන් ප්‍රත්‍යසමවායෙහි උපන් නැගුණු ප්‍රත්‍යසමවායෙන් නැගුණු වර්තමාන වූ වර්තමානාංශයෙන් සංගෘහිත වූ යම් රූපයක් වේ ද , සතරමහා භූතයෝ ද සතර මහා භූතයන් නිසා පවත්නා රූපය ද යන මේ සියල්ල ‘ ප්‍රත්‍යුත්පන්න රූප ’ යි කියනු ලැබේ.

4.     ආධ්‍යාත්මික රූපය

ඒ ඒ සත්ත්වයන්ගේ තමතමන් අයත් , තමතමන් කෙරෙහි වූ , ස්වකීය වූ පුද්ගලයෙකු පාසා පවත්නා වූ උපාදින්න වූ යම් රූපයක් වේ ද , සතරමහා භූතයෝ ද සතර මහා භූතයන් නිසා පවත්නා රූපය ද යන මේ සියල්ල ‘ ආධ්‍යාත්මික රූප ’යි කියනු ලැබේ.

5.     බාහිර රූපය

ඒ ඒ පරසත්ත්වයන්ගේ පරපුද්ගලයන්ගේ ආධ්‍යාත්මික වූ තමතමන් කෙරෙහි වූ ස්වකීය වූ පුද්ගලයෙකු පාසා පවත්නා වූ උපාදින්න වූ යම් රූපයක් වේ ද , සතරමහා භූතයෝ ද සතර මහා භූතයන් නිසා පවත්නා රූපය ද යන මේ සියල්ල ‘ බාහිර රූප ’ යි කියනු ලැබේ.

6.     ඕළාරික/රළු  රූප

චක්ෂුරායතනය , රූපායතනය , සෝතායතනය , සද්දායතනය , ඝානායතනය , ගන්ධායතනය , ජිව්හායතනය , රසායතනය , කායායතනය , පොට්ඨබ්බායතනය යන මේවා ‘ ඕළාරික රූප ’ යි කියනු ලැබේ.

7.     සුඛුම / සියුම් රූප

ස්ත්‍රීන්ද්‍රිය , පුරිශේන්ද්‍රිය , ජිවිතෙන්ද්‍රිය , කාය විඤ්ඤත්ති ,වචී විඤ්ඤත්ති , ආකාශ ධාතු , ආපෝ ධාතු , රූපස්ස ලහුතා , රූපස්ස මුදුතා , රූපයේ කර්මන්‍යතා , රූපයේ උපචය , රූපයේ සන්තතිය , රූපයේ ජරතාවය , රූපයේ අනිත්‍යතාව , කවලීකාර ආහාරය යැ යන මේ ‘ සූක්‍ෂම රූප ’ යි කියනු ලැබේ.

8.     හීන රූප

ඒ ඒ සත්වයන් විසින් අවමන් කරන ලද ලාමක වශයෙන් සලකන ලද බැහැර කළ පරිභව කළ නො ගරු කළ හීන වූ හීන ය යි සලකන ලද හීන ය යි සම්මත වූ අනිෂ්ඨ වූ අකාන්තා වූ අමනාප වූ යම් රූපයක් වේ  ද , එබඳු වූ රූප , ශබ්ද , ගන්ධ , රස , ස්පර්ශ යන මේ ‘ හීන රූප ’ යි කියනු ලැබේ.

9.     ප්‍රණීත රූප

ඒ ඒ සත්ත්වයන් විසින් අවමන් නොකරන ලද ලාමක වශයෙන් නොසිතන ලද බැහැර නොකළ පරිභව නොකළ ගරු කළ ප්‍රණීත වූ ප්‍රණීත යැ යි සලකන ලද ප්‍රණීත යැ යි සම්මත වූ ඉෂ්ඨ වූ කාන්තා වූ මනවඩන යම් රූපයක් වේ ද , එබඳු වූ රූප , ශබ්ද , ගන්ධ , රස , ස්පර්ශ යන මේ ‘ ප්‍රණීත රූප ’ යි කියනු ලැබේ. තවද ඒ ඒ රූපය නිසා හීන ප්‍රණීත බව දත යුතුය.

10. දුර රූප

ස්ත්‍රීන්ද්‍රිය , පුරිශේන්ද්‍රිය , ජිවිතෙන්ද්‍රිය , කාය විඤ්ඤත්ති ,වචී විඤ්ඤත්ති , ආකාශ ධාතු , ආපෝ ධාතු , රූපස්ස ලහුතා , රූපස්ස මුදුතා , රූපයේ කර්මන්‍යතා , රූපයේ උපචය , රූපයේ සන්තතිය , රූපයේ ජරතාවය , රූපයේ අනිත්‍යතාව , කවලීකාර ආහාරය යැ යන මේ සියල්ල ද , ආසන්නයෙන් බැහැර දුර ළඟ නොවූ අන්‍ය වූ යම් රූපයක්‌ වේ ද , මේ ‘ දුර රූප ’ යි කියනු ලැබේ.

11. සන්තිකේ / ළඟ රූප

චක්ෂුරායතනය , රූපායතනය , සෝතායතනය , සද්දායතනය , ඝානායතනය , ගන්ධායතනය , ජිව්හායතනය , රසායතනය , කායායතනය , පොට්ඨබ්බායතනය යන මේවා ද ආසන්නයෙහි වූ සමීපයෙහි වූ නුදුරෙහි වූ ළඟ වූ අන්‍ය වූ යම් රූපයක් ඇද්ද , මේ ‘ සන්තිකේ රූප ’ යි කියනු ලැබේ. තවද ඒ ඒ රූපය නිසා දුර සන්තික බව දත යුතුය.



ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ.
sudhamma@buddhism.au.com