Powered By Blogger

Tuesday, October 16, 2012


සූත්‍ර සාකච්ඡාව - ASLBV                                                                                                          tute – 09


ඉත්ථි රූප පරියාදාය සූත්‍රය - 09 කොටස.

චතුධාතු වවත්ථානය - වඩන ආකාර 04

          චතුධාතු වවත්ථාන භාවනා කමටහන වර්ධනය කරනු කැමති භාවනා කරනු කැමැත්තෙක් විසින් ප්‍රථමයෙන්ම එහි ප්‍රධාන කොටස් කිරීම් දැනගත යුතුය. චතුධාතු වවත්ථානය ප්‍රධාන ආකාර 04 කට වර්ධනය කල හැක.

1.     සසම්භාර සංඛේප වශයෙන් වැඩීම
2.     සසම්භාර විභත්ති වශයෙන් වැඩීම
3.     සලක්ඛන සංඛේප වශයෙන් වැඩීම
4.     සලක්ඛන විභත්ති වශයෙන් වැඩීම

සසම්භාර සංඛේප වශයෙන් වැඩීම :-

සසම්භාර :-

          සසම්භාර යනු කේසා , ලෝමා . නඛා ..... ආදියෙහි පවත්නා පඨවි ගුණය වන තද බව නිමිතිකොට එම ධාතුව වෙන්කර දැන ගැනීම යි. එහි පවත්නා තද බව , ඝන බව , ඕළාරික බව දැන ගැනීම යි.

සංඛේප :-

          එම ආධ්‍යාත්මික පඨවි ධාතුවට අයත් කොටස් 20 එක්කොට , කැටිකොට වෙන්කර ගැනීම යි.

Ø ආපෝ , තේජෝ , වායෝ යන සෙසු ධාතූන් කෙරෙහිද මෙම ක්‍රමයම බව දැනගත යුතුය. ආධ්‍යාත්මික , බාහිර සතරමහා ධාතූන් බෙදා වෙන්කළ ආකාරය පිළිබඳව දැනුම මෙතැන්හිදී අවශ්‍ය වේ.

v මෙම භාවනා ක්‍රමය වර්ධනය කිරීමේදී  ( සසම්භාර සංඛේප ) විශේෂයෙන් ප්‍රථමයෙන්ම 20 ආකාර වූ ආධ්‍යාත්මික පඨවි ධාතුවත් , 12 ආකාර වූ ආධ්‍යාත්මික ආපෝ ධාතුවත් ,  04 ආකාර වූ ආධ්‍යාත්මික තේජෝ ධාතුවත් , 06 ආකාර වූ ආධ්‍යාත්මික වායෝ ධාතුවත් කල්යත්ම ක්‍රමයෙන් වෙන් වෙන්ව ප්‍රකට වන්නට පටන් ගනී. ධාතු නානාත්වයම වඩාත් ප්‍රකට වේ. මෙසේ නැවත නැවත ධාතුන්ගේ නානාත්වය ප්‍රකට වීමෙන්ම ඔහුට ‘ උපචාර සමාධිය ’ උපදී.

සසම්භාර විභත්ති වශයෙන් වැඩීම :-

          සසම්භාර සංඛේප වශයෙන් භාවනා කරනු ලබන අයෙකුට එම භාවනා ක්‍රමයට අනුව මෙසේ ධාතුන්ගේ වෙන් වෙන්ව එකිනෙකට වෙනස් ආකාරයකින් පවත්නා බවක් ප්‍රකට නොවේ නම් ‘ සසම්භාර විභත්ති ’ වශයෙන් කමටහන වැඩීමට ඉගෙනගෙන එය ප්‍රකට වූ පසුව දෙවනුව සසම්භාර සංඛේප ක්‍රමය වැඩිය යුතුය. මෙසේ තච පඤ්චකාදී වශයෙන් අනුලෝම ( මුල සිට අගට ) හා ප්‍රතිලෝම ( අග සිට මුලට ) ප්‍රථමයෙන් වචනයෙන් සජ්ඣායනා කිරීම ද පසුව පිළිවෙල නොකැඩෙන සේ සිතින් මෙනෙහි කිරීම ද කල යුතුය. එසේ සිහිපත් කිරීමේදී පහත මාතෘකා 05 යටතේ එම ධාතු කොටස් මෙනෙහි කල යුතුය.

·        වර්ණ වශයෙන්

 ඒ ඒ කොටසේ ස්වභාවයෙන්ම පවත්නා පැහැය පිළිබඳව විමසිය යුතුය. කෙස් වනාහි කළු , සුදු , තඹ පැහැයෙන් යුක්තය... යනාදී වශයෙනි. මෙසේ ඒ ඒ ධාතුවට අයත් කොටසෙහි ස්වකීය වර්ණය දත යුතුය.

·        ණ්ඨාන වශයෙන්

සණ්ඨාන යනු ආකෘතිය යි , ස්වභාවය යි, හැඩය යි. කෙස් වනාහි දිගටි හැඩයෙන් යුක්තය... යනාදී වශයෙනි. මෙසේ ඒ ඒ ධාතුවට අයත් කොටසෙහි ස්වකීය ස්වභාවය දත යුතුය.

·        දිසා වශයෙන්

ශරීරයෙහි නාභියෙන් ඉහළ කොටස හා නාභියෙන් පහළ කොටස යනුවෙන් දිශාවන් දෙකකට ශරීරය බෙදා වෙන් කෙරේ. මෙසේ ඒ ඒ ධාතුවට අයත් කොටසෙහි ස්වකීය දිශාව  දත යුතුය.
·        ඕකාස වශයෙන්

ඕකාස නම් අවකාශය යි. ඒ ඒ කොටස මේ මේ ස්ථානයන්හි පිහිටනා බව දැනීමයි. මෙසේ ඒ ඒ ධාතුවට අයත් කොටසෙහි ස්වකීය අවකාශය දත යුතුය.

·        පරිච්ඡේද වශයෙන්

පරිච්ඡේද නම් ආකාර දෙකකින් බැලිය යුතුය. එනම් සභාග පරිච්ඡේද හා විසභාග පරිච්ඡේද යනුවෙනි. සභාග පරිච්ඡේද නම් මේ මේ කොටස උඩින් ද යටින් ද සිරසින් ද මෙතෙක් පිරිසිඳියේ ය යනුවෙන් දැනගැනීම යි. විසභාග පරිච්ඡේද නම් මේ කෙස්ය. මේ ලොම් නොවේ. මේ ලොම් ය. මේ කෙස් නොවේ යනුවෙන් ඒ ඒ කොටස් මිශ්‍ර නොවී වෙන් වෙන්ව වෙනකොට හඳුනා ගැනීමයි. මෙසේ ඒ ඒ ධාතුවට අයත් කොටසෙහි ස්වකීය පරිච්ඡේදය දත යුතුය.

          මෙසේ මෙම කමටහන වර්ධනය කිරීමේදී මහා සතිපට්ඨාන සුත්‍රයට අනුව පිළිකුල් භාවනාමය වශයෙන්ද , මහා හත්ථිපදෝපම සූත්‍රයට අනුව , රාහුලෝවාද සූත්‍රයට අනුව , ධාතුවිභංගයට අනුව ධාතු මනසිකාරාමය වශයෙන්ද කියන ලදී. සතිපට්ඨාන සූත්‍රයට අනුව සමථයානිකවද සතර ධ්‍යානයන්ට අනුරූපීවද කියන ලදී. ධාතු මනසිකාරයට අනුව විදර්ශනායානිකව කියන ලදී. මෙය වඩාත් හොඳින් අවබෝධකරගත යුතු කරුණකි.

07 ආකාර  උග්ගහ කොසල්ල්‍ය :-

උග්ගහ කොසල්ල්‍ය නම් මෙම කමටහන මනාව ඉගෙනගත යුතු ආකාරය යි. එය ප්‍රධාන කරුණු 07 ක් යටතේ කළ යුතුය. එනම් ,

       I.            වචනයෙන්

වචනයෙන් මෙම කමටහන පුරුදු කිරීමේදී අදාළ කමටහන සජ්ඣායනා කළ යුතුය. ඇතැම් අයට මෙසේ කමටහන සජ්ඣායනා කරන විටම එය මනාව ප්‍රකට වේ. එහිදී තච පංචකාදී වශයෙන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සජ්ඣායනා කළ යුතුය. තමන්ට පමණක් ඇසෙන ලෙස මෙය කළ යුතුය.

ආධ්‍යාත්මික පඨවි ධාතුව මෙසේ පංචක වශයෙන් වර්ග කෙරේ.
·        තච පංචකය

අනුලෝම පංචකය : -

කේසා - ලෝමා - නඛා - දන්තා - තචෝ.

පටිලෝම පංචකය :-

තචෝ - දන්තා - නඛා - ලෝමා - කේසා.


·        වක්ක පංචකය

අනුලෝම පංචකය :-

මංසං - නහාරු - අට්ඨි - අට්ඨි මිඤ්ජා - වක්කං.

පටිලෝම පංචකය :-

වක්කං - අට්ඨි මිඤ්ජා - අට්ඨි - නහාරු - මංසං.

·        පප්ඵාස පංචකය

අනුලෝම පංචකය :-

හදයං - යකනං - කිලෝමකං - පිහකං - පප්ඵාසං.

පටිලෝම පංචකය:-

පප්ඵාසං - පිහකං - කිලෝමකං - යකනං - හදයං.

·        මත්ථලුංග පංචකය

අනුලෝම පංචකය :-

අන්තං - අන්තගුනං - උදරියං - කරීසං - මත්ථලුංගං.

පටිලෝම පංචකය :-

මත්ථලුංගං - කරීසං - උදරියං - අන්තගුනං - අන්තං.

ආධ්‍යාත්මික ආපෝ ධාතුව මෙසේ ෂට්ක වශයෙන් වර්ග කෙරේ.

·        මේද ෂට්කය

අනුලෝම ෂට්කය:-

පිත්තං - සෙම්හං - පුබ්බෝ - ලෝහිතං - සේදෝ - මේදෝ.

පටිලෝම ෂට්කය:-

මේදෝ - සේදෝ - ලෝහිතං - පුබ්බෝ - සෙම්හං - පිත්තං.




·        මුත්ත ෂට්කය

අනුලෝම ෂට්කය:-

අස්සු - වසා - ඛේලෝ - සිංඝානිකා - ලසිකා - මුත්තං.

          පටිලෝම ෂට්කය:-

          මුත්තං - ලසිකා - සිංඝානිකා - ඛේලෝ - වසා - අස්සු.

මෙසේ තමන් හට මෙම කරුණු ප්‍රකට වන තෙක් වචනයෙන් පුරුදු කළ යුතුය. මෙයින් තමන් හට කමටහන මනාව ප්‍රකට වේ. සිත විවිධ අරමුණු ඔස්සේ ඒ මේ ඇත නොදුවයි.

2. සිතින්
          ඉහත දක්වන ලද ක්‍රමය වචනයෙන් ප්‍රකට වූ පසුව සිතින් තව තවත් පුරුදු පුහුණු කළ යුතුය.

3. වර්ණ වශයෙන්
4. සන්ඨාන
5. දිශා
6. ඕකාස
7.පරිච්ඡේද

මෙසේ සප්තවිධ උග්ගහ කොසල්ල්‍ය යටතේ මෙය පුරුදු කළ තැනැත්තා විසින් පසුව දසාකාර මනසිකාර කොසල්ල්‍ය වර්ධනය කළ යුතුය.

10 ආකාර මනසිකාර කොසල්ල්‍ය :-

          මෙම භාවනා ක්‍රමය වඩනු කැමති තැනැත්තා විසින් දස ආකාර මනසිකාර කොසල්ල්‍ය පිළිබඳවද දැන සිටිය යුතුය. එනම් මෙම කමටහන ඉගෙන ගැනීමේදී එය මනාව ඉගෙන ගන්නා ක්‍රමය දැන සිටීමයි. එනම් ,


       I.            අනුපුබ්බතෝ

පිළිවෙල නොකඩා කමටහන වර්ධනය කරන ආකාරය දැනගැනීම යි.
     II.            නාතිසීඝතෝ
ඉතා ඉක්මනින් කමටහන මෙනෙහි නොකිරීම යි.
  III.            නාතිසනිකතෝ
ඉතා සෙමින් කමටහන මෙනෙහි නොකිරීම යි.
  IV.            වික්ඛේපපටිබාහනතෝ
සිතේ ඇතිවන විඩාව දුරුකිරීම යි.
    V.            පණ්ණත්තිසමතික්කමනතෝ
ලෝක ව්‍යවහාරය ඉක්මවීම් වශයෙන්.
  VI.            අනුපුබ්බමුඤ්චනතෝ
පිළිවෙල හැදෑරීම් වශයෙන්.
VII.            අප්පනාතෝ
අර්පණා වශයෙන්.
VIII.            තයෝ ච සුත්තන්තා
·        අධිචිත්ත
·        සීතිභාව
·        බොජ්ඣංගකොසල්ල්‍ය
මෙහිදී වීර්ය හා සමාධිය සමානව යොදාගනු පිණිස මෙම කරුණු 03 වර්ධනය කල යුතුය.

මහණෙනි , අධිචිත්ත භාවයෙහි යෙදුනු භික්ෂුව විසින් කලින් කලට නිමිති 03 ක් සිහිපත් කළ යුතුය. එනම් , කලින් කලට සමාධි නිමිත්ත මෙනෙහි කළ යුතුය. කලින් කලට පග්ගහ / වීර්ය නිමිත්ත මෙනෙහි කළ යුතුය. කලින් කලට උපේක්ෂා නිමිත්ත මෙනෙහි කළ යුතුය.

          මහණෙනි , ඉදින් අධිචිත්ත භාවනාවෙහි නියුතු භික්ෂුව සමාධි නිමිත්තම මෙනෙහි කරතොත් එම භාවනා චිත්තය කුසීතබව පිණිස පවතින්නේ ය. මහණෙනි , අධිචිත්ත භාවනාවෙහි නියුතු භික්ෂුව වීර්ය නිමිත්තම මෙනෙහි කරතොත් එම භාවනා චිත්තය නොසන්සුන් බව පිණිසම පවතින්නේ ය. අධිචිත්ත භාවනාවෙහි නියුතු භික්ෂුව උපේක්ෂා නිමිත්තම මෙනෙහි කරතොත් මනාව ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිණිස නොවන්නේ ය. මහණෙනි , යම් කලෙක භික්ෂුව කලින් කලට සමාධි නිමිත්තද , පග්ගහ නිමිත්තද , උපේක්ඛා නිමිත්තද මෙනෙහි කරන්නේ ද , එම භාවනා චිත්තය මෘදු වන්නේ ය. පිවිතුරුද වන්නේ ය. බිඳෙන සුලු නොවන්නේ ය. ආශ්‍රවයන් ක්‍ෂය කරනු පිණිස සමත් වන්නේ ය.

( සූත්‍ර පිටකය. අංගුත්තර නිකාය. තික නිපාතය. අධිචිත්ත සුත්‍රය. )

          මහණෙනි , සවැදෑරුම් ධර්මයකින් සමන්විත භික්ෂුව අනුත්තර වූ නිර්වාණය සාක්‍ෂාත් කිරීමට සමත් වේ. කවර නම් සවැදෑරුම් ධර්මයක්ද යත් : මේ සාසනයෙහි භික්ෂුව යම් විටෙක සිත ඔබා තැබිය යුතු නම්  , එවිට සිත බහා තබයි. යම් විටෙක සිත ඔසවා තැබිය යුතු වේ නම් , එවිට සිත ඔසවා තබයි. යම් විටෙක සිත පිනවිය යුතු වේ  නම් , එවිට සිත පිනවයි. යම් විටෙක සිත මැදහත් කල යුතු වේ නම් , එවිට සිත මැදහත් කරයි. උතුම් වූ මාර්ගඵලයන් වෙතට නැඹුරු වූයේ වේ. නිවන කෙරෙහි ඇලීම් ඇත්තෙකු වේ.

( සූත්‍ර පිටකය. අංගුත්තර නිකාය. ඡක්ක නිපාතය. දුතිය පණ්ණාසකය. සීති වර්ගය. 6:2:4:1. සීතිභාව සූත්‍රය. 2550 බු.ජ.ත්‍රි.පිටුව - 242 / 243 )

          බොජ්ඣංග කොසල්ලය වනාහි , බොජ්ඣංග ධර්ම වර්ධනය කිරීමේ හැකියාව යි. බොජ්ඣංග ධර්මයන් සමතුලිත කිරීමෙන් අසමතුලිත බව නිසා ඇතිවන බාධාවන් මගහරවා ගත හැක. සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායෙහි මහා වර්ගයෙහි බොජ්ඣංග සංයුක්තයෙහි එන අග්ගි සූත්‍රය මේ සඳහා කදිම උදාහරණයකි. 
(2:6:3.  2550 බු.ජ.ත්‍රි.පිටුව - 216 / 219 )

          මහණෙනි , යම් විටෙක සිත හැකිලී ගියේනම් , එවිට පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට සුදුසු කාලය නොවන්නේ ය. සමාධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවන්නේ ය. උපේක්‍ෂා සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවන්නේ ය. එයට හේතුව කවරේද?  මහණෙනි , සිත හැකිලී ගියේනම් , ඒ හැකිලී ගිය සිත පස්සද්ධි - සමාධි - උපේක්‍ෂා බොජ්ඣංග ධර්මයන්ගෙන් නගා සිටුවිය නොහැක. මහණෙනි , යම් විටෙක සිත හැකිලී ගියේනම් , එවිට ධම්මවිචය සම්බොජ්ඣංගය සම්බොජ්ඣංගය වැඩීමට කාලය යි. විරිය - ප්‍රීති සම්බොජ්ඣංගය වැඩීමට කාලය යි. එයට හේතු කවරේද ? මහණෙනි , සිත හැකිලී ගියේනම් , ඒ හැකිලී ගිය සිත මෙම බොජ්ඣංග ධර්මයන්ගෙන් පහසුවෙන් නගා තැබිය හැක.

          මහණෙනි , කුසලාකුසල ධර්මයෝ ඇත්තාහ. සාවද්‍ය අනවද්‍ය ධර්මයෝ ඇත්තාහ. හීන ප්‍රණීත ධර්මයෝ ඇත්තාහ. කෘෂ්ණ ශුක්ල ධර්මයෝ ඇත්තාහ. එහිලා නුවණින් මෙනෙහි කිරීම බහුලව වේ නම් , මෙය නූපන් ධම්මවිචය සම්බොජ්ඣංගය ඉපදවීම පිණිස , උපන් ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීම පිණිස ආහාර වේ. එම ධම්මවිචය සම්බොජ්ඣංගය විපුල බවට යාම පිණිස , වැඩීම පිණිස , සම්පූර්ණවීම පිණිස පවතින්නේ ය. මෙහිදී යෝනිසෝමනසිකාරයම ගන්නා ලදී.
          එසේම , මහණෙනි , ආරම්භ ධාතු හෙවත් ආරම්භවී බොහෝ කල නොගිය වීර්යක් ඇත. නික්කම ධාතු හෙවත් කුසීත බැවින් වෙන්වූ හෙයින් ඊට වඩා බලවත් වූ ද , පරක්කම ධාතු හෙවත් වඩාත් බලවත් වූ වීර්යක් ද ඇත. එහිලා නුවණින් මෙනෙහි කිරීම බහුල වශයෙන් වේ නම් , එය නූපන් විරිය සම්බොජ්ඣංගය ඉපදවීම පිණිස , උපන් විරිය සම්බොජ්ඣංගය වර්ධනය වීම පිණිස ආහාරය වේ. එම විරිය සම්බොජ්ඣංගය විපුල බවට යාම පිණිස , වැඩීම පිණිස , සම්පූර්ණවීම පිණිස පවතින්නේ ය. මෙහිදී යෝනිසෝමනසිකාරයම ගන්නා ලදී.

          ප්‍රීති සම්බොජ්ඣංගය පිහිටන ධර්මයෝ යනු , ප්‍රීතියටම යෙදෙන අධිවචනයකි. එය උපදවන මනසිකාරය යෝනිසෝමනසිකාරය නම් වේ.

ධම්මවිචය සම්බොජ්ඣංගය ඉපදවීමට හේතු :-

       I.            විචාරණ සුලු බව
     II.            අභ්‍යන්තර බාහිර වස්තූන් පිරිසිඳු කරන බව
  III.            ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් සමබවට පැමිණවීම
  IV.            අනුවණ පුද්ගලයන් දුරු කිරීම
    V.            නුවණැති පුද්ගලයන් සේවනය
  VI.            ගැඹුරු ප්‍රත්‍යවෙක්ශාව
VII.            එම ප්‍රත්‍යවේක්ෂාවන් වෙත නැඹුරු වූ බව

විරිය සම්බොජ්ඣංගය ඉපිදවීමට හේතු :-

       I.            අපායාදී භය සිහිකිරීම
     II.            වීර්යට අයත් ලෞකික ලෝකෝත්තර විශේෂ අධිගමනයන්ගේ ආනිසංස දැකීම
  III.            ආර්යන් වහන්සේලාගේ ගමන් මාර්ගය මෙනෙහි කිරීම
  IV.            පිණ්ඩපාතය
    V.            ශාස්තෘන් වහන්සේගේ ගුණ දැනීම
  VI.            සද්ධර්ම දායාදයන් සිහි කිරීම
VII.            ආලෝක සංඥාව මෙනෙහි කිරීම
VIII.            ඉරියවු වෙනස් කිරීම , අභ්‍යාවකාශ සේවනය හා කුසීතබව දුරු කිරීම
  IX.            කුසීත පුද්ගලයන් සේවනය නොකිරීම
     X.            ප්‍රධන් වීර්ය සිහි කිරීම
  XI.            එම බොජ්ඣංගයන් වෙතට නැඹුරු වූ බව

ප්‍රීති සම්බොජ්ඣංගය ඉපිදවීමට හේතු :-

       I.            බුද්ධානුස්සතිය
     II.            ධම්මානුස්සතිය
  III.            සංඝානුස්සතිය
  IV.            සීලානුස්සතිය
    V.            චාගානුස්සතිය
  VI.            දෙවතානුස්සතිය
VII.            උපසමානුස්සතිය
VIII.            රළු පරුෂ පුද්ගලයන් දුරු කරන බව
  IX.            තෙරුවනට ලැදි පුද්ගලයන් සේවනය
     X.            ප්‍රසාදය දනවන සූත්‍ර ඉගෙනීම
  XI.            එම ධර්මයන් වෙතට නැඹුරුවන බව

මෙසේ මේ ආකාරයෙන් මේ ධර්මයන් වර්ධනය කරනු ලබන්නේ ධම්මවිචය - විරිය - ප්‍රීති බොජ්ඣංගයන් වඩන්නේ වේ. මෙසේ යම් කලෙක සිත නගා සිටුවිය යුතු නම් එකල නගා සිටු වන්නේ ය. යම් කලෙක සිත ඔබා  තැබිය යුතු වේ නම් ඔබා තබන්නේ ය. ඒ කෙසේද යත් : අධික වීර්ය නිසා සිත නොසන්සුන් වේ නම් , එකල ධම්මවිචය සම්බොජ්ඣංග ආදිය නොවඩා පස්සද්ධි ආදී බොජ්ඣංග වඩන්නේ ය.

මහණෙනි , යම් කලෙක නිවන ලද සිත් ඇත්තේ නම් , එකල පස්සද්ධි - සමාධි - උපේක්‍ෂා සම්බොජ්ඣංගයන් වැඩීමට කාලය යි. එයට හේතු කවරේද? මහණෙනි , සිත ඉතා නිවන ලද්දේ නම් එය මෙම ධර්මයන්ගෙන් ඉතා පහසුවෙන් සන්සින්දුවිය හැකි වන්නේ ය.

මහණෙනි , තම තමන්ගේ ආහාර වශයෙන් පස්සද්ධි ආදී බොජ්ඣංගයන් වැඩීම දත යුතුය. මහණෙනි , කය පස්සද්ධියක් ඇත. චිත්ත පස්සද්ධියක් ද ඇත. එහි බොහෝ සේ නුවණින් මෙනෙහි කිරීමක් ද ඇත. එය නූපන් පස්සධි බොජ්ඣංගය ඉපදවීම පිණිස උපන් පස්සද්ධි බොජ්ඣංගය බොහෝ වීම පිණිස , විපුල බව පිණිස , වර්ධනය පිණිස , පරිපූර්ණත්වය පිණිස පවතින්නේ ය.

එසේම මහණෙනි , සමාධි නිමිත්තක් ඇත. ඒකාග්‍රතා නිමිත්තක් ඇත. එහි බොහෝසෙයින් නුවණින් මෙනෙහි කිරීමක් වේ ද , මෙය නූපන් සමාධි සම්බොජ්ඣංගය ඉපදවීම පිණිස , උපන් සමාධි සම්බොජ්ඣංගය බොහෝ වීම පිණිස , විපුල බව පිණිස , වර්ධනය පිණිස , පරිපූර්ණත්වය පිණිස පවතින්නේ ය.

මහණෙනි , උපේක්ඛා සම්බොජ්ඣංගයට පාදක වූ ධර්මයක් ඇත. එහි බොහෝසෙයින්  මෙනෙහි කිරීමක් වේ ද , මෙය නූපන් උපේක්‍ෂා බොජ්ඣංගය ඉපදවීම පිණිස , උපන් උපේක්‍ෂා බොජ්ඣංගය බොහෝ වීම පිණිස , විපුල බව පිණිස , වර්ධනය පිණිස , පරිපූර්ණත්වය පිණිස පවතින්නේ ය. එහිලා පස්සද්ධිය ආදිය උපන්විරූද , ඒ ඒ ආකාරය සලකා ඒ පස්සද්ධිය ආදිය පිලිබඳ ඉපිදවීම් වශයෙන් පවත්වන ලද මනසිකාරයම මේ තුන් තැනෙහිම යෝනිසෝමනසිකාරය වේ.

පස්සද්ධි සම්බොජ්ඣංගය ඉපදවීමට හේතු :-

                   I.            ප්‍රණීත ආහාර සේවනය
                 II.            සුඛ ඍතු සේවනය
              III.            සුඛ ඉරියවු සේවනය
              IV.            මද්‍යස්ථ වූ කාය චිත්ත මනස් ප්‍රයෝග ඇති බව
                V.            කිපෙන සුලු පුද්ගලයන් දුරු කරන බව
              VI.            එම බොජ්ඣංගයට නැඹුරු වීම

සමාධි සම්බොජ්ඣංගය ඉපදීමට හේතු :-

       I.            අභ්‍යන්තර බාහිර වස්තුන්ගේ පිරිසිඳු බව
     II.            කසිණ ආදී නිමිති වල දක්ෂ බව
  III.            සමාධිය හා වීර්ය යන ඉන්ද්‍රියයන් සමව පැවැත්වීම
  IV.            සුදුසු කල්හි සිත බහා තබන බව
    V.            සුදුසු කල්හි සිත නගාලීම
  VI.            භාවනාවෙහි නිරාමිස සතුට පුබුදුකරන බව
VII.            සමව පවත්නා සිත උපේක්‍ෂා කරන බව
VIII.            අසමාහිත පුද්ගලයන් දුරු කිරීම
  IX.            සමාහිත පුද්ගල සේවනය
     X.            ධ්‍යාන විමොක්ෂයන් ගැන ප්‍රත්‍යවෙක්ෂා කරන බව
  XI.            එම බොජ්ඣංගයට නැඹුරු වීම

උපේක්‍ෂා සම්බොජ්ඣංගය ඉපදීමට හේතු :-

       I.            සත්ත්වයන් කෙරෙහි මැදහත් බව
     II.            සංස්කාරයන් කෙරෙහි මැදහත් බව
  III.            සත්ත්වයන් හා සංස්කාරයන් කෙරෙහි මමායනය කරන පුද්ගලයන් දුරුකරන බව
  IV.            සත්ත්වයන් හා සංස්කාරයන් කෙරෙහි මැදහත් පුද්ගලයන් සේවනය
    V.            එම බොජ්ඣංගයට නැඹුරු වීම

මෙසේ යම් කලෙක සිත බහා තැබිය යුතුනම් , එකල සිත බහා තබයි . යම් කලෙක සිත පුබුදු කල යුතුනම් , සිත පුබුදු කරයි. කෙසේද යත්: යම් කලෙක ප්‍රඥාව මද වීමෙන් හෝ ඒකාග්‍රතා සුවය නොලද බැවින් හෝ සිත භාවනා විෂයෙහි ආශ්වාද රහිත වේ නම් එකල්හිදී අෂ්ඨ සංවේග වස්තු සිහිපත් කල යුතුය.

අෂ්ඨ සංවේග වස්තු :-

       I.            ජාති
     II.            ජරා
  III.            ව්‍යාධි
  IV.            මරණ
    V.            අපා දුක
  VI.            අතීත සංසාරික දුක
VII.            අනාගත සංසාරික දුක
VIII.            වර්තමානයේ ආහාර සෙවීමේ දුක

තවද තෙරුවන්ගේ ගුණ සිහි කිරීමෙන් සිතෙහි ප්‍රසාදය උපදවයි. මෙසේ යම් කලෙක සිත සොම්නස් කල යුතු වේ නම් සොම්නස් කරයි. යම් කලෙක සිත උපේක්‍ෂා කල යුතු වේ නම් , එකල සිත උපේක්‍ෂා කරවයි. කෙසේද යත් : මේ ආකාරයෙන් පිළිපදනා ඔහුගේ සිත යම් කලෙක නොහැකිලුණේ , නොකැලඹුණේ , නිරාස්වාද නොවුයේ , අරමුණෙහි සමව පවත්නේ , සමථ මාර්ගයට පිළිපන්නේ වේ නම් , එකල  එය ඔසවා තැබීම , බහා තැබීම , පුබුදු කරවීම ආදියකට නොඑළබෙන්නේය. සමව පවතින අශ්වයන් කෙරෙහි රථාචාර්යකු මෙනි.

මෙසේ මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් කමටහන ඉගෙන ගත යුතුය. කමටහන කියාදෙන ආචාර්යවරයාවෙත කලින් කල පැමිණ කමටහන කියවා ගත යුතුය. එසේ කරන්නහු විසින් අනතුරුව කේසාදියෙහි නිමිති සැලකිය යුතුය. මෙහිදී තච පංචකාදිය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සජ්ඣායනා කිරීම ප්‍රථමයෙන් සිදු කල යුතුය. පසුව සිතින් ව්‍යවස්ථා කල යුතුය. වර්ණ - සන්ඨාන - දිසා - ඔකාස - පරිච්ඡේද වශයෙන් කමටහන ප්‍රගුණ කල යුතුය. ධාතු වශයෙන්ම සිත පිහිටවිය යුතුය.


ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ
errawwalasudhamma@gmail.com

No comments: